Featured Post

Tuesday, May 31, 2016

"හඬ නිහඬ"- ජයලත් මනෝරත්න

"හඬ කොහොමද නිහඬ වුනේ?"
-  "හඬ නිහඬ" වේදිකා නාට්‍යය ගැන දොඩමළුවක් -

ඔහු වේදිකාව දිග්විජය කළ අයෙකි.ඔහු තැනූ වේදිකා නාට්‍ය බොහෝ අය ආදරයෙන් වැළඳගත් ඒවාය.

"හඬ නිහඬ" ඔහු ප්‍රසූත කළ අළුත්ම වේදිකා නාට්‍යයය.ජූනි මස 04 වන දින එහි දර්ශන වාරයක් සවස 6.30 ට පැවැත්වීමට නියමිතය.මේ අප කවුරුත් දන්නා ජයලත් මනෝරත්නයන් සමඟ ඔහුගේ අළුත්ම වේදිකා නාට්‍ය වන "හඬ නිහඬ" පිළිබඳව අඩ හෝරාවකිනුත් අඩක් පමණ කාලයකදී මවිසින් දුරකථනයෙන් කළ කෙටි දොඬමලුවකි.

± "හඬ නිහඬ" ඔබගේ අළුත්ම වේදිකා නාට්‍යය.මෙතෙක් වේදිකා නාට්‍යවල්දී වැඩි කතාබහට ලක් නොවුණු පැත්තක් මේ නාට්‍යයේ ඇතුළත්. අන් අයට දැනගැනීමටත් එක්ක මෙහි අන්තර්ගතය ගැන යමක් කියන්න.

1900 ග්‍රැමෆෝන් යුගය 1960 ගණන්වල සනත් වික්ටර් ආපු යුගය ඊළඟට නූතන යුගය කියන දීර්ඝ  කාලපරාසයක ගායක පරපුරක නැත්නම් සංගීත ක්ෂේත්‍රයේ වෙච්ච හැලහැප්පීම්, දුක්ඛ දෝමනස්සයන්, ඒගොල්ලන්ගෙ අභියෝග,ඒ අයගෙ ජීවිතය හරිහැටි කළමණාකරණය නොගැනීම වැනි ප්‍රශ්න තමා මේ නාට්‍යයේ කතාබහට ලක්වෙන්නෙ.දැන් මගෙ තලමල පිපිලා නාට්‍යයේ කතාකලේ නර්තනය පැත්තනෙ.ඒ වගේ මේකෙදි කතා කරන්නෙ සංගීත ක්ෂේත්‍රය පැත්ත.ජීවිතය පැත්තෙන් කුටුම්බය,ගෘහ ජීවිතය ඊළඟට වෘත්තීයමය පැත්තෙන් දේශපාලන හා සමාජමය පැත්තෙන් මුහුණ පෑ ප්‍රශ්නත් මේ නාට්‍යයේදී කතාබහට ලක්වෙනව.

± මේ නාට්‍යය අයත් වෙන්නෙ කුමන වේදිකා නාට්‍ය වර්ගයකටද?

වාර්තා රංග කියන වර්ගයට තමා අයත් වෙන්නෙ.බ්‍රෙෂ්ට්ගේ එපික් රංග රීතිය කියල තියෙනවනෙ.ඒකේ එක අත්තක් තමා වාර්තා රංග රීතිය.දයානන්ද ගුණවර්ධන මහත්මයා වගේ අය කරපු ගජමන් පුවත,මධුර ජවනිකා,ආනන්ද ජවනිකා වගේ නාට්‍යයවල ආකාරයම තමයි මෙහිදීත් දකින්න ලැබෙන්නෙ.මගේ ගුරුතරුව සහ අනිකුත් ගොඩක් නාට්‍යයවලත් දකින්න ලැබෙන්නෙ වාර්තා රංග රීතිය.

± මේ නාට්‍යයෙන් ඔබ සමාජයට ලබාදෙන පණිවිඩයක් තියෙනවද?

ඔව්.මගේ හැම නාට්‍යයකම එහෙම පණිවිඩයක් තියෙනව.මානව සම්බන්ධකම් තමා මේකෙ පෙන්වන්නෙ.ආදරය,කරුණාව,සෙනෙහස ඒ වගේ දේවල් සහ මේකෙ එක තැනක කියවෙනව "ජීවිතයේ හැන්දෑ කාලය ගැන හිතන්න ඕන මහ පාන්දරම කියල".

