Featured Post

Saturday, February 22, 2020

ඔගස්ට් ලෑන්ඩ්මෙස, දොළහක් සහ දේවානි ජයතිලක





අපි සාමාන්‍යෙන් නෑ කියන්න බෑ කියන්න වගෙ වචන කටින් එලියට දාන්න හරි බයයි.ඒවයෙ බර අඩුකරන්න වෙන මොකක් හරි ෂේප්මන්ට් එකක් දාන වචනයක් දාන්න තමයි බහුතරයක් ආස.ඉතිං ඔය වචනෙ එලියට දාන්න පස්මහ බැලුම් බලනව.කෙලිම්ම ප්‍රතික්ෂේප කරන වැඩේ අපේ ජානවල හරි අඩුයි.කොහෙන් හරි නවන්න තමා බලන්නෙ.

පවතින ක්‍රමයට, පාලනයට, එක එකාව තුටු පහටු කරන්න , තමන්ට වාසියක් සලසගන්න, කොටිම්ම කිව්වොත් බයට... වගෙ කරුණු කාරණා ගොඩක් මත ඔය නෑ බෑ කියනෙක ඩිපෙන්ඩ් වෙනව.ඔය අතරෙ යකාටවත් බය නැති තමන්ට කෙලවිලාම ගියත් කමක් නෑ කියල ගත් කටටම නෑ කියන බෑ කියන වානේ වගෙ සවිමත් කොඳු නාරටි තියෙන අයත් ඉන්නව.

1936 හිට්ලර් සමයේ ජර්මනියේ හැම්බර්ග් නුවර නැවක් දියත් කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙනව.ඒ සඳහා සහභාගි වෙන ක්‍රව්ඩ් එක අතරෙ ඉන්න එක මනුස්සයෙක් එවකට පැවැති ඇඩොල්ෆ් හිට්ලර්ගෙ ආඥාදායක පාලන ක්‍රමය හිට්ලර්ට ආචාර කිරීමේ ක්‍රමයක් විදියට හඳුන්වා දුන් සුප්‍රසිද්ධ නාසි සැලියුට් එක රිෆියුස් කරනව.ඔහු ඔගස්ට් ලෑන්ඩ්මෙස.

ඔහු තම රජයට එරෙහි වන්නෙ මෙන්න මේ පහත සිදුවීම හරහා.ජර්මානුවෙක් වෙන ඔගස්ට් විවාහ වෙන්නෙ යුදෙව් ජාතික කාන්තාවක් වන ඉර්මා එක්ලර් හා දැඩි ප්‍රේමයකින් අනතුරුව.යුදෙව්වෙක් නයාට අඳුකොල වෙන සමයක ඔගස්ට් ඈ හා විවාහවීමෙන් තමන්ගේ ජාතියට, හිට්ලර්ගෙ රෙජීමයට නිගරු කලා කියන ඒ කාලෙ හැටියට අති බරපතල චෝදනා මත බරපතල වැඩ සහිතව වසර දෙකක් සිරබත් කෑමට නියමිත වෙනව.පලි ගැනීම එතකින් ඉවර වෙන්නෙ නෑ...දුවණියන් දෙදෙනෙකුට පියකු වන ඔගස්ට් පසුකාලීනව 999 වෙනි පාබල හමුදාව යටතේ යුද පෙරමුණට යැවෙන ඔහු ක්‍රොඒෂියාවෙදි අතුරුදන් වූවෙක් හැටියට සැලකෙනව.ඔහු ඝාතනයට ලක් වූවා කියාත් කියනව.ඔගස්ට්ගෙ පවුලටම සෑහෙන ඛේදාන්තවලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.

