Featured Post

Thursday, November 3, 2016

- අවුරුදු 50 ක් පිරෙන අමරදේවයන්ගේ නොමියෙන තනු නිර්මාණයක් -


1966 තිරගත වූ "දෙලොවක් අතර" චිත්‍රපටයට රාත්‍රී සමාජ ශාලාවක දර්ශනයකට ගායනා කිරීමට උචිත ගීතයක් එහි අදියුරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උවමනා කර තිබුණි.ඒ සඳහා බටහිර ඌරුවක් සහිත ගායකයෙකු සෙවීමේ කර්තව්‍යය පැවරෙන්නේ එකී චිත්‍රපටයේ අතිරේක දෙබස් රචක තිස්ස අබේසේකරයන්ටය.
"තිස්ස 'චාරුලතා' චිත්‍රපටයේ (ඉන්දියානු චිත්‍රපටයකි) සුමිත්‍ර චැටර්ජි පියානෝවක් වාදනය කරමින් ගයන ගීයේ පසුබිම් හඬ වගේ හඬක් තමයි මට ඕන".ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහසය.ඒ ගීය ගයා ඇත්තේ ක්‍රිෂෝර් කුමාර්ය.

ඒ සඳහා සුදුසු ගායකයෙකු සෙවීම ලේසි පාසු නොවීය.තිස්ස අබේසේකරයන්ට විජය කොරයා විසින් ඒ සඳහා සුදුසු යැයි සිතන ගායකයෙකුගේ පටිගත කළ ගීයක් අසන්නට සලස්වන්නේ ඔය අතරතුරය.එය බටහිර සංගීතයේ ඌරුව සහිත ඉතා නිවැරදි සිංහල උච්චාරණයකින්ද යුතු වූ කටහඬකි.ඒ කටහඬ ඇසූ සැණින් ලෙස්ටර් එය පිළිගත්තේ එකපයිනි.

එකී ගීය ගායනා කරනු ලැබුවේ 1938 ඉපිද වයස අවුරුදු 15 වනවිට අතිදක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස බෞතීස්ම ලැබ 1960 "ලොස් කබෙය්යෙරෝස්" නමැති සංගීත කණ්ඩායම පිහිටුවා ගත් හලාවත පිටිපන වීදියේ මිහිඳුකුලසූරිය වෝල්ටර් ප්‍රනාන්දුගේ පුත් නෙවිල් ප්‍රනාන්දුය.එමිල් ප්‍රනාන්දු,හැරල්ඩ් පෙරේරා,ලෙස්ටර් ප්‍රනාන්දු කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන්ය.

කතාවේ හොඳම හරිය මේ ටිකය.කලින් කිවූ රාත්‍රී සමාජ ශාලාවක දර්ශනයට අදාළ ගීතය පැදි පෙළ ලියවෙන්නේ මහගමසේකරයන් අතිනි.එහි තනුව නිමැවෙන්නේ අද අපෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස පිදුම් ලැබූ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොහොත් පණ්ඩිත් අමරදේවයන් අතිනි.

විශේෂයෙන් කිවයුතු වන්නේ අමරදේවයන් විසින් "ලොස් කබය්යෙරෝස්" සංගීත කණ්ඩායමට තිබූ අනන්‍යතාවට ගැලපෙනම අයුරින් එහි තනු නිමවා තිබීමය.අමරදේවයන්ගේ සංගීත නිර්මාණ රසවිඳි බොහෝ අය එකී ගීය ඇසූ වණින් එය අමරදේවයන් විසින් නිර්මාණය කළ ගීයක් බව එසැණින් පිළිගන්නට කැමති වන්නේ නැත.අමරදේවයන්,මහගමසේකරයන් හා නෙවිල් ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් බිහිවුණේ කිසිදා කාලයේ වැලිතලාවට යට නොවන  අපූරු
නිර්මාණයකි.

"ගයන ගැයුම් නටන නැටුම්..
ඉවත හෙළයි සෝක සුසුම්"

එය අමරදේවයන්ගේම නිර්මාණයක්දැයි කියන තරමට විස්මයාන්විත සිතිවිල්ලක් පහළ වීම අනිවාර්යය කරුණකි.නමුත් එය එසේය.ඔහු සංගීත නිමවූ ගීත අතරින් ඒ ගීය සුවිශේෂී වන්නේ එබැවිනි.එකී ගීයේ තනුව ඔහුගේ ශෛලියට අනුගත නොවී නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කබෙය්යෙරෝස්"ගායක කණ්ඩායමේ ශෛලියට අනුචිත වනසේ නිර්මාණය කළේ ඔවුන්ට අතිශය සාධරණයක් ඉටුකරමිනි.එසේම චිත්‍රපටයේ සමාජශාලාවේ දර්ශනයටද මනාව ගැලපීමෙනි.නිර්මාණකරුවකුගේ නිර්මාණශීලි බව,ශිල්පීය හැකියාව,සැබෑම දක්ෂකම කියන්නේ එයටය.පණ්ඩිත් අමරදේවයනි එනයින් බැලූ කළ ඔබ අති විශිෂ්ටයෙකි.මේ ඔබේ විශිෂ්ටත්වය තීරණය කිරීම උදෙසා දැක්වෙන එක් උදාහරණයක් පමණි.තවත් අටුවාටීකා,ටිප්පණි කුමටද?.අවුරුදු පනහක් ගතවීත් "ගයන ගැයුම් නටන නැටුම්" අදටත් වලංගුය.

හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි... ඔබට සුව නිවනක්.!

නිරා/නිර්මාලයා.
Nirmal Ranasinghe Bmd
03.11.2016

Saturday, September 10, 2016

මේරියන්ස් එකෝස්ටිකා (Marians Acoustica) සැබැවින්ම අන්තර්ජාතික තලයේ ප්‍රසංගයක්ද..?


ඔවුහු ලංකාවට Un-plugged සංගීත ශෛලිය හඳුන්වා දීමේ පුරෝගාමියෝය.පසුකාලීන මෙරට බොහෝ අය Unlplugged ශෛලියට නතු වන්නේ එකී ආභාෂයෙනි.පස්විසි වසරක් කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ දුක සතුට නින්දා පැසසුම් සමඟින් කට්ට කා නමක් හදාගත් නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම සිය විසිපස්වන සංවත්සර නිමිති කරගෙන පවත්වන්නේ Marians Acoustica නම් සංගීත ප්‍රසංගයකි.එය Unplugged වලම වඩා වැඩිදියුණු කළ ප්‍රභේදයක්/දිගුවක් ලෙස හැඳින්වීමට මා කැමැත්තෙමි.

ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව Accoustic යන වදනේ සංගීතමය පැත්තෙන් ගත් කළ අරුත් මෙසේය.

"Not having Electrical Amplification"
"Relating to sound or the sense of Hearing".

මෙය ග්‍රීක වදනින් බිදී ආවක් ලෙස සැලකේ.
Origin Greek -> Greek
Akouein         ->    Akoustikos- > Acoustic

මෙහිදී භාවිතා වන සංගීත භාණ්ඩ ඉලෙක්ට්‍රොනික නොවන අතර වාදනය කරන්නේ අමුවෙනි.අමුවෙන් යැයි මා පවසන්නේ සංගීත භාණ්ඩයේ නියම (Original) හඬ අදාළ සංගීත භාණ්ඩයම වාදනය කිරීමෙන්ම උකහා ගන්නා බැවිනි.Synthesizer හරහා කිසිදු අපහසුවකින් තොරව ඕනෑම සංගීත භාණ්ඩයක හඬක් වත්මනේ ලබාගත හැකි වුවත් ඒ හඬවල් (Tones) කෘතිමය.එය කිසිඳු සංගීත භාණ්ඩයක නියම හඬ හා 100% කිසිදින ගැලපෙන්නේ නැත.එමෙන්ම නියම සංගීත භාණ්ඩයක් වාදනයේදී වාදකයාට දැනෙන හැඟීම,අඳාල සංගීත භාණ්ඩය වාදනය හා ඇතිවන බද්ධ වීම කෘතිමකරණයේදී දැනෙන්නේ නැත.

එකෝස්ටික් සහ ක්ලැසිකල් ගිටාර්,වයලීන්,ට්‍රම්පට්,ඩ්‍රම්ස්,තාල වාද්‍ය භාණ්ඩ(Percussion ) මීට උදාහරණ කීපයකි.නමුත් ප්‍රායෝගිකව භාවිතා කිරීමේ/හැසිරවීමේ  පහසුව උදෙසා ඇතැම් සංගීත භාණ්ඩ වෙනුවට මෙහිදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩ යොදා ගන්නා අවස්ථාද ඇත.(පියානෝ වෙනුවට Keyboards)

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නොතිබූ අතීතයේ  විශාල වාදකයින් පිරිසක් සහභාගි සංගීත භාණ්ඩ වාදනය කර සංගීත සංධ්ව්නි පවත්වා ඇත.අර කලින් කිවූ Sence of Hearing ඇත්තේ මෙතැනය.එකිනෙකට වෙනස් සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් කෘතිම නොවන ශබ්ද මඟින් උපදවා ගත් නාදරටා ශ්‍රවණයේදී ඇසීමේ සංවේදි බවක් බිහිකර ඇත. අවාසනාවට වත්මනේ නැත්තේද එයයි.නමුත් කාලයාගෙ ඇවෑමෙන් වත්මනේ ප්‍රේක්ෂකයාට වඩා හොඳ කර්ණ රසායනයක් දීමේ අරමුණින් මෙකී සංගීත භාණ්ඩ වාදනයේදී බිහිවන නාද මයික්‍රෆෝන මාර්ගයෙන් ශබ්දවාහිනි යන්ත්‍ර හරහා වර්ධනය කර අසන්නට සලස්වන්නේ තාක්ෂණයේ දියුණුව සමඟිනි.එවිට එකෝස්ටික් නාද රසය තවත් සුපැහැදිලිය.

