Featured Post

Friday, June 10, 2016

"ඇගේ ඇස අග මගේ කනින් බැලීමී. | ඇගේ ඇස අග චිත්‍රපටයේ චිත්‍රාල් සෝමපාලයන්ගේ සංගීත භාවිතාව"

- ඇගේ ඇස අග මගේ කනින් බැලීමි -

"ඇගේ ඇස අග චිත්‍රපටයේ චිත්‍රාල් සෝමපාලයන්ගේ සංගීත භාවිතාව"

" ඇගේ ඇස අග " සිනමාපටය මා නැරඹූයේ අන්තිම මොහොතේදීය.එය ඇසින් බලනවා සේම කනින් අසා රසවිඳිය හැකි වර්ගයේ සිනමාපටයක් බවද මට පසක් වූයේ චිත්‍රපටය ඇරඹී මඳ වේලාවක් ගිය වෙලේය.බොහෝවිට චිත්‍රපට නරඹන කල එහි සංගීතයට වැඩි අවධානයක් යොමු කිරීම උපන්ගෙයි සංගීත පිස්සෙකු වන මගේ සිරිතකි.සාම්ප්‍රදායික ලාංකීය චිත්‍රපට සඳහා යොදාගැනෙන ඉන්දියාවට බර පසුබිම් සංගීතයෙන් බැහැරව මෙම සිනමාපටයේ මා කණ වැකුණේ බටහිර සංගීතයකි.චිත්‍රපටය සම්බන්ධව පසුගිය සති අන්ත පත්තරවල පිටු පිරෙන්න විවිධ විචාර,විවේචන,සාකච්ඡා,වාදවිවාද තිබුණත් එහි සංගීතය ගැන කිසිවෙක් වැඩිපුර කතා කර ඇති බවක් මා දුටුවේ නැත.මා නුදුටුවාට සමහරවිට තියෙන්නද ඇත.ජාත්‍යන්තර කිත් පැසසුම් ලැබූ චිත්‍රාල් සෝමපාලයන් සංගීත අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඔහු යොදා ගත් සංගීත භාවිතාව ගැනද යමක් කිව යුතුමය.

මෙහි සංගීත රචනයේදී චිත්‍රාල් සෝමපාලයන් විසින් යොදාගෙන ඇති බොහෝ සංගීත නාද බටහිර සංගීතයට බරය.

විශ්වවිද්‍යාල සිසුවිය මහාචාර්යවරයා සමඟ කාරයෙන් ගොස් වෙරළට ගොස් තනිවූ මොහොතේ චිත්‍රපටයේ පළමු සංගීත ඛණ්ඩය ඇසෙයි.බොහෝ මෘදුව වැයෙන පියානෝවක් හා ශෝකී රාවයකින් වැයෙන වයලීනයකි.ඒ සමඟින් කෙමෙන් ඊට තවත් වයලීන,(Violin )වියෝලා ,(Viola) චෙලෝ,(Chello) සහ Contra Bass යන තත් භාණ්ඩ ( Strings Quartet ) සියල්ල එකතු වේ.මඳින් මද එකී සංගීත නාද උච්ච ස්වරයකට ගමන් කර හෙමින් වියැකී යන්නෙ මහාචාර්යවරයාගේ බිරිය බුදුන් වඳින දර්ශනයකට විතැන් වීමෙනි.මෙය චිත්‍රපටයේ බොහෝ තැන්වල පසුබිම් සංගීතයට යොදා ගැනෙන තේමා සංගීතයයි.

විශ්වවිද්‍යාල සිසුවිය මහාචාර්යවරයාගෙ බිරිය දුරකථනයෙන් අමතන මොහොතේ මහැදුරු බිරියගේ සිතේ ඇතිවන බිය,විස්මය,කුතුහලය,පුදුමය වැනි හැඟීම් ඒ මොහොතේ යොදා ගැනෙන Minor Diminished Chords බහුල Strings  වාදනයෙන් තව තවත් තීව්‍ර කරවයි.ස්වර්ණා විශිෂ්ට ලෙස මුහුණින් පළකරන එකී හැඟීම් හා සංගීතය මෙහිදී මනාව මුසුකරන්නට චිත්‍රාල් වගබලාගෙන ඇත.එය මනා ගැලපීමකි.

