"හඬ කොහොමද නිහඬ වුනේ?"
- "හඬ නිහඬ" වේදිකා නාට්‍යය ගැන දොඩමළුවක් -
ඔහු වේදිකාව දිග්විජය කළ අයෙකි.ඔහු තැනූ වේදිකා නාට්‍ය බොහෝ අය ආදරයෙන් වැළඳගත් ඒවාය.
"හඬ නිහඬ" ඔහු ප්‍රසූත කළ අළුත්ම වේදිකා නාට්‍යයය.ජූනි මස 04 වන දින එහි දර්ශන වාරයක් සවස 6.30 ට පැවැත්වීමට නියමිතය.මේ අප කවුරුත් දන්නා ජයලත් මනෝරත්නයන් සමඟ ඔහුගේ අළුත්ම වේදිකා නාට්‍ය වන "හඬ නිහඬ" පිළිබඳව අඩ හෝරාවකිනුත් අඩක් පමණ කාලයකදී මවිසින් දුරකථනයෙන් කළ කෙටි දොඬමලුවකි.
± "හඬ නිහඬ" ඔබගේ අළුත්ම වේදිකා නාට්‍යය.මෙතෙක් වේදිකා නාට්‍යවල්දී වැඩි කතාබහට ලක් නොවුණු පැත්තක් මේ නාට්‍යයේ ඇතුළත්. අන් අයට දැනගැනීමටත් එක්ක මෙහි අන්තර්ගතය ගැන යමක් කියන්න.
1900 ග්‍රැමෆෝන් යුගය 1960 ගණන්වල සනත් වික්ටර් ආපු යුගය ඊළඟට නූතන යුගය කියන දීර්ඝ කාලපරාසයක ගායක පරපුරක නැත්නම් සංගීත ක්ෂේත්‍රයේ වෙච්ච හැලහැප්පීම්, දුක්ඛ දෝමනස්සයන්, ඒගොල්ලන්ගෙ අභියෝග,ඒ අයගෙ ජීවිතය හරිහැටි කළමණාකරණය නොගැනීම වැනි ප්‍රශ්න තමා මේ නාට්‍යයේ කතාබහට ලක්වෙන්නෙ.දැන් මගෙ තලමල පිපිලා නාට්‍යයේ කතාකලේ නර්තනය පැත්තනෙ.ඒ වගේ මේකෙදි කතා කරන්නෙ සංගීත ක්ෂේත්‍රය පැත්ත.ජීවිතය පැත්තෙන් කුටුම්බය,ගෘහ ජීවිතය ඊළඟට වෘත්තීයමය පැත්තෙන් දේශපාලන හා සමාජමය පැත්තෙන් මුහුණ පෑ ප්‍රශ්නත් මේ නාට්‍යයේදී කතාබහට ලක්වෙනව.
± මේ නාට්‍යය අයත් වෙන්නෙ කුමන වේදිකා නාට්‍ය වර්ගයකටද?
වාර්තා රංග කියන වර්ගයට තමා අයත් වෙන්නෙ.බ්‍රෙෂ්ට්ගේ එපික් රංග රීතිය කියල තියෙනවනෙ.ඒකේ එක අත්තක් තමා වාර්තා රංග රීතිය.දයානන්ද ගුණවර්ධන මහත්මයා වගේ අය කරපු ගජමන් පුවත,මධුර ජවනිකා,ආනන්ද ජවනිකා වගේ නාට්‍යයවල ආකාරයම තමයි මෙහිදීත් දකින්න ලැබෙන්නෙ.මගේ ගුරුතරුව සහ අනිකුත් ගොඩක් නාට්‍යයවලත් දකින්න ලැබෙන්නෙ වාර්තා රංග රීතිය.
± මේ නාට්‍යයෙන් ඔබ සමාජයට ලබාදෙන පණිවිඩයක් තියෙනවද?
ඔව්.මගේ හැම නාට්‍යයකම එහෙම පණිවිඩයක් තියෙනව.මානව සම්බන්ධකම් තමා මේකෙ පෙන්වන්නෙ.ආදරය,කරුණාව,සෙනෙහස ඒ වගේ දේවල් සහ මේකෙ එක තැනක කියවෙනව "ජීවිතයේ හැන්දෑ කාලය ගැන හිතන්න ඕන මහ පාන්දරම කියල".