තමන්ගේම යැයි කිවහැකි ස්වතන්ත්‍ර  ගීත ගොන්නකට උරුමකම් කියන මේරියන්ස් සංගීත කණ්ඩායම එකෝස්ටිකා ප්‍රසංගයට ගීත තෝරාගෙන ඇත්තේ බොහෝ සැලසුම්සහගතව බව පැහැදිලිය.එහි සංගීත කණ්ඩායමේ ස්වතන්ත්‍ර  ගීත ඇත්තේ ටිකකි.

මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත "කණ්ඩායම් සංගීතය" නම් පොතේ ඇති මේරියන්ස් ස්වතන්ත්‍ර ගීත අරබයාඅ වූ රෙකමදාරුවකි.

"මේ වනවිට සංගීත කණ්ඩායම් රාශියක් බිහිවී ඇතත් ඔවුන් අතින් ස්වතන්ත්‍ර ගීයක් බිහිවී ඇත්තේත් ඉතා කළාතුරකිනි.මේරියන්ස් වෙනුවෙන් නලින් පෙරේරා ගැයූ "අංජලිකා" එබඳු එක් ජනප්‍රිය ගීයකි."

නමුත් එය නලින් හා ප්‍රසන්න රෝසාට අනුව නම් කණ්ඩායමේ වැඩිම දුක් වින්ද ගීතයය.!හේතුව නොයෙක් අවස්ථාවලදී අනේකවිධ ශෛලීන්වලට මේ ගීතය ගයා ඇති බැවිනි.
යළිත් ප්‍රධාන මාතෘකාවට..

එකෝස්ටික් සංගීත ශෛලියට අනුගත වීමේදි අතට අහුවෙන හැම ගීයම එකෝස්ටික් ආකෘතියට බලෙන් ඔබන්න බැරිය.එය ප්‍රායෝගිකව අපහසුය.නීරස වීමටද ඉඩ ඇත.ඒ නිසා වඩා ගැලපෙන ගී පමණක් තෝරා බේරා ගැනීමෙන් එකෝස්ටික් නාද වර්ණ (Tone Colour) හා කර්ණ රසය නිර්මාණය කරගැනීමට ඔවුන් සමත් වී ඇත.

විශ්ලේෂණාත්මකව බැලුවොත් තෝරාගත් ගීත පහත පරිදි වෙන් කළ හැක.

1. කණ්ඩායමේ පැරණි ගීත
2. නලීන් පෙරේරාගෙ ඒක පුද්ගල (Solo) ගීත
3.මින් පෙර නෑසූ නවතම ගීත ( ලයිලා,සේරා හා ජීවිතේ විඳගන්න)
4. අන් අය ගැයූ ගීත (පුද්ගල හෝ කණ්ඩායම් ලෙස)
5. බටහිර ගීත
සහ තව එක් හින්දි ගීයක් ඇතුළත්ය.

ප්‍රසංගයේ ආරම්භයේ ගායනා කරන "මේ ජීවිතේ" ගීතය මේරියන්ස් සංගීත කණ්ඩායමේ පැරණි ගීයකි.පැරණි සංගීත සංරචනය (Music Arrangements) වෙනස් කර එකෝස්ටික් ආරට ගැලපෙන පරිදි නව වර්ණ ගැන්වීමක් කර ඇත. එහි හැඳින්වීම (Introduction) කොටසේ එකෝස්ටික් ගිටාර් වාදන කොටස Scorpions නම් ජර්මානු රොක් සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ  Loving You Sunday Morning ගීතයේ හැඳින්වීමේ (Intro) කොටසට මඳ සමාන බවක් දක්වන බව මගේ හැඟීමයි.Interlude කොටස් සඳහා එකෝස්ටික් ගිටාරයෙන් සහ ඕගනයෙන් නව කොටස් එකෝස්ටික් රසයෙන් නිර්මාණාත්මකව හැඩ ගන්වා ඇත.සැලසුම් සහගතව ආරම්භක ගීය හොඳ ජවයකින් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසංගයට නැවුම් ප්‍රබෝධයක් සේම හොඳ අඩිතාලමක්ද එක් කරයි.

ඊළඟට ගැයෙන නලින් පෙරේරා ගේ "කිරිකැටි යෞවනයේ" ගීතය 2004 වසරේ නිකුත් වූ "බඹරිඳු" නම් තනි පුද්ගල (Solo) ඇල්බමයේ ගීතයකි.ප්‍රසන්න රෝසාගෙ එකෝස්ටික් ගිටාර වාදනයෙන් ගීතයට හොඳ කළඑලියක් ලබාදෙන අතර ශිවන්තගේ සුසංවාද (Harmony) ගායනය එහි හැඟීම් තවත් තීව්‍ර කරයි.

සඳළුතලේ,නාරිලතා මලේ වැනි ගීත සඳහාද ශිවන්ත සුසංවාද (Harmony - එකම තනුව හඬ තල කීපයකින් එකට ගැයීම ) ගායනයෙන් දක්වන දායකත්වය විශේෂය.ඒ සඳහාම විශේෂිත වූ (Specialzed) කටහඬක් ඔහු සතුය.

බඹරිඳු ගීතයට Alto Sax,Tenor Sax දායකත්වයෙන් වැයෙන කොටස් හා එකෝස්ටික් ගිටාර් වාදනයද මේ ගීත එකී ආකෘතියටම ඔබින ගීත බව පසක් කරයි.නලින් පෙරේරාගෙ ඒක පුද්ගල (Solo) ගීතවල මුල් සංගීත සංරචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර ඇති අතර ඒවා එකෝස්ටික් ආකෘතියට විශේෂයෙන් වෙනස් කර නොමැති වීම මෙහි ඇති විශේෂත්වයකි.මීට හේතු වන්නේ අතීතයේ මුල් සංගීත සංරචනය (Music Arrangements )(උදා: බඹරිදු ගීතයේ සැක්සෆෝන් හා ගිටාර් වාදන කොටස්) වත්මන් එකෝස්ටික් ආකෘතියට බෙහෙවින් සමාන වීමය.

1995 වසරේ "Don Juan DeMarco" නම් චිත්‍රපටයට රොක් සංගීතඥ Bryan Adams ගැයූ "Have You Ever Really Loved a Woman?" නම් ගීතය මේ ප්‍රසංගයේ ගායනා කළ සහය ගායක ශිවන්ත ෆර්නැන්ඩෝ එම ගීතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර Latin Rock සංගීත ශෛලියට (Genre) නෑකම් කියන මේ ගීය පුරාවට පිරිමැදෙන චමින්ද සිල්වාගේ Classical ගිටාර වාදනය මුල් ගීයේ තරමට විශිෂ්ටය.මනස්කාන්තය.ප්‍රසංගයේ අවසාන භාගයේ ඔහු වාදනය කරන ඒක පුද්ගල (Solo) ගිටාර් වාදනයත්, Extreme නම්  ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමේ "More than Words" නම් ගීතයට Acoustic ගිටාරය වාදනය කරන ආකාරය අති විශිෂ්ට මට්ටමක පවතී.මුල් ගී වාදනයන් හා සසඳා බලන කළ මෙම ප්‍රසංගයේ  වාදනයන් කිසිදු වෙනසක් නැති අතර ඊට සමාන මට්ටමකට ගෙන ඒමට තරම් ඔහුගේ ශිල්පීය දක්ෂතාවය ප්‍රබලය.හේ එහි නිපුණයෙකි.

ශිවන්ත,දිලීප හා චමින්ද යන තුන්කට්ටුව එක්ව "More than Words" ගීතය  ඉදිරිපත් කරන ආකාරයෙන් නියම එකෝස්ටික් රසය නම් මේ යැයි විඳගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබී ඇත.

තවද ශිවන්ත ගැයූ යෞවනේ,Mariya(Ricky Martin),අභිමාන් චිත්‍රපටයේ Meetha Na වැනි ගීතවලට කන් යොමන විට ඔහුගේ කටහඬේ පාලනය,එහි වපසරිය ඇත්තේ කොතැනද යන්න සිතා ගත හැක.එය හොඳින් කට ඇර ගායනා ඉදිරිපත් කළ හැකි පෞරුෂයක් සහිත කටහඬකි.ගායනයෙන් නොනැවතී හාමොනිකාව( Harmonica),මෙලෝඩිකාව (Melodica) වැනි සංගීත භාණ්ඩ වාදනයෙන්ද ඔහු තම දස්කම් විදහා දක්වයි.

විශිෂ්ට ගණයේ ජෑස් සංගීතඥයෙකු වන ලුවී ආම්ස්ට්‍රෝන් (Louis Armstrong ) 1967 ගැයූ What a Wonderful World නම් ගීතය ප්‍රසංගය අලංකාර කළ තවත් ගීයකි.මංගල පෙරේරා ගැයූ ඒ ගීයට මෙරට කණ්ඩායම් සංගීත වේදිකාවක විරලව යොදාගන්නා ඩබල් බේස් ගිටාරයක් (Double Bass) යොදාගෙන ඇත.ඉතා පහත් (Low)ස්වර වාදනය සඳහා මෙය භාවිතා කරන අතර මෙය Contra Bass ලෙසද හඳුන්වයි.

එම ගීතයේ පසුබිමින් ඇහෙන පියානෝ වාදනය සහ කැලතී එන French Horn නම් සංගීත භාණ්ඩය වාදනයද ගීතයට එක් කරන්නේ කන්කළු රසයකි.වයලීන් වාදනයත් ඊටම එකතු වූ විට මැවෙන්නේ බොහොම  අපූරු සංගීත සංයෝජනයකි.ආම්ස්ට්‍රෝන් Jazz සංගීතයට සුවිශේෂී මෙහෙවරක් කළ පුද්ගලයෙක් ලෙස සැලකෙන අතර මේ ගීය ඔහු ගැයූ ජනප්‍රියම ගීවලින් එකකි.