ඒ කියන්නෙ ජීවිතය කළමණාකරණය කරගන්න දැනගන්න ඕන මුල් යුගයේ.කළාකරුවා ජීවිතයේ අවසාන කාලයේ වයසට යනකොට අසනීප වෙනව,අසරණ වෙනව,කලා හැකියාවන් වියැකී යනව,අනාථ වෙනව ඒ වගේම සංගීත ශෛලීන් කියන ඒවා කාලයත් එක්ක වෙනස් වෙනව,ඒවට ලෝකයෙන් වෙන බලපෑම්,දේශපාලන‍ය නිසා ඇතිවන බලපෑම්,ජනප්‍රිය සංස්කෘතිය නිසා ඇතිවන බලපෑම් ඒවා කොහොමද ගෘහ ජීවිතවලට බලපාන්නෙ ඒවට මුහුණ දෙන්නෙ කොහොමද කියන ආකරය ගැන පණිවිඩයක්  තමයි මේ නාට්‍යයෙන් දෙන්නෙ.

± මෙහි ඔබ අත්විඳි පෞද්ගලික අත්දැකීම් ඇතුළත්ද?

අපේ ගමේ තිබුන කෝපි කඩයක්.ඒ කඩේ මුදලාලි ග්‍රැමෆෝන් ගීත රස විඳින්නෙක්.ඔහු පැරණි ග්‍රැමෆෝන් ගීත වාදනය කරනව.ඒකත් මේ නාට්‍යය නිර්මාණයේදී මගෙ ඔලුවෙ තිබුන.ඒ වගේම මම දැකපු දෙයක් තමයි කලාකරුවො,ගායක ගායිකාවො ජීවිතේ අවසාන කාලයේදී හුඟක් අසරණ වෙනව.මේ "අසරණ" කියන වචනෙත් පොඩි බරක් තියෙනව.එහෙම අසරණ වෙන්නෙ ඇයි සහ එහෙම අසරණ වීමෙන් මම ලබපු සංවේදනාව වගේ අත්දැකීම් මේ නාට්‍යයට ඇතුළත්.

± මේ නාට්‍යයේ ඔබ නිර්මාණය කළ ආකරය ගැන යමක් කිව්වොත්.

ඒ ගැන කිව්වොත් ඓතිහාසික සැබෑ සිද්ධි තියෙනව,ඓතිහාසික සැබෑ චරිත තියෙනව.එතකොට ඊට සම්බන්ධ පරිසරයන්,නම්ගම් පිළිබඳ නිශ්චිත තොරතුරු අපි හොයන්න ඕන.ඒ සඳහා මම පතපොත ඇසුරු කළා,පැරණි මිනිසුන් හම්බවෙලා කතාබහ කළා.ඔය වගේ බොහොම  ගවේෂණාත්මකව (Research type)කරුණු එක් රැස් කරල තමයි මේ නාට්‍යය නිර්මාණය කරල තියෙන්නෙ.

± කොපමණ කාලයක් මේ සඳහා ගත කළාද?

සාමාන්‍යයෙන් මගේ පිටපතක් ලියන්න අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ කාලයක් ගන්නව.
මං ලියපු හැම නාට්‍යයකටම ඒ වගේ කාලයක් ගත වෙනව.කරුණු එක්රැස් කරල,විශ්ලේෂණය කරල ඒවයෙ තියෙන සංවේදි ගතිසොභා හොයාගෙන නාට්‍යට අනුකූලව ගොඩනැඟීමෙන් තමයි පිටපත සම්පූර්ණ කරන්නෙ.

± මේ නාට්‍යයේ චරිත කොපමණ ප්‍රමාණයක් තියෙනවද?

චරිත දහ අටක් පමණ.විවිධ චරිත තියෙනව.ඒව වෙනස් වෙනව.සමහරක් අය චරිත දෙක තුන කරනව.

± නාට්‍යයේ සංගීත නිර්මාණය කොහොමද වෙන්නෙ.

මේක සංගීතමය පැත්තට බර වේදිකා නාට්‍යක්.සංගීතය පැත්තෙන් ලොකු භූමිකාවක් කරනව නවරත්න ගමගේ.සංගීතය සජීවීව සපයන්නෙ.