මහැදුරු බිරිය විශ්වවිද්‍යාල සිසුවිය තම නිවසට කැන්දාගෙන එන අවස්ථාවේදී කලින් මා කිවූ පසුබිම් තේමා වාදනයම යොදාගනී.එකී සංගීත ඛණ්ඩය යොදාගෙන ඇත්තේ හරියටම ගැලපෙන තැන්වලට පමණි.

උදාහරණයක් ලෙස මහාචාර්යවරයා සිසුවිය සමඟ මුහුද අද්දර අවන්හලක බීම වීදුරුවක් තොලගාමින් " තව ඩ්‍රින්ක් එකක් ඕඩර් කරන්නද" අසනා මොහොතේ ඔහුගේ සිතේ ඇතිවන නිදහස්බව, තෘප්තිමත් බව,සතුට,මගේ බාසාවෙන් කිව්වොත් වයෝවෘදයාට දැනෙන කික් එකට පසුබිම් සංගීතයෙන් මනා පිටිවහලක් සැපයේ.ඔහු ඈත ක්ෂිතිජ ඉම දෙස තෘප්තිමත්ව බලා සිටිනා මොහොතේ වීණාව (හාප් Harp)නම් සංගීත භාණ්ඩය හා පියානෝවක් එකවිට  වාදනයකින් ඇරඹී, පසුව ඊට කෙමෙන් එකතුවන වයලීන,වියෝලා, චෙලෝ (Orchestral Strings) වාදන සමඟින් අපූරුවට කැලතී යන  සංගීත ඛණ්ඩයක් පසුබිමින් වාදනය වේ.එය කෙමෙන් උච්ච ස්වරයකට ගොස් වියැකී යයි.අපූරු සංයෝජනයකි.ඒ දර්ශනය සඳහා අර කලින් කිවූ තේමා සංගීතය යොදාගෙන නැත.

බිරිය හා දියණිය පන්සල් ගොස් ,අනියමින් පෙම් කරන සිසුවියත් නිවසින් ගිය මොහොතක මහාචාර්යවරයා නිවසේ තනිවෙයි.තමාගේම මනෝ ලෝකයක තනිවී ප්‍රීතියෙන් උමතුවෙන් මෙන් හැසිරෙන ඔහු සිය දියණිය නිතර පැළඳගෙන සිටින හෙඩ්ෆෝනය පැලඳ ඊට සවන් දෙයි.එහි වාදනය වන්නේ ඔහු සිටින මනෝභාවයටම උත්ප්‍රේරකයක් වන චිත්‍රාල්ම ගයන රෙඩ් සර්කිට් සංගීත කණ්ඩායමේ "Canonize your sins" නම් ගීතයයි.එයද මනා තේරීමකි.

චිත්‍රපටයේ එන මහාචාර්යවරයා හා විශ්වවිද්‍යාල සිසුවිය අතර ඇතිවන අනුරාගී දර්ශනයේදී චිත්‍රාල් විසින් යොදාගන්නේ එවන් මොහොතක ඇතිවන නොඉවසිලිමත්බව,උද්වේගකරබව තීව්‍ර වන Industrial Rock ෂානරයට (Genre) අයත්වන ආකාරයේ පසුබිම් සංගීතයකි.එය සාම්ප්‍රදායිකව ලිංගික දර්ශනයකදී යොදාගැනෙන සැක්සසෝන් වැනි රෝමාන්තික බව පිරුණු සංගීත උපකරණයක් භාවිතයෙන් තොරව නවතාවකින් කල සංගීත භාවිතාවකි.හිතුවක්කාර ලෙස උඩුගං බලා පිහිනූ සංගීතය පාවිච්චි කිරීමක් ලෙස මා එය හඳුන්වනු කැමැත්තෙමි.

අවසානයේ පන්සලේ ඇතිවන ගුටි කෙළියෙන් පසු කාරයට නගින මහදුරු බිරිය ඔහුට පවසන්නෙ "මෙතැනින් ඉක්මනට යමු" කියාය.ඒ මොහොතේ එනම් චිත්‍රපටය අවසානයේ චිත්‍රාල් ගයන "ඇහැරෙන්න" නම් ගීතය වාදනය වන්නේ ඇඟ කිලිපොලා යන හැඟීමක් සිතට එක්කරමිනි.චිත්‍රපටයේ අවසාන දර්ශනය හා එය බද්ධ වනුයේ එතරම් සූක්ෂමවය.එය මෙහි සංගීතයේ කූඨප්‍රාප්තිය වැනිය.