Al Jarreau නම් ජෑස් ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලැබූ Spain නම් ගීතය මෙහි ඉදිරිපත් කළ තවත් වැදගත් ගීයකි.එය වාදනයට හා ගායනයට ලේසි පහසු නැති අභියෝගකාරී ගීයක් වන නමුත් පූර්ව අත්දැකීම්, වාද්‍ය ශිල්පයේ නිපුණත්වය,සතතාභ්‍යාසය හා පරිණත බව යන සාධක මත එකී අභියෝගය ජයගන්නට මේරියන්ස් සංගීත කණ්ඩායම සමත් වෙයි.සුප්‍රකට ඇමෙරිකානු ජෑස් (ෆියුෂන්)පියානෝ වාදකයෙක් වන ග්‍රැමී සම්මාන ලාභි Chick Corea විසින් 1971 දී මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇති මේ ගීය ඔහුගේ විශිෂ්ටතම සංගීත රචනාවලින් එකක් ලෙස සැලකේ.දිලීප මංගලගේ (ගීතය මැද වාදනය වන Solo වාදනය ඇතුළුව) කීබෝඩ් වාදනයත් සුභාෂ් හා ජයන්තගේ ඩ්‍රම්ස් හා පර්කෂන් වාදනයත් චමින්ද සිල්වාගේ බේස් ගිටාර් වාදනයත් එක්ව මංගල පෙරේරාගෙ ගායනයෙන් මේ ගීයට සාධාරණත්වය ඉටු කිරීමට ඔවුන් සමත් වෙයි.

ජෑස් සංගීත ශෛලියට නතුව සංගීතවත් කළ "දුරකථනයකින්" ගීතයද ප්‍රසංගයට ගෙන දෙන්නේ නැවුම් අත්දැකීමකි.සරල තනුවක් මත වැයෙන නිතර ඒකාකාරි ස්වරූපයකින් ඇසුණු "දුරකථනයකින්" ගීතයට එකෝස්ටික් සංගීතයෙන් කර ඇත්තේ නව වර්ණ ගැන්වීමකි. Selmer සැක්සෆෝන් වාදනය,පියානෝ වාදනය හා Brushes මගින් වාදනය වන ඩ්‍රම්ස් කට්ටලය ජෑස් ශෛලියේ නාද වර්ණයන් මේ ගීයට එක් කරන්නට සමත්ව තිබේ.Double Bass වාදනයද ගීතයට අපූරු රිද්මයක් එකතු කරයි.එය බොහෝ අපූරු නිර්මාණයකි.

ප්‍රසන්න රෝසා ගයන "ලයිලා" නම් නව ගීය, පද රචනයටම ගැලපෙන සංගීතයක් විමල් කුරුප්පු නම් සංගීතවේදියා විසින් භාවිතා කර ඇත.B Melodic Minor ස්වර පරාසයේ වැයෙන මේ ගීය මැද පෙරදිග සංගීත ඌරුවක් සහිතය.ඉරගින්න ඇති සහරාවේ ලයිලා නම් කාන්තාවක් ගැන කියවෙන මේ ගීය වාදනයට සංගීත භාණ්ඩ බොහොමයක් එක්කර ඇත.

ප්‍රාරම්භක සංගීතයට (introduction) සේම අන්තර් සංගිත (Interlude)ඛණ්ඩවලටද Trumpets ,trombune,හා Saxophones භාවිතා කර ඇති අතර දෙවන අන්තර් සංගීත ඛණ්ඩයේදී වැයෙන දර්බක් (Darbuka -මැද පෙරදිග නිජබිම සේ සැලකෙන තාල වාද්‍ය භාණ්ඩයකි) වාදනයත් Accordion වාදනයත් ගීතයට එක් කරන්නේ වෙනස්ම අපූර්වත්වයකි.

එමෙන්ම ප්‍රසන්න රෝසාගේ "සේරා" (A Melodic Minor) නම් ගීයද වෙනස්ම රසයක් ඇති  ලතින් ඇමෙරිකානු රිද්මයක් සහිත ගීයකි.මේ ගී යුග්මයම මේ ප්‍රසංගයට එක් කර ඇත්තේ නව කළඑළියකි.

තවද කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන් වූ නෙවිල් ෆනැන්ඩු (ලොස් කබය්යෙරෝස්), ලොස් ෆ්ලෙමින්කෝස්,ලා බම්බාස් වැනි සංගීත කණ්ඩායම්වල පැරණි ගීත පහක් එක්කර තැනූ අවිරාම ගීත කීපයද අපූරුවට ගලා යයි.එහි "සමුදුරු දේවි" ගීතය ආරම්භයේදී තාල වාද්‍ය භාණ්ඩ මඟින්,මුවින් නිකුත් කරන විවිධ හඬ මඟින් දුම්රියක් වේදිකාවකින් පිටත්වන අන්දම සිත් තුළ අපූරුවට විචිත්‍රණය කරයි.

ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පී සුභාෂ්ගේ සහ තාල වාද්‍ය ශිල්පී ජයන්ත කන්ඳබඩගේ හැකියාවන් අතිශය විශිෂ්ට මට්ටමක ඇති අතර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කරන තාල වාද්‍ය වාදනය ප්‍රසංගයේ සුවිශේෂී අංගයකි.දෙදෙනාගේම ශිල්පීය දක්ෂතාව ඉතා ඉහළය.යුග වාදනයේදී ඔවුන් දෙදෙනා සිය වාදනයන් ඉදිරිපත් කරන්නේ දෙදෙනෙකු අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙනි.තාල වාද්‍ය භාණ්ඩ වාදනයේදී ඔවුන් දෙදෙනා අතර පවතින්නේ අපූර්ව අනොන්‍ය සම්බන්ධතාවයකි.Spain ගීතයට කළ සුභාෂ්ගේ ඩ්‍රම්ස් වාදනය ඔහු එහි කෙළ පැමිණියකු ලෙස සැලකීමට තරම් තවත් අටුවා ටීක අවැසි නැති සාධකයකි.

ජයන්ත සියළු අවනද්ධ භාණ්ඩවලින් සන්නද්ධ වන අතර එකී තාල වාද්‍ය භාණ්ඩ මහද්වීපික කීපයක එකතුවක් සේ සැලකිය හැක.ලතින් ඇමෙරිකානු,අප්‍රිකානු,ආසියා වැනි මහද්වීප නිජබිම කරගත් කොන්ගා(Conga),බොන්ගා (Bonga),කහෝන්(Cajon),ටිම්බාල්(Timbal),Talking Drum,Djembe,Wood Cabin,Darbuka,Cowbell,Maracas,Shakers,Kabasha, Chimes වැනි එකිනෙකට වෙනස් තාල වාද්‍ය භාණ්ඩ එකතුවකි.මේ සියලු භාණ්ඩ යොදාගෙන ඇත්තේ වත්මනේ නොඇසෙන නියම සංගීත නාද රටා උපදවා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය.සැබවින්ම ජයන්ත කඳබඩගේ යනු කලට වේලාවට යාවත්කාලීන වූ තාල වාද්‍ය ශිල්පියෙකු ලෙස හැඳින්වීමට මා කැමතිය.

අතීතයේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ සිටම සිය ප්‍රේක්ෂකයන් තමාට නතු කරගැනීමේ  ආකර්ෂණීය කටහඬක් හිමි නලින් පෙරේරා මෙහිදීත් ප්‍රසංගය පුරාවටම ප්‍රේක්ෂකයන් තමන් වෙත වසඟ කර තබා ගැනීමට සමත් වෙයි.නමුත් එය එළිමහන් වේදිකාවට වඩා මඳක් සංයමයෙන්, මෙවැනි ප්‍රසංගයකට ගැලපෙන ශෛලියකින් සිදු කිරීමට ඔහු වග බලා ගනී.නායකයා වශයෙන් ඔහු තම කණ්ඩායම ප්‍රසංගය පුරාවටම පිළිවෙලට මෙහෙයවයි.

නවමු ප්‍රාසාංගීක අත්දැකීම් රැසකින් හෙබි Accoustica ප්‍රසංගයේ සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් කළ පැහැදිලි  වෙනස්කම් කීපයක් දැක ගත හැක.නිත්‍ය සාමාජිකයන්ට අතිරේකව වයලීන් වාදකයින්(String Section) හා පිත්තල ශුෂිර භාණ්ඩ වාදකයින් (Brass Section) යොදා ගැනීම ඉන් එකකි. පිත්තල ශුෂිර භාණ්ඩ  (Brass Section)සඳහා ට්‍රම්පට් (Trumpet) වාදකයින් දෙදෙනෙක් ට්‍රොම්බූන් (Trombune) වාදකයෙක් යොදාගෙන ඇත.අවස්ථානෝචිතව ගීතයට French Horn නම් වාද්‍යය භාණ්ඩයද යොදාගෙන ඇත.වයලීන් අංශය සඳහා චෙලෝ (Chello) වාදකයෙක් එකතු කරගත්තා නම්  ඇතැම් සංගීත කොටස්වල නිර්මාණාත්මක බව තවත් වැඩි දියුණු කිරීමට හැකිව තිබූ බව මගේ පෞද්ගලික අදහසයි.

කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් වූ මංගල සහ දිලීපගේ Alto හා Tenor (Woodwind Instruments) සැක්සසෝන් වාදනය මඟින් එයට තවත් අතිරේක අලංකාරයක් එකතු කරයි.

තවද ප්‍රසංගයට නියම එකෝස්ටික් සංගීත රසය (Original Tone) මතු කරගැනීමේ අරමුණින් යොදාගත් සංගීත භාණ්ඩද බොහොමයකි.හාමොනිකාව (Harmonica),එකෝඩියනය,(Accodian),ඩබල් බේස්(Double Bass),මෙලෝඩිකාව,දොළොස් තත් ගිටාරය,(12 Strings Guitar),ඉන් කීපයකි.