± මා දැක තියෙනව කලින් පටිගත කළ සංගීතය යොදාගන්නව.ඇයි මේකෙ සජීවී සංගීතයක් යොදාගන්නෙ.

ඒ දන්නැති අය.!වේදිකා නාට්‍යය කියන්නෙ සජීවීව පෙන්වන දෙයක්නෙ.හරිනම් සංගීතයත් සජීවී වෙන්න ඕන.දැන් ඉතින් ගොඩක් දේවල් කරන්නෙ ලාබෙටනෙ.දැන් නාට්‍ය කියන්නෙ විකුණන්න හදන බඩුවක් වගේනෙ.මේ නාට්‍යයට උචිත සංගීතය හදන්න මාස හයක් හතක් විතර මහන්සි උනා.හැම එකක්ම පර්යෙෂණ මට්ටමින් තමා කළේ.

± මේ වෙනකොට දර්ශන වාර කීයක් පෙන්වල තියෙනවද?
දැනට නම් දහයක් දොළහක් වගේ තමා කරල තියෙන්නෙ.පටන්ගත්තෙ අපි මාර්තුවල.අප්‍රේල් මාසයේ ඒ තරම් දර්ශන වාර තිබ්බෙ නෑ මම ලංකාවේ නොසිටි නිසා.මැයි මාසෙ තමා වැඩිපුර පෙන්නුවෙ.

± ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මගේ නාට්‍යම බලන්න නිතර එන පිරිසක් ඉන්නව.ඒ ඇරුණු විට මේ නාට්‍යයට ප්‍රස්තූත වෙන විෂය මීට කලින් වැඩිය කතා බහට ලක් නොවුන විෂයක් නිසා ඊට ආසක්තව අළුතින්ම එන කොටසකුත් ඉන්නව.හැම කෙනෙක්ම නාට්‍ය හොඳින් වින්ද බවක් පේනව ඒ අය එක්ක කතා කරනකොට.නොයෙක් දෙනාගෙ නොයෙක් අදහස් තියෙනව.මේ පිළිබඳ පත්තරවලත් ලිපි පළවෙලා තිබුනා.නන්දා මාලිනී,රවින්ද්‍ර රන්දෙණිය,සුනිල් ආරියරත්න,සුනිල් එදිරිසිංහ වගේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය මේ නාට්‍යය හුඟාක් ඉහළින් පිළිගත්ත.

1900 වසරින් පටන්ගෙන කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී නූතන ජනප්‍රිය සංස්කෘතියේ රියැලිටිකරණය දක්වා වන අත්දැකීම් ඇතුළත් මේ වේදිකා නාටකයේ දර්ශන වාරයක් 2016 ජූනි මස 4 වනදා සවස 6 ට කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ය.

කළාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ නාට්‍යයක් වන මෙය නැරඹීමට එකතුවන මෙන් මහානාම විද්‍යාලීය 2002 කණ්ඩායම ඔබට ඇරයුම් කර සිටී.නිරෝශන් දාබරේ ඇමතීමෙන් ප්‍රවේශපත් ලබා ගත හැක.නැත්නම් මහානාමේ 2002 කණ්ඩායමේ ආදි සිසුවකු වන මේ සටහන ලියූ මට ඇමතුවද කමක් නැත.

එහෙනම් එන්න ජූනි 4 වෙනි සෙනසුරාදා 6.30ට.බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර  පාසල් ශ්‍රවණාගාරයට.දන්නව ඇතිනෙ බොරැල්ලෙ තියෙන්නෙ.නැත්නම් වේදිකා නාට්‍යය බලන්න ආස කෙනෙකුට මේ පණිවිඩේ දෙන්න.එහෙම කෙනෙකුට දකින්න මේ සටහන කියවා ශෙයාර් කරන්න.මතක ඇතුව ප්‍රවේශපත දැන්ම වෙන්කරවා ගන්න.සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් තියෙන්නෙ.බොහොම ස්තුතියි.ජය.

-නිරා නොහොත් නිර්මාලයා-
Nirmal Ranasinghe Bmd.