සමස්තයක් ලෙස ගත් කළ එහි සංගීත භාවිතාව ඉස්තරම්ය.අඩුත් නැත.වැඩිත් නැත.ඕන තැනටත් එපා තැනටත් මෙහි සංගීතය ඔබන්න ගොස් නැත.ඉහත කී ලෙස අදාළ සිදුවීම්වලට සංගීතයෙන් මනා අර්ථකථන සපයා ඇත.සංගීතයෙන් එම සිදුවීම් අවස්ථානෝචිතව වාදනය කළා යැයි කීවොත් නිවැරදිය.

තවද මෙහි සංගීත හැඩතල,වර්ණයන් මෙරට සිනමාවේ දක්නට ලැබෙන සාම්ප්‍රදායික සංගීතයෙන් නම් බැහැරය.සංගීතය අතින් ගත් කළ ඊට සවන් යොමු කරනවිට ඇතිවන්නේ විදෙස් සිනමාපටයක් බැලුවා වැනි හැඟීමකි.
මෙහි බොහෝවිට යොදාගෙන ඇති Orchestral Strings ඊට කදිම නිදසුනකි.ඒ නාදරටාවල වර්ණයන් කැටි වූ කළ චිත්‍රපටයේ සමස්ත පසුබිම් සංගීතයට මෙන්ම චිත්‍රපටයටද එක්වන්නේ අතිරේක ලේයරයකි.Harp වැනි කලාතුරකින් භාවිතා වන වාදන භාණ්ඩයද මෙයට ගැලපෙන සේ යොදාගෙන ඇත.චිත්‍රාල් සෝමපාලයන්ගේ බටහිර සංගීත ශෛලිය ඊට උදක්ම හේතු වන්නට ඇත.එනයින් බලන කළ චිත්‍රපටයේ සංගීතයට(Music Score) අසෝක හඳගමයන් කදිම තේරීමක් කර ඇත.ඉදිරියේදී චිත්‍රාල් සෝමපාලයන් සංගීතවත් කළ මෙරට හෝ විදෙස් චිත්‍රපටයකට සම්මාන ඇගයීමක් ලැබුණොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.මන්ද ඔහු මෙකී සිනමාපටයෙන් ඔහුගේ චිත්‍රපට සංගීත වපසරිය ඇත්තේ කොතැනද යන්න මනාව පෙන්වා ඇති බැවිනි.

නිරා/නිර්මාලයා
Nirmal Ranasinghe Bmd
09.06.2016

1 comment:

  1. ලොව ජනප්‍රියම වුන බොහෝ Films වල සන්ගීතය් නිසාම වැඩි ජනප්‍රියත්වයක් ලබා ගත බව බොහෝ දෙනක් දන්නා දෙයක් නමුත් ලංකාවේ ඉන්න කීයෙන් කී දෙනාද Film ක පසුබිම් සංගීතය සහ ගීත ගැන කතා කරන්නේ ඒ වගේම එක හරියට කරන්නේ .Film එකක සාර්ථකත්වයට කෙලින්ම බලපාන දෙයක් පසුබිම් සංගීතය සහ ගීත තිබේනම් එම ගීත . අදටත් මිනිසුන්ගේ සිත තුල මුවගේ රවුපිලි දෙන පසුබිම් සංගීතය ,ගීත ඇතුලත Films කිහිපයක් නම් කරනවානම් For A Few Dollars More (Theme by Ennio Morricone
    Saturday Night Fever ,Cabaret,bridge on the river Kuwai,James Bond Fims,Dr.Zhivago,Psycho,Star Wars,A Fistful Of Dollars
    Gone With The Wind, The Godfather,West Side Story, Once Upon A TIme In America.Paris, Texas, Schindler's List , Lawrence of Arabia,
    The Good, the Bad and the Ugly , The Lord of the Rings
    Titanic,
    https://youtu.be/AkeNsVBLdtg

    ReplyDelete