මේරියන්ස් සාමාජිකයන් හැමකෙක්ම බහු සංගීත භාණ්ඩ වාදකයින් (Multi Instrumentalist) වීම මෙහි දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.ඔවුන් එක් සංගීත භාණ්ඩයකට සීමා නොවී එකිනෙකට වෙනස් භාණ්ඩ වයමින් ශිල්ප දැක්වයි.දිලීප මංගල,චමින්ද සිල්වා,ප්‍රසන්න රෝසා,ජයන්ත,ශිවන්ත,රුවන්,සුභාෂ්  එසේ කැපී පෙනෙන වාදකයින්ය. එයිනුත් දිලීප මංගලගේ බහු වාදන හැකියාවන් සුවිශේෂීය.එමෙන්ම ඔවුන්ගේ වාද්‍ය විලාසය,වාද්‍ය ශිල්ප ක්‍රමවල නිපුණත්වය (Techniques)නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් (Creative Performance) ඉතාමත් ඉහළය.

කණ්ඩායමේ සාමාජිකයන් සතු සෑම දස්කමක්ම අන්තර්ජාතික මට්ටමේ වාද්‍ය වෘන්දයක් හා කරට කර සිටීමට තරම් ප්‍රබලය. ප්‍රසංගය සඳහා ඔවුන් භාවිතා කර ඇති ශබ්ද තාක්ෂණික ක්‍රමවේදයන් වත්මනේ භාවිතා වන අති නවීන පහසුකම්ය. නාද රටා බොහෝ සුපැහැදිලිය.මේවා ඕනෑම සංගීතමය භාවිතාවක ගුණාත්මක බව (Quality) සහ තත්ත්වය (Standards) කෙරෙහි ඉවහල් වන කරුණුය.එමෙන්ම වත්මනේ බහුතරයක් අය නොසිතන දෑය.

සැබැවින්ම කිසිම පැකිලීමකින් තොරව මෙය අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංගයක් හා සමතැන්හි ලා සැලකිය හැකි ප්‍රසංගයක් සේ සැලකීමට පසුබට විය යුතු නැත.ඩීවීඩී පටය නැරඹීමෙන්ම මෙකී කරුණුවල සත්‍යතාවය පහසුවෙන් අවබෝධ කර ගත හැක.අන්තර්ජාතික මට්ටමකදී මෙම ප්‍රසංගය ඉදිරිපත් කළේ නම් ඊට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබාගත හැකි වනු බව සක්සුදක් සේ පැහැදිලිය.

එමෙන්ම සෑම සාමාජිකයෙක්ම කාලානුරූපීව යාවත්කාලීනය.ගතානුගතිකව එකතැන පල් නොවෙමින් සංගීතමය නව්‍යකරණයේ අළුත් දෑ සොයා යන්නට, වෙනස් දෑ ඉදිරිපත් කිරීමට නිරන්තරයෙන් ඔවුන් උත්සුක වේ.විය යුත්තේද එයයි.එක් ශෛලියකට කොටු නොවී විවිධ දෑ අත්හදා බැලීමෙන් විවිධ ශෛලීන් භාවිතා කිරීමෙන් නව සංගීත ඉසව් සොයා යාමෙන් නව්‍යතාවෙන් යුතු සංගීත නිර්මාණ බිහිවිය යුතුය.

ප්‍රසංගයේ ගැයූ හැම ගීයකම පදරචනය,සංගීතය,ඇතැම් විට මුල් ගායනය කාගේද යන්න සෑම ගීයක්ම ගායනා කිරීමට පෙර ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම පැසසිය යුතු කරුණකි.

මෙකි ප්‍රසංගය සජීවීව නැරඹීමෙන් මා මහත් ආස්වාදයක් ලද අතර එය තවමත් මතකයෙන් නොගිලිහෙන අත්දැකීමකි.විසිපස්වසරකට ආසන්න කාලයක් සාමාජිකයන් ලෙස කණ්ඩායමේ රැඳී සිටි රුවන් ප්‍රනාන්දු හා ප්‍රසන්න රෝසාගෙ මෙහෙවරද සුලුපටු නැත. ඇතැම් විට සොයා බැලුවහොත් එය මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ වාර්තාවක්ද විය හැක. නලින් පෙරේරා කියා සිටියේ ප්‍රසංගයේ බොහෝ සංගීත සංරචනයන් (Music Arrangements ) ප්‍රසන්න රෝසාගේ බවත් ඒ සඳහා ඔහු සතු දැනුම, නිර්මාණශීලිත්වය (Creativity )ඉතා ඉහළ බවත්ය.ඔහුගේ හා නලින් පෙරේරාගෙ එක පන්තියේ සඟයා වූ රුවන් ප්‍රනාන්දුගේ නිහඬ මෙහෙවර උදෙසා ඔවුන් ඇගයීමට ලක්කිරීම අගය කළ යුතු කරුණකි.

අවුරුදු දෙකකට වඩා ගතවීත් එහිදී ප්‍රසන්න රෝසා ප්‍රේක්ෂකාගාරය අමතා බොහෝ නිරහංකාරව කී කථාව මට අද මෙන් මතකය.(එය මෙකී ඩීවීඩි පටයේ අන්තර්ගත නැත.)

"මම ඇවිල්ල ප්‍රසන්න.රෝසා කියල කෑල්ලක් මට තිබුනෙ නෑ.මාව රෝසෙක් කළේ උඹ.මගේ මොකක් හරි දක්ෂකමක් තියෙන්න ඇති.ඒත් දක්සකමක් තිබුන පලියට තැනකට එන්න අමාරුයි...නිකම් බෑ.ඒකට වාරුවක් ඕනෙ..ඒ වාරුව උඹ.නලින් තමයි මගෙ වාරුව."

කතාව ඇත්තය.90  දශකයේ මැද භාගයේ දවසක ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැත්වූ සිරස කඩමණ්ඩිය ප්‍රසංගයක් අහම්බෙන් රේඩියෝවෙන් ඇසූ මොහොතේ පටන් උමතුවෙන් මෙන් මේරියන්ස් ශ්‍රාවකයෙකු/ප්‍රේක්ෂකයකු වූ මා පසුගිය විසි අවුරුද්ද පුරාවටම කාලානුරූපීව එළිමහන් ප්‍රසංග වේදිකාවේ සිට ගෘහස්ථ වේදිකාවේ අන්ප්ලග්,එකෝස්ටිකා සංකල්පය තෙක් ඔවුන් කළ වෙනස්කම් පැහැදිලිව අත්දුටුවෙමි.සජීවීව විඳ ගතිමි.ඔවුහු නිසි කළට නිසි වෙලාවට විනයක් සහිතව අවශ්‍ය වෙනස්කම් සිදුකළහ. අඩුත් නැති වැඩි නැති රසයෙන් පිරිපුන් තෙහෝරාවකට සිය ප්‍රසංග සීමා කළහ.වැල යන අතට මැස්ස නොගසා අළුත් වෙනසක් සහිතව උඩුගං බලා පිහිනූහ.

ඉතින් ප්‍රසන්න රෝසා කිව් ඒ කතාවම ටිකක් එහා මෙහා කර  කිව්වොත් මට කියන්න ඇත්තේ අද අපේ රටේ මියුසික් අළුත් මාවතකට හැරී ඇති බවය.එකී සංගීත රසය නිරන්තරයෙන් සොයන රසභාවයෙන් යුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නඟා ඇති බවය.තුට්ටු දෙකේ කසිකබල් සංගීතයෙන් සුවහසක් රසිකයන් මුදවාගෙන කර්ණ රසායනයෙන් යුත්, ගුණාත්මක හා නිර්මාණශීලීබවින් ඉහළ සංගීතමය වෙනසක් අත්දැකිය හැකි මඟකට  ඔවුන් යොමු කළ බවය.එහි පෙරගමන්කරුවෝ මේරියන්ස් සංගීත කණ්ඩායම බවය.මෙරට සංගීත ක්ෂෙත්‍රයට ප්‍රබල බලපෑමක් කළ තත්ත්වයෙන් උසස් අන්තර්ජාතික මට්ටමේ ගුණාත්මක සංගීතයේ වාරුව නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් බවය.

නිරා/නිර්මාලයා
Nirmal Ranasinghe Bmd.
10.09.2016

Friday, August 12, 2016

- සැබෑ දේශප්‍රේමී රාජ්‍ය තාන්ත්‍රිකයා -

11th Blog

- Lakshman Kadirgamar -

( අගෝස්තු 12 වනදාට යෙදෙන එතුමාගේ 11 වන ගුණසමරුව නිමිත්තෙන්)

"ඉක්මණට ඔය ගාල්දොර ඇරලදාපල්ලා.."

උස් හඬින් පැමිණි විධානයකි.ගාල්දොර බාරව හුන් කණ්ඩායම වහ වහා ගාල්දොර ඇරීමට සූදානම් වෙති.ගාල්දොර ඇර දමා ඇතාට පිටවීමට අවස්ථාව ලබා දුන්නත් කොටුවූ ඇතාට ඉන් පිටවීමේ කිසිඳු උවමනාවක් නැත.

"වැඩක් වෙන්නෑ අප්පො ඌ යන පාටක් නෑ"
අතවැසියෙක් පවසයි.

මේ 1950 වර්ෂයයි.ස්ථානය පනාමුරේ ඇත්ගාලයි.