ප්‍රවේශ පත්
නිරෝෂන් - 0773786492
නිර්මාල් - 0716128852

Tuesday, May 24, 2016

මම කිසිම ගුරුකුළයකට නෑ - කාල නදී ගලා බසී කතුවර නෝබට් අයගමගේ

- කාල නදී ගලා බසී -

මා ඉදිරිපිට එතරම් නූස් කුඩා සිරුරකින් හෙබි පුද්ගලයෙකි.ගඟක වතුර ලැසි ගමනින් ගලා යන්නේ යම් සේද  ඔහුගේ මුවඟින් වචන ගලා යයි.ඒවදන්ද ගඟ සේම රමණීයය.රසාලිප්තය.අරුතින් පිරිපුන්ය.කළු ගඟ ඔහු ප්‍රාණ සරිය.කළු ගඟේ පාරු සංස්කෘතිය අලලා කුළුදුලේ ඔහු ලියූ නවකතාව රාජ්‍ය සම්මානිතය.කාල නදී ගලා බසී නම් එපොතේ කතු මා ඉදිරියේය.හේ නෝබට් අයගමගේය.පිටපත් රචනය,නාට්‍ය රචනය,නවකතාව ඔහුට අයත් වපසරියන්ය.මතුවට දිගහැරෙන්නේ ඔහුගේ කුළුදුලේ නවකතාව හා දෙවන නවකතාව වන සුර අසුර යාමය ගැන පුරා හෝරාවකට අඩු කාලයකදී මා හා දොඩමළු වූ දෑය.

01.කාලනදී ගලා බසී ඔබතුමාගේ පළවෙනි නවකථාව.ඒකට ප්‍රස්තූත වුනේ මොකක්ද?

මගේ හිතේ පොඩි කාලෙ ඉඳන්ම පාරු සංස්කෘතිය ගැන ලොකු ඇල්මක් තිබ්බා.කළු ගඟ ගලා යන්නෙ අපේ ගේ ගාවින්.අපි පොඩිකාලේ යන්තම් මට හීනයක් වගේ මතකයි කළු ගඟේ පාරු යනව එනව.සීයල කලේ පාරු වෘත්තීය.පොඩි සන්ධියෙත් අපි නිතර කථා වෙනව පාරු කවි,පාරු චර්යාවන්,පාරු කතන්දර ගැන.කළුගඟ පොඩිකාලේ ඉඳන්ම මගේ හිතේ ගෞරවයත් ඇතිකළ ගුප්ත වස්තුවක්.හරිම අද්භූතයි.ගෞරවනීයයි.ස්වභාවධර්මයෙ වස්තුවක් උනාට කලුගඟට මගේ හිතේ පුංචි  බයකුත් තීබුනා.ගරුත්වයකුත් තිබුනා.ගඟට බහින්න වුණත් මම බයයි.මොකද කකුගඟ අපේ හරියෙදි ගොඩක් සැර පරුසයි.අනිවාර්යයෙන්ම අවුරුද්දට දෙපාරක් විතර ගඟ ගලනවා.කවුරුහරි අවුරුද්දකට සැරයක් ගඟේ ගිලිල මැරෙනව.

ඒත් කළුගඟ කියන්නෙ අපේ පළාතට සම්පතක් කියලත් මට හැඟෙනව.මොකද ඒක නිසා ජීවත්වෙන දෙනෝදාහක් අපේ ගම්වල ඉන්නව.මාලු අල්ලලා,වැලි ගොඩදාලා,ඔරුපාරු රස්සාව කරල,පහුරුවලින් ලී අරගෙන ගිහිල්ල,ඒ වගේ අපේ ගමත් එක්ක බැඳිච්ච සමීප සංස්කෘතියක් තියෙනව කළුගඟත් එක්ක.අපේ සීයලත් පාරු රස්සාව කරපු නිසා මං හිතන්නෙ අතීත ජානමය උරුමවලින් මට කිට්ටුවෙන්න ඇති.නවකතාවක් ලිව්වොත් පාරු රස්සාවත් කළුගඟත් එක්ක තමයි කතාව ලියන්නෙ කියල සිහින ජායාවක් වගේ පොඩි කාලෙ තිබ්බ.නමුත් ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ පොතක් ලියනව කියල.මම ඉස්සර කලුගඟ ගැන කවි ලියල තිබුණ.තොටියෙක් ගැන කෙටිකතාවක් ලියල තිබුණ.නමුත් නවකතාවක් ලිවීමේ දැවැන්ත කාර්යභාරයට අතගහන්න මං බය වුනා.නවකතාවක් කියන්නෙ හරි සංකීර්ණ බරපතල වැඩක්නේ.ඉතින් කොහොමහරි ඒකට අවස්ථාව සැලසුනා.ඉතින් මං ඔය කිව්ව දේවල් උඩ කතාව ගොඩ නැඟුව.