ඒ කාලෙ හැටියට හිට්ලර්ට එරෙහි වෙනව කියන්නෙ වහ කනව වගේ වැඩක්.තමන් සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක බව දැන දැනම ඔහු හිට්ලර්ට පෙන්නන්න බැරි වූ ජාතියක් වූ යුදෙව් ජාතික කාන්තාවක් හා විවාහ වෙනව.තමන් අනේක අඩන්තේට්ටම්වලට ලක් වෙද්දිත් ඉදිරියටත් ඒ දුක් දොම්නස් ශුවර් බව දැන දැනත් තමන් හා එකට සිටි අය නාසි සැලියුට් එක ගසද්දිත් ඔහු නාසි සැලියුට් එක ගැසීම ප්‍රතික්ෂේප කරනව.පසුකාලීනව ලොව චිර ප්‍රසිද්ධියට පත් මේ අද්විතීය ජායාරූපය දිහා බැලුවොත් තමන් වටා සිටින සමූහය අතරෙ ඔගස්ට් ඉන්නෙ මොන කුලකෙද කියන එක තිතට පෙන්නනව.

හිට්ලර් කියන්නෙ සත පහක අණක් ගුණක් නැති එකෙක් බව දැන දැනත් ඔහුට තමන්ට පුලුවන් ආකාරයෙන් විරෝධය පාන්න තරං ඔගස්ට්ට මොනතරං හයිය කොන්දක් තියෙන්න ඇද්ද.

මේ සේයාරුව මගේ ඇස ගැටෙන්නෙ ඇමරිකානු තිර රචක රෙජිනෝල්ඩ් රෝස්ගෙ " Twelve Angry Men " නාට්‍ය අනුසාරයෙන් සිංහලට අනුවර්තනය අතුල පතිරණගේ " දොළහක් " වේදිකා නාට්‍ය පිටපත් පොතෙන්.ඒකෙ මේ සේයාරුව තියෙන්නෙ මෙහෙම.

" Courage to Say No "

" දොලහක් " මං බැලුව ක්ලාස් ස්ටේජ් ඩ්‍රාම එකක්.අවාසනාවට දැන් මේක රඟදැක්වෙන්නෙ නෑ.රෙජිනෝල්ඩ් රෝස්ට මේ තිර රචනය ලියන්න අනුප්‍රාණය සැපයෙන්නෙ නාට්‍යයට සමාන ආකාරයේම නඩුවක ජූරි සභාවකට ඔහුත් සම්බන්ධ වීම හරහා.

කෙටියෙන් කිව්වොත් කතාවෙ ජූරි සභාවෙ ඉන්න ජූරි සභිකයො දොලොස්දෙනාගෙන් එකොලහක්ම එදා ජූරියට වාඩිවෙන්නෙ පුදුම තදියමකින්.ඒ.. ජූරිය ඉවරවෙලා නොයෙකුත් වැඩවලට යන්න ඇරේන්ජ්මන්ට්ස් දාගෙන.සමහර අය ජූරි සභාවක පලමු වතාවට පෙනී ඉන්නෙ. !

දොලොස්දෙනාගෙම තීන්දුව ඒකමතික වෙන්න ඕන.එකොලොස්දෙනෙක්ම චූදිතයව වැරදිකරු කරල ඉවරයි.නමුත් අටවෙනි ජූරි සභිකය කියනව චූදිතය නිවැරදී කියල.වාද විවාද තර්ක විතර්ක මැද එතැන් පටන් මුලු ජූරියම ටිකෙන් ටික අනික් පැත්තට හැරවෙන්න ගන්නව.වැරදී කිව්ව අය චූදිතය නිවැරදි කියන තත්ත්වයට තර්කානූකූලව ගෙන එන්න අටවෙනි ජූරි සභිකය කටයුතු කරනව.

මේ පොතේ එක තැනක අධ්‍යක්ෂගේ සටහන යටතේ අතුල පතිරණයන් මෙන්න මෙහෙම කියනව.

" මෙහි එකඟතාවයකට පැමිණීමේ ක්‍රියාදාමය සහ පුද්ගලයෙකුගේ පෞරුෂත්වය තුළින් නැගෙන අවිධිමත් අධිකාරිය ප්‍රබල ලෙස සාකච්ඡාවට භාජනය කරයි."

" සුළුතරයේ බලපෑම් සහගත හැසිරීම් පැතිකඩ උපක්‍රමශීලී ලෙස යොදාගනිමින් ජූරි සභාවෙ එක් සභිකයෙක් ( සුළුතර මතය) අනික් සභිකයන් සියල්ලගේම මතයට ( බහුතර මතය ) එරෙහිව සාර්ථක ලෙස එකඟතාවයකට පැමිණ අවසානයේ සිය මතය බහුතරයේ අදහසට එල්ල කිරීමට සමත් වන ආකාරය මෙම පෙළෙහි මනාව පැහැදිලි කරයි."