මෙවර ඇත්ගාලට අලිඇතුන් දාහත්දෙනෙකු කොටුවූ අතර ඉන් නායක අලියා හැර අනික් උන් ගස්බැඳීමට සමත් වූහ.නමුත් දින තුනක් ගියද නායක අලියා යටත් වන පාටක් නැත.අලි මන්තර ඇතුළු දන්නා උප්පරවැට්ටි සියල්ල දැමුවත් ඇතා ඒ කිසිවකට යටත් නොවන සෙයකි.ඇත්ගාලේ හිමිකරු සර් ෆ්‍රැන්සිස් මොලමුරේ පැටලී ඇත්තේ පඹගාලකය.හේ මෙරට පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකය.මඩුවන්වෙල දිසාවේගෙන් පසු ඔහුගේ සුවිසල් බූදලය වන මඩුවන්වෙල හා පනාමුරේ නින්දගම් ඇතුළු අනික් සියලු දේපළවල උරුමක්කරුවාය.නමුත් ඔහුගේ සියළු බලපරාක්‍රමයන් දමණය කළ නොහැකි වල් අලියෙකුගේ තේජස ඉදිරියේ හිරු දුටු පිණි මෙන් සැඟව ගොසිනි.නායක හස්ති තෙමේ ගාලේ වැටට පහර දෙයි.ගස් බැඳි ඇතින්නියන් නිදහස් කරන්න තනයි.ගාලේ දොර හැර පිටවයාමට දුන් අවසාන අවස්ථාවද හේ උවමනාවෙන්ම මඟ හැරියේය. හේ සිය රැහැ බේරාගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩකාරීව හැසිරේ.යටත්වීමක් ගැන අදහසක් තුන්හිතකවත් නොමැත.

මොලමුරේ අප්පො සිය අවසාන තීන්දුව ගත්තේය.අලියාට වෙඩි තැබිය යුතුය.බේරි ගියොත් අලින් තමන්ට කළ අඩන්තේට්ටම් මතකයේ තබාගෙන අවස්ථාව ලද විගස යළි පළි ගන්නා බව ඔහු හොඳින් දනී.වෙඩි තබන්නේ එබැවිනි.ඇත්ගාල්වලදී හීලෑ කිරීමට අපහසු අලිඇතුන් වෙඩිතබා මරාදැමීම එවකට ඇත්ගාල් සංස්කෘතියේ ආවේණික ලක්ෂණයකි.මොලමුරේ සිය සිවිල් බලය යොදාගෙන අලියාට වෙඩි තැබීමට වෙඩික්කාරයෙකු පනාමුරේට කැඳවයි.හේ එවකට මෙරට විසූ දකෂම වෙඩික්කරුවාය.

මොලමුරේගේ අණින් පනාමුරේට පැමිණි හේ ගාලට ඇතුළු වී ඇතාව පිරික්සුවේය.දින තුනක් තිස්සේ සිය රැහැ වෙනුවෙන් සටන් වැදුනු ඇතුගේ නියපොත්තක් ගැලවී ගොසිනි.නමුත් වේදනාව,පීඩාවන්,කුසගින්න යන මොන කාරණාව තිබ්බත් සිය සටන අතහැරීමේ සූදානමක් ඇතාට නැත.තිරිසනෙකු වුවත් සිය වරිගයා වෙනුවෙන් අභීතව,තේජස්ව පෙනී සිටීම උගේ ඒකායන අරමුණය.එක වෙඩි පහරින් ඇතා මරා දැමිය යුතුය.ඒ පුහු මාන්නයෙන් පිම්බී සිටි ෆ්‍රැන්සිස් මොලමුරේගේ විධානයයි.සිය තේජස් කදම්භය වල් අලියෙකු ඉදිරියේ බාල්දු වීම ඔහුට දරාගත නොහැක්කකි.ඇත්ගාල නරඹන්න පැමිණි අය ඉදිරියේ මෙය සිදුවීම ඊටත් වඩා දරාගත නොහැක්කකි.

වෙඩික්කරු ගාලට ගොස් සිය ඉලක්කය ඉදිරියෙන් සිටගති.සිය වර්ගයා වෙනුවෙන් ගෙන යන සටනේ තම ඉරණම තීන්දු කරන්න පැමිණි අයෙක් තමා ඉදිරියේ තුවක්කුවක් මානාගෙන සිටිනු ඇත් රජුට දිස්වේ.හේ පයින් පස් අවුස්සා දූවිලි නංවා කුංචනාද කොට සිය සටනේ අවසාන ජවනිකාවට එළඹේ.නායක හස්තියා වෙඩික්කරු හඹා දිව ඒ.වෙඩික්කරු සිය දණිස්ස නවා තමා ඉදිරියට වේගයෙන් ළංවන ඇත් ඉලක්කයට සිය රයිෆලය මානා ගෙන සිටී.එන්න එන්න දෙදෙන අතර පරතරය අඩුවේ.වෙඩික්කරු ඉදිරියෙන් අහස ගුගුරුවන්නා සේ හඬ නඟාගෙන වියරුවෙන් සිය සතුරා හඹා එන ඇත් රජුය.

"ඩෝං"

හිස් අවකාශය ගිගුම් දෙමින් පනාමුර කඳුපන්තිවල හැපී දෝංකාර දෙමින් රයිෆලයෙන් පිටවූ උණ්ඩය විදුලි සරින් ඇත් රජුගේ කුම්භස්තලය හරහා කිඳාබැස්සේ දෙදෙන අතර පරතරය අඩිගණනක සීමාවේ තිබියදීය.පුරා දින තුනක් සිය වර්ගයා වෙනුවෙන් අභීතව හඬ නැඟූ ඒ සුජාත ඇත් තෙමේ  තම අවසන් හුස්ම පොද වාතලයට මුසුකොට මිහිමව සිපගත්තේ සිය රැහැ වෙනුවෙන් මතු අනාගතයට ඵලදායි සුවිශේෂී යුග මෙහෙවරක් අරඹමිනි.මේ සිය රැහැ වෙනුවෙන් අභීතව දිවිපුදා දෙස් විදෙස් චිරප්‍රසිද්ධියට පත් පනාමුරේ ඇත් රජුය.

කිව්ව විදියට එක් උණ්ඩයෙන් සිය රාජකාරිය දේවකාරිය මෙන් අකුරට ඉටූකල වෙඩික්කරු පිටවයාමට සූදානම් විය. ඔහු නිර්භීතයෙකි.ඉලක්කය නොවරදින්නෙකි.එතරම් විශ්වාසනීයය.ඔහු පනහ දශකයේ මෙරට සිටි අතිදක්ෂ වෙඩික්කරු වූ සෑම් කදිර්ගාමර්ය.හේ අන් කවරෙකුත් නොව මෙරටින් බිහිවූ කෘතහස්ත දේශපාලකයෙකු වූ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේ වැඩිමහලු සහෝදරයාය.

සාමාන්‍යයෙන් මා දේශපාලනය නම් තුප්පහි ටොපික් එක ගැන කතා කිරීමට මනාප නැත.දේශපාලකයන් ගැනද කියන්න ඇත්තේද ඒ ටිකමය.එය නිකං කාලය කන්න කියාපු වැඩකි.ඒ සඳහා වැය කරන කාලය හරි අපරාදේය.ඉදහිට පුද්ගල චරිත ගැන මෙතුවක් කලකට මා ලියූ බ්ලොග්වලත් මා එවන් උන් ගැන ලියා නැත.නමුත් මොහු ගැන නම් නොලියාම බැරිය.හේතුව මගේ හිත මෙන්ම අතද වාවන්නේ නැති වීමය.මෙය මා මෙරට දේශපාලකයෙකු ගැන ලියන පළමු හා අවසාන බ්ලොග් සටහන විය හැක.හේතුව මොහු කෘතහස්ත ගණයේ  අයෙකු වීමය. ඒ වගේම මා මෙහිදී එතුමා හැඳින්වීමට දේශපාලනඥ යන වදන පවා වැඩිපුර නොයොදා රාජ්‍ය තාන්ත්‍රිකයා යන වදන යෙදුවෙ එතුමාට ගෞරවයක් විදියට.නැතිනම් දේශපාලනඥ කියන්නෙ මහ අප්‍රසන්න වචනයක්.

ටිකක් දිගයි.හැබැයි කියවන්න වැඩි වෙලාවක් යන්නෙ නැතිවෙයි.කියවලම බලන්න.

කදිර්ගාමර් මහතාට වැඩිමහලු සහෝදරයින් තිදෙනෙකි.එක් සහෝදරියකි.1932 අප්‍රේල් මස 12 වන දින උපත ලැබූ ඔහුගේ පියා සැමුවෙල් ජේ.සී.කදිර්ගාමර්ය.හේ ප්‍රසිද්ධ නීතීවේදියෙකි.මව එඩිත් රෝස්මෙන්ඩ් පරිමලෙයිය.කදිර්ගාමර් පවුල යාපනේ මනිපායි නිජබිම කරගත් දමිළ ක්‍රිස්තියානි වංශවත් පවුලකි.ඔහුට අටවසක්ව තිබියදී මව මියෙන අතර එතැන් සිට කුඩා ලක්ෂ්මන්ගේ මවගේ භූමිකාව රඟදක්වනුයේ සහෝදරිය වන ඊශ්වරී විසිනි.සිය පවුලේ අනෙක් සහෝදරයින් ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවත් කුඩා ලක්ෂ්මන් අකුරු කිරීමට යැවෙන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටය.

කදිර්ගාමර් පාසලේ දීප්තිමත් සිසුවෙකි.ඉගෙනීමට විශේෂ දක්ෂයෙකු වූ හෙතෙම ක්‍රීඩාවටද විශිෂ්ඨ දස්කම් දැක්වූයෙකු විය.ඔහු 1950 වසරේ විදුහලේ ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ අතර රගර් හා මළල ක්‍රීඩාවලද නිරත වූයේය.වාර්ෂිකව රාජකීය හා ත්‍රිත්ව විද්‍යාලයන් අතර පැවැත්වෙන සුප්‍රසිද්ධ බ්‍රැඩ්බි පළිහ ශූරතාවයට පවා හේ විදුහලේ රගර් කණ්ඩායම නියෝජනය කොට ඇත.1948 හා 49 වසරවල ඔහු විදුහලේ රගර් වර්ණලාභීයකු වන අතර 48 වසරේ හොඳම පිතිකරු සම්මානය දිනා ඇත.සරලව කිව්වොත් ඔහු ඕල් රවුන්ඩර් කෙනෙකි.