ඒ කියන්නෙ ජීවිතය කළමණාකරණය කරගන්න දැනගන්න ඕන මුල් යුගයේ.කළාකරුවා ජීවිතයේ අවසාන කාලයේ වයසට යනකොට අසනීප වෙනව,අසරණ වෙනව,කලා හැකියාවන් වියැකී යනව,අනාථ වෙනව ඒ වගේම සංගීත ශෛලීන් කියන ඒවා කාලයත් එක්ක වෙනස් වෙනව,ඒවට ලෝකයෙන් වෙන බලපෑම්,දේශපාලනය නිසා ඇතිවන බලපෑම්,ජනප්‍රිය සංස්කෘතිය නිසා ඇතිවන බලපෑම් ඒවා කොහොමද ගෘහ ජීවිතවලට බලපාන්නෙ ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියන ආකරය ගැන පණිවිඩයක් තමයි මේ නාට්‍යයෙන් දෙන්නෙ.
± මෙහි ඔබ අත්විඳි පෞද්ගලික අත්දැකීම් ඇතුළත්ද?
අපේ ගමේ තිබුන කෝපි කඩයක්.ඒ කඩේ මුදලාලි ග්‍රැමෆෝන් ගීත රස විඳින්නෙක්.ඔහු පැරණි ග්‍රැමෆෝන් ගීත වාදනය කරනව.ඒකත් මේ නාට්‍යය නිර්මාණයේදී මගෙ ඔලුවෙ තිබුන.ඒ වගේම මම දැකපු දෙයක් තමයි කලාකරුවො,ගායක ගායිකාවො ජීවිතේ අවසාන කාලයේදී හුඟක් අසරණ වෙනව.මේ "අසරණ" කියන වචනෙත් පොඩි බරක් තියෙනව.එහෙම අසරණ වෙන්නෙ ඇයි සහ එහෙම අසරණ වීමෙන් මම ලබපු සංවේදනාව වගේ අත්දැකීම් මේ නාට්‍යයට ඇතුළත්.
± මේ නාට්‍යයේ ඔබ නිර්මාණය කළ ආකරය ගැන යමක් කිව්වොත්.
ඒ ගැන කිව්වොත් ඓතිහාසික සැබෑ සිද්ධි තියෙනව,ඓතිහාසික සැබෑ චරිත තියෙනව.එතකොට ඊට සම්බන්ධ පරිසරයන්,නම්ගම් පිළිබඳ නිශ්චිත තොරතුරු අපි හොයන්න ඕන.ඒ සඳහා මම පතපොත ඇසුරු කළා,පැරණි මිනිසුන් හම්බවෙලා කතාබහ කළා.ඔය වගේ බොහොම ගවේෂණාත්මකව (Research type)කරුණු එක් රැස් කරල තමයි මේ නාට්‍යය නිර්මාණය කරල තියෙන්නෙ.
± කොපමණ කාලයක් මේ සඳහා ගත කළාද?
සාමාන්‍යයෙන් මගේ පිටපතක් ලියන්න අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ කාලයක් ගන්නව.
මං ලියපු හැම නාට්‍යයකටම ඒ වගේ කාලයක් ගත වෙනව.කරුණු එක්රැස් කරල,විශ්ලේෂණය කරල ඒවයෙ තියෙන සංවේදි ගතිසොභා හොයාගෙන නාට්‍යට අනුකූලව ගොඩනැඟීමෙන් තමයි පිටපත සම්පූර්ණ කරන්නෙ.
± මේ නාට්‍යයේ චරිත කොපමණ ප්‍රමාණයක් තියෙනවද?
චරිත දහ අටක් පමණ.විවිධ චරිත තියෙනව.ඒව වෙනස් වෙනව.සමහරක් අය චරිත දෙක තුන කරනව.
± නාට්‍යයේ සංගීත නිර්මාණය කොහොමද වෙන්නෙ.
මේක සංගීතමය පැත්තට බර වේදිකා නාට්‍යක්.සංගීතය පැත්තෙන් ලොකු භූමිකාවක් කරනව නවරත්න ගමගේ.සංගීතය සජීවීව සපයන්නෙ.