02. ඔබතුමාගෙ සීයා සාදිරිස්.එතකොට කාලනදී ගලාබසී කෘතියේ ප්‍රධාන චරිතය වන සාදිරිස් ගෙන් නිරූපනය වෙන්නෙත් ඔබේ සීයද?

මං එයාවම තමයි කතාවෙ ඉන්න සාදිරිස්ට ආරෝපණය කළේ.සීයගෙ මම දැකපු ගතිගුණ,හැඩරුව,ප්‍රතාපවත් බව,ප්‍රචණ්ඩත්වය,කාරුණික බව,මෘදුබව වගේ ඇවතුම් පැවතුම්වලින් තමයි ඒ චරිතය මම නිර්මාණය කලා කතාවට අනුරූපනය වන විදියට.සාදිරිස් තුළින් මම දැක්කෙ මගේ සීයවම තමයි.

03.මේ කතාවෙ සෑහෙන චරිත ගොඩක් තියෙනව.කළුගඟ ආශ්‍රය කරගෙන යන්නෙ.ලොකු කාලපරාසයක් හරහා.ඒව ගොඩනැගුවෙ කොහොමද?

ඒක මෙහෙමයි.පාරුවක් උනාම පැහැදිලිවම ඒක විසිතිස් දෙනෙකුගෙ සහභාගිත්වයෙන් තමයි දියට දැමෙන්නෙ.ඒ තුළ සමස්ත සමාජයේම නියෝජනයක් තියෙනව මම දකින විදියට.එතන රස්තියාදුකාරයො,අපතයො,කපටියො,විහිළුකාරයො,මන්තරකාරයො,වෙද්දු,චණ්ඩි,මෝඩපහේ උදවිය වගේ චරිත රැසක් තිබෙනව.එය සමාජ සංයුතියෙ නිදර්ශකයක්.ඒ අය තමයි මෙතැන ජීවත් වෙන්නෙ.දැන් අපි බැලුවොත් පාරු සයිමා අමුතුම චරිතයක් තියෙන කෙනෙක්.එයාගෙ චර්යාවන් හරි වෙනස්.කුමතේරිස් ගත්තොත් ඊටත් හාත්පසින්ම වෙනස්.තණ්ඩලේ සමාජ නායකයෙක්වගේම වැඩිහිටියෙක්,තලතුනා කෙනෙක්, ලෝකය දන්න මිනිහෙක්.එයා අපේ ගම්වල හිටපු වැදගත් චරිතයක් විදියටයි මම එයාව ගොඩන්නැගුවෙ.එයා පාරුවේ ආඥාදායකය.එයාගෙ අණට ඉහළින් කෙනෙක් යන්නෙ නෑ.පාරුකාරයින් වශයෙන් වෙනම අනන්‍යතාවකුත් තියෙනව.අපි පොඩි කාලෙ තිබ්බ සමාජය තුළ මේ චරිත ජීවත් උනා.ඒ චරිත ඇසුරෙන් තමයි මේ කතාවත් ගොඩනැගුනෙ.

මගේ මුල් සටහනක් තිබ්බ.කතාව මේ වගේ වෙන්න ඕන කියල.නමුත් මේ අවසානයක් ගැනවත්,කතාව ගලායන්නෙ කොහෙටද කියලවත් ස්ථිර දිසානතියක් තිබ්බෙ නෑ.කතාව මේ විදියටයි ඉවර වෙන්න ඕනෙ කියල දැඩි තීරණවල මම හිටියෙ නෑ.ලියාගෙන යනකොට කතාව තුළමයි මම ජීවත් වුනේ.ඒ වගේම බොහෝ අයගෙ කතාන්දර අසන්නට ලැබෙනව.වටපිටාවෙ හැසිරීම් දකින්න ලැබෙනව.ඒවයෙන් තමයි මේ චරිත පෝෂණය කළේ.කතාවත් හරියට ගඟක් ගලායනව වගේ.