සිය අතීත ක්‍රිකට් හැකියාවන් ගැන වතාවක් තමා සම්මුඛ සාකච්ඡාවකට ලක් කල ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදියෙකුට ඉතා උපහාසාත්මකව පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

" A TV interviewer asked me whether I had ever played cricket. I said I had played before he was born – without helmets and thigh guards, on matting wickets that were full of holes and stones, and I had my share of broken bones to show of it. "-Wiki

"අප අතර එක් අපූර්ව පුද්ගලෙයෙක් විය.හේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාද,මල්ලව ක්‍රීඩා ශූරයාද ශිෂ්‍ය නායකයෙක්ද විය.හෙතෙම අසාමාන්‍ය දක්ෂතාවකින් හෙබි ශිෂ්‍යයෙක් හා කථීකයෙක්ද විය.නමින් ලක්ෂ්මන් කදිර්ගාමර්ය.එකල ඔහු මාගේ වීරයා විය."
මෙරටින් බිහිවූ අග්‍රගණ්‍ය සිත්තරෙකු වන වූ ස්ටැන්ලි කිරින්දේ සිය පන්ති සඟයා වූ කදිර්ගාමර් ගැන පසුකලෙක අදහස් දැක්වූයේ එසේය.මෙය මා උපුටාගත්තේ කීර්තිමත් ලේඛක තිස්ස අබේසේකරයන්ගේ "අයාලේ ගිය සිතක සටහන්" පොතෙනි.

සෑම අංශයකින්ම දැක්වූ අසමසම දස්කම් හේතුවෙන් විද්‍යාලීය උසස්ම සම්මානයක් වන "Ryde Gold Medal" සම්මානයෙන් පවා ඔහු පිදුම් ලැබීය.

1950 වසරේදී ඔහු සරසවි වරම් ලබා නීතිය හැදෑරීමට යොමුවන අතර 1953 සිය නීති උපාධිය ලබාගනුයේ ඒ වර්ෂයේ දීප්තිමත්ම සිසුවා බවට පත්වෙමිනි.1955 ඔහු නීතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙන අතර ශිෂ්‍යත්වයක් ලැබීම නිසා 1956 සිට 59 දක්වා ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීතී උපාධියක් හැදෑරීමට අවස්ථාව හිමිවෙයි.

එයින් පසු ඔහු ජාත්‍යන්තරයේ නීතිය සම්බන්ධ විවිධ රාජකාරිවල නියැලේ.අන්තර්ජාතික කම්කරු සංවිධානයේ උපදේශකයකු ලෙසත් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරන හෙතෙම නැවත ලංකාවට පැමිණෙන්නේ 1988 වසරේදීය.අන්තර්ජාතිකව පිළිගත් නීතීවේදියෙකු වන ඔහුගේ වෘත්තීයමය දිවියේ කූඨප්‍රාප්තිය සඳහන් වන්නේ මෙසේයි.

The crowning glory of his legal career was when he was elected as an Honorary Master of Inner Temple of Great Britain in 1995. In its 496 year history, Kadirgamar was the second Asian to achieve this status after the former Malaysian Prime Minister Tunku Abdul Rahaman in 1974.

කිසිදිනෙක දේශපාලන වේදිකාවක කතා කර නැති මෙතුමා සිය දේශපාලන දිවිය ආරම්භ කරන්නේ 1994 වසරේ පොදු පෙරමුණු රජයේ විදේශ ආමාත්‍යවරයා ලෙසය.ඒ මනාප පොරයකට ගොස් නොව සිය සුවිශේෂී උගත්කමේ ප්‍රතිභාවෙන් වෘත්තීයමය නිපුණත්වය මත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙනි.පරපුරෙන් පරපුරට,පවුල් ගසට,කත් ඇද්දට,හොරමැරකම,පගාව සුදුසුකම් සේ සලකා මැතිඇමැතිකම් දෙන රටක දේශපාලන ඉතිහාසයේ මා දුටු අතිශය නිවැරදිම තේරීම මෙයයි.වතාවක් නොව තෙවතාවක්ම මෙරට විදේශ අමාත්‍යවරයා වීමෙන් හේ නිහඬව කියා පෑවේ මේ තනතුරට  තමා තරම් අන් කවරෙකුවත් සුදුසු නැතිබව නොවේද? සැබැවින්ම එතුමන් මෙරට දේශපාලන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහළ වූ විශිෂ්ඨතම විදේශ අමාත්‍යවරයාය.එය අවිවාදිතය.තර්කයෙන් බැහැරය.

ඔහුගේ පත්වීම සිදුවන්නේ මෙරටට අත්‍යවශ්‍ය මොහොතකය.ඉන්දියානු සාගරයේ මුතු ඇටය ඉන්දියන් සයුරේ කඳුළුබිඳුව යැයි විරුදාවලී ලත් මොහොතක හෙතෙම සිය රටේ ප්‍රතිරූපය අන්තර්ජාතිකව ගොඩනගනු වස් දිවා රෑ නොබලා අසීමිතව වෙහෙසුණේය.තිස් වසරක යුද්ධයෙන් බැටකෑ මොහොතක ඔහු ත්‍රස්තවාදීන් වෙනුවෙන් අභීතව හඬ නැඟීය.විදේශ අමාත්‍යවරයකු වශයෙන් ඔහුට ලැබෙන UN,SAARC,ASEAN වැනි අන්තර්ජාතික සමුළු සම්මේලන සෑම තැනකදීම ඔහු වැඩි ඉඩක් වෙන්කළේ කොටි ත්‍රස්තවාදීන්ට එදිරිව හඩ නැඟීමටය.නීතීවේදියෙකු ලෙස ඊට අවැසිම වන චතුර කථිකත්වයත්,පෘථුල ඉංග්‍රීසි දැනුමත්,ස්ථානෝචිත වාග්මාලාවත් ඔහු සතු විය.ඔහුගේ වචන හරවත්ය.බරවත්ය.සංවේදීය.තර්කානූකූලය.හදවතට කිදා බහින සුලුය.එමෙන්ම උපායශීලීය.කිසිඳු රාජ්‍යයක් අමනාප කරනොගෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නියම විදේශ දූතයෙකුගේ භූමිකාවක් රඟ දක්වමින් සිය සෘජු අදහස් දැලිපිහියෙන් කිරිකන්නා සේ ප්‍රකාශ කිරීමේ අපූරු කුසලතාවක් ඔහු සතු විය.

සිය විදේශ අමාත්‍ය තනතුර ඉතා උපක්‍රමශීලීව භාවිතා කළ යුත්තක් බව ඔහු හොඳින් දැන සිටියේය.එකී තනතුර දැරීමේදී ඇතැම් අවස්ථාවලදී මුහුණ දීමට  අපහසු අවස්ථාවන් උදාවන බව කියා සිටි හෙතෙම, උපාය දන්නෝ අපායේ නොවැටෙත් කියන්නාක් මෙන් එකී අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දිය යුතු බව කියා සිටියේ පහත උදාහරණය ගෙන හැර පාමිනි.

"Foreign ministers sometimes find themselves in very difficult situations. Take pity on the Foreign Minister of Uganda. President Idi Amin had told him that he wanted to change the name of Uganda to Idi. The minister was told to canvas world opinion and return in two weeks. He did not do so. He was summoned to come. He was now in danger. He was asked to explain.
He said: "Mr. President, I have been informed that there is a country called Cyprus . Its citizens are called Cypriots, If we change the name of our country to Idi our citizens would be called... Idiots". ! Reason prevailed.

සිය රටේ පවතින ත්‍රස්තවාදය පිළිබඳව නිරන්තරයෙන් ලෝක ජනනායකයන් හමුවූ අවස්ථාවන්වලදී සිය නිර්දය අදහස් උදහස් ඔවුන් වෙත පළකිරීම ඔහුගේ සිරිතක් විය.ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමට නිරතුරුව උත්සාහ දැරීය.කොටි සංවිධානයට අන්තර්ජාතික අරමුදල් රැස්කිරීම ගැන වතාවක් ඔහු අන්තර්ජාතික සම්මේලනයකදී මෙසේ කීය.

At, the Royal Institute of International Affairs in London,in your address on April 15,1998,was mixed with sarcasm and heart -piercing words,when you said, 'Sri Lanka has been a victim of terrorism for a long time,and after a terror attack freindly countries run out of adjectives,in their condolence messages'. and went on to say,but finances come from terror outfit offices abroad including,211Catherine Road Office in London.'The finesse with you used the words,made these countries to touch their conscience;both the US and UK and EU later,proscribed the LTTE,which facilitated even the humanitarian operation of 2009.

මේ නිසාවෙන්ම කොටි සංවිධානයට අරමුදල් රැස්කිරීම අඩපණ වූ අතර ඇමෙරිකාව,යුරෝපා සංගමයේ ප්‍රධාන පෙළේ රටවල් කීපයක්ම කොටි සංවිධානය සිය රටවල තහනම් කිරීමට පෙළඹීම රට වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් විය.එය කොටි සංවිධානයට එල්ල කළ මරු පහරක් විය.කොටි සංවිධානයට ඔහු කෙරෙහි වූ වෛරය තව තවත් තීව්‍ර කරන්නක් වූයේ ඔහු උපන්ගෙයි දමිළ ජාතිකයෙකු වීමය.සිය සංවිධානයට ඔහු නිසා ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් ප්‍රබල වන තරමටම එයම එතුමන්ව කොටි සංවිධානයේ ඝාතන ලැයිස්තුවේ ප්‍රමුඛස්ථානයකට ගෙන ඒමට හේතුපාදක විය.ඒ බැව් මිය යාමට සුලු කාලයකට පෙර ඔහු විසින් The Hindu පුවත්පතට පවසා තිබුණි.