± මා දැක තියෙනව කලින් පටිගත කළ සංගීතය යොදාගන්නව.ඇයි මේකෙ සජීවී සංගීතයක් යොදාගන්නෙ.
ඒ දන්නැති අය.!වේදිකා නාට්‍යය කියන්නෙ සජීවීව පෙන්වන දෙයක්නෙ.හරිනම් සංගීතයත් සජීවී වෙන්න ඕන.දැන් ඉතින් ගොඩක් දේවල් කරන්නෙ ලාබෙටනෙ.දැන් නාට්‍ය කියන්නෙ විකුණන්න හදන බඩුවක් වගේනෙ.මේ නාට්‍යයට උචිත සංගීතය හදන්න මාස හයක් හතක් විතර මහන්සි උනා.හැම එකක්ම පර්යෙෂණ මට්ටමින් තමා කළේ.
± මේ වෙනකොට දර්ශන වාර කීයක් පෙන්වල තියෙනවද?
දැනට නම් දහයක් දොළහක් වගේ තමා කරල තියෙන්නෙ.පටන්ගත්තෙ අපි මාර්තුවල.අප්‍රේල් මාසයේ ඒ තරම් දර්ශන වාර තිබ්බෙ නෑ මම ලංකාවේ නොසිටි නිසා.මැයි මාසෙ තමා වැඩිපුර පෙන්නුවෙ.
± ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ නාට්‍යම බලන්න නිතර එන පිරිසක් ඉන්නව.ඒ ඇරුණු විට මේ නාට්‍යයට ප්‍රස්තූත වෙන විෂය මීට කලින් වැඩිය කතා බහට ලක් නොවුන විෂයක් නිසා ඊට ආසක්තව අළුතින්ම එන කොටසකුත් ඉන්නව.හැම කෙනෙක්ම නාට්‍ය හොඳින් වින්ද බවක් පේනව ඒ අය එක්ක කතා කරනකොට.නොයෙක් දෙනාගෙ නොයෙක් අදහස් තියෙනව.මේ පිළිබඳ පත්තරවලත් ලිපි පළවෙලා තිබුනා.නන්දා මාලිනී,රවින්ද්‍ර රන්දෙණිය,සුනිල් ආරියරත්න,සුනිල් එදිරිසිංහ වගේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය මේ නාට්‍යය හුඟාක් ඉහළින් පිළිගත්ත.
1900 වසරින් පටන්ගෙන කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී නූතන ජනප්‍රිය සංස්කෘතියේ රියැලිටිකරණය දක්වා වන අත්දැකීම් ඇතුළත් මේ වේදිකා නාටකයේ දර්ශන වාරයක් 2016 ජූනි මස 4 වනදා සවස 6 ට කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ය.
කළාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ නාට්‍යයක් වන මෙය නැරඹීමට එකතුවන මෙන් මහානාම විද්‍යාලීය 2002 කණ්ඩායම ඔබට ඇරයුම් කර සිටී.නිරෝශන් දාබරේ ඇමතීමෙන් ප්‍රවේශපත් ලබා ගත හැක.නැත්නම් මහානාමේ 2002 කණ්ඩායමේ ආදි සිසුවකු වන මේ සටහන ලියූ මට ඇමතුවද කමක් නැත.
එහෙනම් එන්න ජූනි 4 වෙනි සෙනසුරාදා 6.30ට.බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයට.දන්නව ඇතිනෙ බොරැල්ලෙ තියෙන්නෙ.නැත්නම් වේදිකා නාට්‍යය බලන්න ආස කෙනෙකුට මේ පණිවිඩේ දෙන්න.එහෙම කෙනෙකුට දකින්න මේ සටහන කියවා ශෙයාර් කරන්න.මතක ඇතුව ප්‍රවේශපත දැන්ම වෙන්කරවා ගන්න.සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් තියෙන්නෙ.බොහොම ස්තුතියි.ජය.
-නිරා නොහොත් නිර්මාලයා-
Nirmal Ranasinghe Bmd.
ප්‍රවේශ පත්
නිරෝෂන් - 0773786492
නිර්මාල් - 0716128852
No comments:
Post a Comment