ගඟක් උණත් මුහුදට වැටෙන තැන තීන්දු කරන්නෙ ගඟ නෙවයිනෙ.එතන පවත්නා භූ විෂමතාවයනෙ.ගඟ ඔහේ ගලාගෙන යනව.කතාවත් ඒ වගෙ.ඒක සුදුසු අංශෙකට ගියා කියල දැන් මම සතුටු වෙනව.සැහීමකට පත්වෙනව.බොහෝ අයගෙ පිළිගැනීමකට ලක්වෙන නිසා.

04.සාදිරිස්ගෙ කැටපෝලය මේ කතාවෙ ඔහු පැනයාමේ සිට ඔහුට පාරුව තුළ තම ස්ථාවරය ගොඩනඟා ගැනීම දක්වා භාවිතා වන උදව් වෙන උපකරණය.ඒව ඔබ කල්තියා හිතාගෙන ගොඩනඟාගෙන හිටියද?

ඔව් සුද්දගෙ අස්සයට කැටපෝලෙන් තියපු තැන ඉඳන්.ඒකත් මම හිතාමතා කළා නෙමේ.අපේ පරම්පරාවේ අයගේ අතේ තීච්ච භයානකම ආයුධය තමයි කැටපෝලය.ඒ කාලෙ කෙනෙකුට කැටපෝලෙන් හරි ඉලක්කෙට විදින්න පුලුවන් නම් ඒක වීරකමක්.ඒ වීරයා තමයි සාදිරිස් තුළ හිටියේ.සාදිරිස් අයුක්තිය අසාධාරණයට එරෙහිවන කෙනෙක් වගේම එයාගෙ සාධනීය පැත්තකුත් තිබුණ.ඔහු හැමදේම කලේ යහපත් අරමුණක් වෙනුවෙන්.යහපත් අරමුණක් වෙනුවෙන් සුළු නරකක් කළාට කමක් නෑ කියල කතාවකුත් තියෙනවනෙ.ඒ ස්ථාවරයෙ තමයි මමත් ඉන්නෙ.ඒ සිදුවීම් පෙළ කල්තියා හිතාගෙන හිටපු ඒවා නොවේ.

05. මේ කතාව කියන්නෙ කථකයා.එතැනදි මේ කතාවේ එන චරිත රූකඩ වගේ වීමක් නැද්ද.?

නෑ ඔබ එහෙම කිව්වට මම හිතන්නෙ නෑ.ඒ චරිතෙට වූ අනන්‍යතාවය මම ගොඩනඟා දීල තියෙනව.මම පිටස්තරව ඉඳන් මේක දකින කෙනා.මම වෙනම පුද්ගලයෙක්.මම දකිනව මේක වෙන ආකාරය.බලන්න කුමතේරිස් ගෙ චරිතය මම ඕනෑවට වඩා විකෘති කරලා නෑ.එයාගෙ චරිත ලක්ෂණ තුළින් තමයි එයාගෙ අවසානය ඇති කරගත්තෙ.නමුත් සමහර කෙනෙකුට කියන්න පුලුවන් එයා මෙන්න මේ විදියයි කියල.තමන් කරන්න යන දේ ගැන වගකීමකින් තොර මිනිසුන් තිරස්චීනව ජීවත්වන මිනිසුන්,කිසිම හැදියාවකට නැති මිනිසුන් ඉන්නව.නමුත් ඒ මිනිසුන් තුළත් හොඳ ගතිගුණ තියෙන්න පුලුවන්.ඔන්න ඔය වගේ සංකීර්ණ චරිත තමයි මම නිර්මාණය කලේ.ඉතින් මම හිතන්නෙ නෑ ඒ කිසි දෙයක් අභව්‍යයි කියල.