ඉතින් සමරි එක ගත්තොත් විනාඩි දෙකට තුනට හදිසියට ගන්න තිබ්බ ජූරි සභා තීන්දුවකින් වැරදිකරුවෙක් වෙලා අනිවාර්යය මරණ දණ්ඩනයට ලක්වෙන්න හිටපු අයෙක් සාධාරණ සැක මත පැය දෙක තුනක තර්ක විතර්ක මැද්දෙ නිවැරදිකරුවෙක් වෙලා මරණ දඬුවමෙන් නිදහස් වෙනව.

කෙලිම්ම නෑ බෑ කියන්න පුලුවන් හොඳ කශේරුකාවක් තියන තනි පුද්ගලයෙක්ගෙ සාධාරණ බලපෑමක් මත බහුතරයකගෙ මතයට බලපෑමක් කරන්න පුලුවන් කියනෙක තමා මේ කතාවෙ මම ගත්ත හරය.අපි වැඩිය නොහිතුවට එහෙම දේවල් උනත් කරන්න පුලුවන්.බැරිකමක් නෑ.

ඔය කතා දෙකම මට මතක් උනේ පහුගිය දවසක ගම්පහ ප්‍රදේශයේ දිසා වන නිලධාරිණිය වන දේවානි මහත්මියගෙ නීතියට අවනත තීරණයකට එරෙහිව එල්ල කල මරිමෝඩ අදහස් මතවාද , ඔක්සිජන් එපා වැනි ගොන් බූරු අදහස් පලකල අමන රැලකට එරෙහිව තමන්ගෙ පැත්තෙන් නිර්භයව පලකල අදහස් දැක්කම.හරි සවි ශක්තිමත් වානේ වගෙ කොන්දක් තිබ්බ කාන්තාවක්.ඇය ඉදිරිපත් කරන්න පුලුවන් ෆැක්ට්ස් ඇන් ෆිගස් තිතට ඉදිරිපත් කලා කාගෙ කාගෙත් ඇස් ඇරෙන්න.කටවල් වැහෙන්න.ඒ වගේම කිසිම බයක් හැකක් නැතිව තමන්ගෙ ජීවීතේ පවා පරදුවට තියල එතුමිය එහෙම කලේ අර කලින් කතාවෙ හිට්ලර්ගෙ වගේ කිසිම බුද්ධියක් නැති, චාරයක් නැති ,පරිසර අගයක් දන්නැති, අත්තනෝමතිකව තමන්ගෙ මතය විතරක් හරි කියන සමූහයක් ඉදිරිපිට.ඒ වගෙ යල්පැනගිය අදහස් මතවාද තියන සමාජ වටපිටාවක.හරිම බ්‍රේව් ගැහැණියක්.

" දේවානි මහත්මියනි.. මතු පරපුර වෙනුවෙන් ඔක්සිජන් ටික, පරිසරය රැකගන්න විසිකරපු ඒ වානේ වදන් ටිකට හැට්ස් ඕෆ් ! ඔබ හරිම බ්‍රේව් ලේඩි කෙනෙක් "

ඉහත කතා තුනේ සියලුම දෑ එහෙම පිටින්ම එක සමාන නොවුනත් ඔය කතා තුනේම තියන නිර්භය තනිපුද්ගල පෙනී සිටීම්, ඔවුන්ගෙ සවිමත් කොඳුනාරටි , බෙල්ල ගහල ගියත් පවතින ගතානුගතික සිස්ටම් එකට එරෙහිවීම් , ඊට එරෙහිව නැගීසිටීම් වගේ ඇතැම් පොදු කරුණු ගත්තම ඒව සමාන කුලකයකට දාන්න පුලුවන්.ඉතිං මේ කතා ටික කියෙව්වම ඔයාලට ඒවයෙන් ගන්න දෙයක් ඇති.ඒ ටික අරගන්න.

නිර්මාලයා