Featured Post

Tuesday, June 14, 2016

- උදෑසන නිදහස් චතුරස්‍රය හා ආකේඩය -

අද දින පෝරුවේ නගිනා මනාලියේ
මේකප් උලා ඇන්දුවෙ මහ රාත්‍රියේ
කොස් කොළ නැටි වුවත් නොපෙනෙන හිමිදිරියේ
ෂූට් කරන්නේ නිදහස් ආකේඩයේ

පාන්දරින් ආවොත් මෙහි තවත් හොඳ
රුවට නගන්නට වෙලාව ඇත නිබද
අලුයම සිටම කුසගින්නක් වේය අද
තොල කටවත් තෙමා ගන්න නෑ සබඳ

ඉක්මන් කරමු ලයිටිං ටික මදි වේවි
හොඳ ෂොට්ස් ටිකක් නැත්නම් බොට මිස්වේවි
එහෙ බලන්න මෙහෙ බලන්න සීදේවී
ගෙල ඇලකර විරිත්තන්න සිදුවේවි

ඔයා ඇවිත් මේ මෙතැනින් ඉඳගන්න
Bride එන්න කර වටේට අතලන්න
බ්‍රයිඩ් මේඩ් Bride ළඟට ළංවෙන්න
මල් කුමරිනි නැන්දි එක්ක හිනැහෙන්න

මල් කිණිත්ත කෝට් එකේ රැදෙව්වද
පේජ්බෝයිගේ බෝ එක කෝ කොහිද
උන් දෙන්නා එකතැනකට එන්නෙ නැත
ලාහෙට ගෙම්බො අල්ලන්නට සිදුව ඇත

චතුරස්‍රය බැක්ග්‍රවුන්ඩ් එක ලෙස ගන්න
සැවොම ඇවිත් පෝලිම ලෙස හිටගන්න
මං කිව් විට අහසට නෙත් යොමු වන්න
ඊගාවට දියත උයන වෙත යන්න

බඩ තඩි මහත්වරු එහෙමෙහෙ දුව පනිති
අතපය වීසිකර හයියෙන් ඇවිදි යති
මද දුර ගොස් බෝතල් කළ වතුර බොති
දිව බිම ඇතිල්ලෙන ගානට හති අරිති

එනුවර ළඳුන් කවුරුත් තරබාරුමය
මස් එල්ලා හැලෙනා නිතඹින් යුතුය
යෝගා සුම්බා ඕනම දේකට රෙඩිය
ඉඟසුඟ මිටිනට ගන්නට අපහසුය

ෆිගර් එක ශේප් කරගන්නට සැවොම එති
කනේ ඇබ රුවා ගත දහඩිය හලති
බොටම්,ෂෝට්,ස්කිනි වලින් විලි වසති
ඇහි ප්‍රිය දසුන් සමහරෙකුට උපදවති

චතුරස්‍රය වටා දුව පැන ඉවර තැන
බෙන්ස් අවුඩි පර්ජෝ වෙත නගින තැන
යුවතිපති නගා රූපෙට ඉවර තැන
පෙම් කරන්න නම්  තහනම් වේ මෙතැන

හිරු හෙමිහිට තම රැස් කඳ පතුරවති
හිමිදිරි කෝලම් ටික ටික ඉවර වෙති
කාක වසුරු සෙල් පිළිමය නහව යති
නිදහස් පියා දොන් ස්ටීවන් බලා සිටී

මගේ පුත්‍ර යුවළ, විවාහ මංගලෝත්සවයක මල් කුමාරයින්ට ඇන්ද දවසක, මා ලත් අත්දැකීම්.

නිරා නොහොත් නිර්මාලයා
Nirmal Ranasinghe Bmd.
14.06.2016

No comments:

Post a Comment