Kadirgamar on many occasions mentioned the LTTE's threats to his life. Speaking to The Hindu on 29 July 2005, he said "They (LTTE) can get me anytime. I get very serious reports things are hotting up".[18] - Wiky

ළමා සොල්දාදුවන් බඳවාගැනීම තරයේ හෙළා දුටු හෙතෙම ඒ වෙනුවෙන් සිය නිර්දය විවේචනයන් කොටි සංවිධානයට එල්ල කලේ සිය ජීවිතාරක්ෂාව පවා නොතකාය.2000 වසරේ කැනඩාවේ විනිපෙග් නුවරදී ළමා සොල්දාදුවන් පිළිබඳව ඔහු කළ කතාව ලෝකයේ බොහෝ රටවල ඇස් ඇරවන්නට සමත් වූවකි.1998 වසරේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙක් වූ ඔලාරා ඔටුනු පවා මෙරටට ගෙන්වූයේ මේ පිළිබඳව දැනුවත් කිරීමටය.ත්‍රස්තවාදීන්ගේ තර්ජනවලට බයේ සිය වාග්ප්‍රහාරයන් නතර කිරීමට හේ කිසිවිටෙක සූදානම් නොවීය.

පාසල් දිවියේ පටන් ක්‍රිකට්වලට බොහෝ ඇල්මක් දැක්වූ මේ අපූරු මිනිසා විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අවශ්‍ය අවස්ථාවන්වලදී ඒ සම්බන්ධව වුවද සිය හඬ අවදිකිරීමට නොපසුබට විය.

වරක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම 96 ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වීමට ආරක්ෂාව පතා මෙරටට පැමිණීමට නොහැකි බව දැන්වූ විට ඔහු ෂේන් වෝන්ට කීවේ ගැහැණියෙකු වන් මිනිසෙකුය කියාය.
Kadirgamar was known for his combative and ready wit. When Shane Warne justified Australia's decision to not play in Colombo during the 1996 Cricket World Cup due to the terrorist threat – saying that he could be targeted by a drive-in bomber while he was shopping – Kadirgamar is reported to have said "shopping is for sissies."[21]
ඕස්ට්‍රේලියානු විනිසුරු ඩැරල් හෙයාර් විසින් මුරලි පන්දුව දමා ගසනවා යැයි චෝදනා නැගූ විට නායක රණතුංගයන්ගේ ක්‍රියාකලාපය පිළිබද ඔහුගෙන් උපදෙස් විමසූ අවස්ථාවේ ඔහු අර්ජුනගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කළේය.

"remember vividly the incident that occurred in Australia when Murali was called for throwing and Arjuna led his team to the boundary, in protest, but cleverly refrained from crossing it. I was watching TV in Colombo . As a past captain I asked myself what I would have done in Arjuna’s place. In my mind I had no hesitation in supporting his decision. A few minutes later the phone rang. The President of the Board called to ask for advice. I said Arjuna was right because a captain must, on the field, stand up for his men and protect them, but the consequences must not be allowed to go too far; good lawyers must be engaged and a reasonable compromise must be reached. That was done.

බෙහෙවින් චතුර එමෙන්ම මුඛරි පුද්ගලයෙකු වූ හෙතෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී දේශපාලකයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වෙනස්කම් කියාසිටියේ මෙලෙසය.

Ladies and Gentlemen, let me see whether politics and cricket have anything in common. Both are games. Politicians and cricketers are superficially similar, and yet very different. Both groups are wooed by the cruel public who embrace them today and reject them tomorrow.

Cricketers work hard; politicians only pretend to do so. Cricketers are disciplined; discipline is a word unknown to most politicians in any language. Cricketers risk their own limbs in the heat of honourable play, politicians encourage others to risk their limbs in pursuit of fruitless causes while they remain secure in the safety of their pavilions. Cricketers deserve the rewards they get; the people get the politicians they deserve. Cricketers retire young; politicians go on for ever. Cricketers unite the country; politicians divide it. Cricketers accept the umpire’s verdict even if they disagree with it; politicians who disagree with an umpire usually get him transferred. Cricketers stick to their team through victory and defeat, politicians in a losing team cross over and join the winning team. Clearly, cricketers are the better breed.
කොතැනදිත් ඔහුගේ අදහස් දැක්වීම් ඉතා සෘජු විය.ඒවා වැනෙන සුළු ඒවා නොවීය.ප්‍රහාරාත්මකය.එමෙන්ම බෙහෙවින් උපහාසාත්මකය.

සිය දමිළ සම්භවය ගැන ඔහු ඉතා නිහතමානීව ආඩම්බර වූ අතර වරක් ඔහු ඒ ගැන මෙසේ කියා සිටියේය.
He also never lost an opportunity to highlight the contributions made by the Tamil community. In one of his speeches, he said, (quote) "...in every conceivable walk of life, in every sphere of national activity the Tamil people have made a very distinguished contribution" and he also said (quote) "...you name any field, and you find the Tamil people have made a very notable contribution".

නමුත් අහවලා දෙමළ,මේකා මුස්ලිම්,මෙන්න මෙයා බෞද්ධ යැයි දැක්මක් ඔහුට තිබුනේ නැත.ඔහුට වූයේ ශ්‍රී ලාංකික යැයි පුළුල් දැක්මකි.මේ එය සනාථ කෙරෙන හොඳම නිදසුනකි.

During a BBC interview he was asked if he thought he was a traitor to the Tamil people since he was a minister in a Sinhalese-dominated government. He said "People who live in Sri Lanka are first and foremost Sri Lankans, then we have our race and religion, which is something given to us at birth". "We have to live in Sri Lanka as Sri Lankans tolerating all races and religion".[17]-Wiki
කොයිතරම් නිරවුල් අදහසක්ද?

මේ අසහායයා උපතින් දමිළයෙකු වුවත් බෞද්ධයන්ගේ වෙසක් දිනය අන්තර්ජාතිකව සැමරෙන විශේෂ නිවාඩු දිනයක් බවට පත්කිරීමට 1999 එක්සත් ජාතීන්ගේ සම්මේලනයකදී යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ ගැන අද සිටින බෞද්ධ නඩ දන්නවාදැයි කියාත් සැක සහිතය.!ඒ සම්බන්ධව එහිදී කළ කතාව සයිබර් අවකාශයේ කියවීමට ඇත.දිගු ලිපියක් වන එය කියවූ කල එහි එන ඇතැම් කරුණු බෞද්ධයින්වත් දන්නවාදැයි කියා විටෙක මට සැක සිතේ.

මුලු මහත් ආසියාවටම සම්පතක් වූ යුද්ධයෙන් විනාශ වූ යාපනය පුස්තකාලය අළුත්වැඩියා කොට නැවත ජනසතු කිරීමට ඔහු තුළ වූයේ සුවිශේෂී උවමනාවකි. කියවීමට උපන් හපනෙකු වූ පොත්පත්වලට දැඩි සේ ආදරය කල එතුමන් යාපනය පුස්තකාලය යනු ඉතා අප්‍රකට කෘති,මිළ කළ නොහැකි දුර්ලභ පොතපතින් හෙබි මහා නිධානයක් බව දැන සිටියේය.

සාහිත්‍ය රසයක්,කලා රසයක් විරල දේශපාලකයන් අතර එතුමා සතුව එකී රසයන් රස විඳීමේ අපූරු හැකියාවක් තිබුණි.එය සනාථ වන්නේ සිය පාසල් මිතුරා වූ කළින් මා කළින් සඳහන් කළ මෙරටින් බිහි වූ විශිෂ්ඨ චිත්‍ර ශිල්පියෙකු වූ  ස්ටැන්ලි කිරින්දේ ගැන සිංහරාජ තම්මිට දෙල්ගොඩ විසින් ලියූ පොතට කදිර්ගාමර් මහතා ලියූ පෙරවදනෙනි.

"කිරින්දේ ගේ චිත්‍රවල ඇති නෙත්කලු බවට පිටුපස ඇත්තේ,ඒවා අප රට සංස්කෘතික උරුමයේ හා පරිසරයේ මහා පරාසය මුළුමනින්ම ආවරණය කරන්නක් වීමයි.අපගේ අනන්‍යතාවේ විවිධ වූ විචිත්‍ර වූ පැතිකඩ,බෞද්ධ උරුමය,අයස්කාන්ත ස්වභාව සෞන්දර්ය,අනේකවිධ පුරාවෘත්තයෙන් සපිරි ඉතිහාසය සා විවිධත්වයෙන් පැහැගැන්වුණු වර්තමානය මුළුමනින්ම කිරින්දේගේ චිත්‍රවලට හසුවී ඇත.ඒ චිත්‍ර සියල්ලෙ එකට ගත් කල්හි අප උදාර දේශයේ අභිඥානය නොහොත් ලකුණ ලෙස ලොව පුරා සැකයෙන් තොරව ඉදිරිපත් කළ හැකිය."
උපුටනය තිස්ස අබේසේකරයන්ගේ අයාලේ ගිය සිතක සටහන් පොතෙනි.එහිත් ඔහු වැඩි බරක් තබා ඇත්තේ සිය උදාර දේශය ගැන කීමටය.!

අවසානයේ සිය උදාර දේශය වෙනුවෙන් මිළ කළ නොහෙන උදාරතම මෙහෙවරක් කළ මේ උදාර මිනිසා සිය රට වෙනුවෙන් හඬ නැඟීම නිසාවෙන්ම සිය දිවියෙන් වන්දි ගෙවීය.සිත්පිත් නැති ත්‍රස්තවාදීන් තමන්ගේ ජාතියටම අයත් මිනිසෙක්ව බිලිගත්තේ ස්නයිපර්වරයෙකු ලවා තැබූ වෙඩි උණ්ඩයකිනි.

ඉතින් මෙය කියවන ඔබ හැම මදකට මේ බ්ලොග් සටහනේ ආරම්භයට ගෙනයාමට මදකට අවසර..
මේ බ්ලොග් සටහනට ප්‍රස්තූතයක් ලෙස පනාමුරේ ඇත් රාජා සම්බන්ධ කර ගත්තේ ඇත් රජුගේත් කදිර්ගාමර් මහතාගේත් විස්මය දනවන සුලු සිතාගත නොහැකි සමානකම් කීපයක් මා දුටු හෙයිනි.මේ චරිත දෙක යා කිරීමට මා යොදාගත් රැහැන සෑම් කදිර්ගාමර්ය.කලින් කිවූ පරිදි ඔහු ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ අයියාය.

"එක් උණ්ඩයයි එක් ඉලක්කයයි ."මෙය ස්නයිපර්වරුන්ගේ පුහුණුවේදී ලැබෙන ආදර්ශ පාඨයයි.එක් උණ්ඩයක් එතරම් වැදගත්ය. උණ්ඩ නාස්තිය තහනම්ය.මේ කතාවේ මා මුලින් සඳහන් කළ පනාමුරේ ඇත්රජුට වෙඩි තැබීමේදීත් ෆ්‍රැන්සිස් මොලමුරේ වෙඩික්කරුට උපදෙස් දුන්නේ එක් උණ්ඩයකින් වැඩේ හමාර කළ යුතු බවය.නමුත් ඔහු කෙතරම් දුරට ස්නයිපර්වරුන්ගේ මූලධර්ම දැන සිටියාදැයි මා දන්නේ නැත.

එදා මෙල්ල කළ නොහැකි ඇතෙකුට වෙනකෙකුගේ අණින් උණ්ඩයකින් පිළිතුරු දුන් සෑම් කදිර්ගාමර් සිය මළණුවන් මතු දවසක ඒ ආකාරයේම උණ්ඩයකට දිවි පුදනු ඇතැයි එදා සිහිනෙනුදු නොසිතන්නට ඇත.පොඩි වෙනසකට ඇත්තේ ඔහු ඇතුට මුහුණට මුහුණ ලා තැබීමත් කදිර්ගාමර් මහතාට තැබූ උණ්ඩය සැඟව සිට තැබූවක් වීමත්ය.නමුත් වැයකරනුයේ එක් උණ්ඩයකි.!

පනාමුරේ ඇතුගේ ක්‍රියාකලාපය නිසාවෙන් මෙරට සත්වාරක්ෂක නීතීරීතී තර විය.අණපනත් සම්මත විය.ඇත්ගාල් අහෝසි විය.කදිර්ගාමර් මහතා කලේද ඒ ටිකමය.ඒ හඬ නැගුනේ මුලුමහත් ශ්‍රී ලාංකිකයන්ම වෙනුවෙනි. අවසානයේ මේ දෙදෙනම වෙඩි පහරට ලක්වන්නෙ සිය රැහේ උන් වෙනුවෙන් හඬ නැඟීම නිසාය.නිකම්ම නොව අභීතව හඬ නැගීම නිසාය.
දෙදෙනාම සිය රැහැ වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙවරට තිත තබා දිවියෙන් සමුගන්නේ අගෝස්තු මාසයකදීය.!

මෙරටට විශාල පාඩුවක් වූ කදිර්ගාමර් මහතාගේ මරණය ගැන එවකට එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මිය සිය සොව පළකර තිබුණේ මෙසේය.
US Secretary of State Condoleezza Rice, who last met Mr Kadirgamar in June, condemned the assassination of Sri Lanka's foreign minister as a "senseless murder and vicious act of terror" and urged Sri Lankans not to let it lead to resumed civil war. She praised Kadirgamar as a man of "dignity, honor and integrity, who devoted his life to bringing peace to Sri Lanka".

අවසානයේ සිය රටට කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් ඔහු "ශ්‍රී ලංකාභිමානය" නම් සම්මානයෙන් පිදුම් ලබයි.එය මෙරට සිවිල් වැසියෙකුට ලැබිය හැකි උපරිම පුදලැබීමයි.නමුත් කදිර්ගාමර් මහතා මෙකී සම්මානයෙන් පුද ලබනුයේ මරණින් පසුය.එවන් සම්මාන කොයිතරම් ඉහළ වූවත් වැඩක් නැත.එවන් උදාර ගණයේ සේවයක් කළ මිනිසෙකුට එවැනි පිදුම් දීමක් ඊට කලින් කළ හැකිව තිබුණි.මන්ද විදෙස් රටවල් ඔහුගේ වටිනාකම අවබෝධ කරගෙන ඊට කලින්ම එවන් විරල ගණයේ පිදුම්දීම්වලින් ඔහු සරසා ඇති බැවිනි.මා මේ සටහන සමාප්ත කිරීමට යන්නේ එවැන්නකිනි. මේ කථාව සමහර විට බොහෝ අය අහලත් ඇති..අහල නැතුවත් ඇති.

කලින් කිව්වා වගේ ශිෂ්‍යත්වයක් දිනා ඔක්ස්ෆර්ඩ් සරසවියට යන ඔහු එයින් උපාධිය ලබාගන්නෙ 1960 දී.ඊට අවුරුදු පනහකට විතර පස්සෙ 2005 වසරේ දී මෙතුමාගෙ පිළිරුවක් ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිරාවරණය කරන්නට සරසවියේ පාලකයන් තීරණය කරනව.වසර 184 පුරා විහිද යන ඔක්ස්ෆර්ඩ් සරසවි ඉතිහාසයේ එවන් සිහිවටන ස්මාරකවලින් පිදුම් ලැබූවන් ඉන්නෙ 15 දෙනෙකු පමණයි.මේ පිදුම් ලැබීම ආවට ගියාට නොදෙන්නක්.නමුත් නිසි පුද්ගලයෙකුට නියම කලට ලබාදුන් පිදුමක්.අතිශය විරල අවස්ථාවක්.විශේෂයෙන් ලාංකිකයකුට ලැබුන ඉහළම ගෞරවයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.එම අවස්ථාවේ උත්සව සභාව අමතන ඔහු මෙසේ කියා සිටිනවා.

'……I would like to, if I may, to assume that I could share the honour with the people of my country, Sri Lanka . I had my schooling there, my first university was there, I went to Law College there and by the time I came to Oxford as a postgraduate student, well, I was relatively a matured person.
Oxford was the icing on the cake … but the cake was baked at home ……(applause) .'

ජාත්‍යන්තරයේ මෙතුමා විවිධ අවස්ථාවන්වල්දී විවිධ ප්‍රකාශයන් කර තිබෙනව.නමුත් ඒ මොන උපහැරණෙටත් වඩා මා වැඩියෙන් ඇලුම් කරන්නේ කදිර්ගාමර් මහතාගේ ඉහත ප්‍රකාශයටයි.විශිෂ්ඨයෙකුගෙ අති විශිෂ්ඨ ප්‍රකාශයක්.

කියවනකොටත් ඇඟේ හිරිගඩු පිපෙන බොහෝම දේශප්‍රේමී බවක් ගැබ් වෙච්ච ප්‍රකාශයක්.

"මම හාවඩ්වල MBA එක කළා,මගෙ PHD එක ඔක්ස්ෆර්ඩ්වල මෙහෙ වගේද එහේ" කියලා ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන, මෙහේ නිදහස් අධ්‍යාපනෙන් ගොඩගිහින් බුද්ධිගලනයට අහුවෙලා ඒ රටවලට ගිහින් මේ වගේ පිදුම් දීමකුත් නැතුව, ඒ රටවල ගුණගයමින් වන්දිභට්ටකං කරන සිරි ලංකාව කියන රටේ ඉපදුණු, මුල මතක නැති ගුණමකුවන්ට ඔබතුමා එල්ල කරන්නේ හොඳ කනේ පහරක්.හරිම උපහාසාත්මකයි.

එතැනදිත් ඔබතුමා කිව්වෙ උපන් රට ගැන.මුල තියෙන්නෙ ලංකාවේ කියා.ඔබ කෙතරම් තම නිජබිමට ආදරේද පක්ෂපාතීද යන්න සඵල කිරීමට මේ වචන ටික ඉහටත් උඩින්.අනිවාර්යයෙන් ත්‍රිත්ව මෑණියන් ඔබ ගැන ආඩම්බර වෙනව ඇති.අනේක වාරයක්.ඒ වගේ විරල අවස්ථාවක තමාගේ පාසලටත් උපන් බිමටත් ඒ ගෞරවය නිසිලෙස ලබා දුන්නට.
තව මේ අපූර්ව මිනිසා විසින් කල කථා,ප්‍රකාශයන්,නන් දෙසින් ලැබූ කිත්‍ යසස්,සම්මාන ගැන කියන්න ගියොත් මේ සටහනේ සමාප්තියකට ඒම උගහටයි.

උතුම් මිනිසෙකු වශයෙන් සිය නිජබිමේ උන්නතිය වෙනුවෙන් උදාරතර මහඟු සේවයක් කළ කදිර්ගාමර් මහතාණෙනි ඔබ තවත් කළකට මෙරටට පහළ නොවන විශිෂ්ඨයෙක්. සමහර විට ඔබ වගේ අයෙක් පහළ වෙන්නෙම නැති වෙයි.අද්විතීයයෙක්.රටට ණය නැත්තෙක්.පහත වැකියට ඕනෑවටත් වඩා සුදුස්සෙක්.

"Government's first duty is to protect the people,not run their lives."
- Ronald Reagan

මේ සටහන ඔබ අපෙන් සමුගෙන දසවන සංවත්සරය වෙනුවෙන් ලියැවුණකි.

-නිරා-
Nirmal Ranasinghe BMD

මූලාශ්‍ර -Wikipedia වෙබ් අඩවිය හා සයිබර් අවකාශය
.වැඩකට ඇති වැදගත් යයි හිතෙන ලිපියක් නම් පමණක් අන් අයට කියවීමට share කරන්න.
dilankanir@gmail.com