මම කථකයා නම් මම දැනගන්න ඕන හැම චරිතෙටම සාධාරණයක් ඉෂ්ට කරන්න.ඒ වගේම හැම චරිතයක්ම සුදුත් නෑ හැම චරිතයක්ම කළුත් නෑ.බොහෝ අය මට කියෙන විදියට චරිත සියල්ලම වගේ ආදරයෙන් වැළඳ ගෙන තියෙනව.මම ඒකට එකඟ වෙන්නෙ නම් නෑ.චරිතවල රූකඩ බවට පත්වුණයි කිව්වොත් මට හිතාගන්න පුලුවන් මොකද ඒ චරිත ගමන් කරන ආකාරය අනුව සමහරු කියනව කුමතේරිස්ව මෙච්චර සාහසික මරණයකට යොමු නොවෙන්න තිබ්බ කියල.නමුත් ඒක මම නෙවෙයිනෙ ඉල්ලා සිටියේ.එයාමනේ.සිද්ධි මතින් ගොඩණැඟෙනවනෙ එයාව.අපි සිද්ධිය විශ්වාසනීයත්වයකින් ඉදිරිපත් කරනව නම් ඒ චරිතෙට අසාධාරණයක් වුනේ නෑ කියන තැන මම ඉන්නව.මම ඒ අයව රූකඩ බවට පත් කරල නෑ.ඒ සියල්ලෝම තම තමන්ගේ ශක්ති ප්‍රාමාණයෙන් තමන්ගේ වපසරිය තුළ ඔවුන් ජීවත් උනා.ඔය කතාව මට ටිකක් පිළිගන්න අමාරුයි.

06. මේ කෘතියට පසු අසුර යාමය ඔබ විසින් ලියන්නෙ කල්තියා තීරණය කරගෙන ? නැත්නම් පළමු කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර මතද? දෙවන කෘතිය ඉතා හදිසියේ ලියූ බවක් පෙනෙනව.

මෙහෙමයි උනේ.මට මුල් පොත ලිව්වට පස්සෙ කාන්සියක් දැනුන.ඊටන්පස්සෙ මට කාලයට කරගන්න දෙයක් නැතිවුනා.මුල් පොත එක දිගට මාස තුනක් විතර මේ පොත ලියවුනා.ඒ ගැම්මට ලියාගෙන ගිහින් නතර කරපුවාම මට මාතුළ හිස් බවක් දැනුනා. තව පොතක් ලියනව කියල අදහසක් තිබ්බෙම නෑ.නමුත් මා ළමාවිය යොවුන්විය තුළ අත්දුටු දේවල් මත මෙහෙම කතාවක් ලිව්වොත් හොඳයි කියල මට හිතුනා.ඒකටත් මා තුළ අමුද්‍රව්‍ය තිබුනා.88,89 තුළ සිදුවීම්,මම ලබපු අත්දැකීම් මේක ඇතුළත්.

07.කාලනදී ගලා බසී ලියැවිලා කොයිතරම් කාලෙකින්ද සුර අසුර යාමය ලියන්නේ.?

මාස හයක් ඇතුළත වාගෙ.හැබැයි අර පළමු පොත තරම් ඉක්මණින් දෙවන පොත ලියවුනේ නෑ.දෙවන පොත බොහෝ තොරතුරු එකතු කරල ලිව්වෙ.පළමු කෘතිය තුළ මම කාලාන්තරයක් ජීවත් වුනා.

දෙවන පොත තුළ එහෙම නෑ.චරිත සහ විවිධ සිද්ධි තිබුණ නිසාත් පොත ලියන්න පුළුවන්කම ලැබුනා.නමුත් අර තරම් ආකර්ෂණීය ආකාරයෙන් මේ කෘතියට නැඹුරුවීමට නොහැකිවීම ගැනත් කියන්න ඕන.මට කලබලයක් තිබ්බෙත් නෑ.කවුරුත් මාව කලබල කළෙත් නෑ.කවුරුත් ඉල්ලා හිටියෙත් නෑ තව පොතක් ලියන්න කියල.පළවෙනි පොතට ඒ වෙනකොට සම්මානයක් හම්බවෙලා තිබ්බෙත් නෑ.කවුරුත් දන්නෙත් නෑ මං නවකතාකාරයෙක් කියල.අර ඔබ කිව්ව හදිසියෙන් ලිව්වය කියන කාරණය ඔබට දැන්නෙනෙ මේකේ කතාව හරි වේගවත්.කාලනදී කතාව බොහොම සුමුදුව ගලායන කතාවක්.මේක 71,88,89 වගේ කාලතුළ ඉතා ඉක්මණින් සිදුවීම් වෙනව.ආණ්ඩු පෙරළීම්,කැරළි ගැසීම්,ජේවීපීයේ නැඟිටීම්,ඝාතන රැළි, මේ සියල්ල ඉතා ඉක්මණින් සිද්ධ වෙච්ච් දේවල්.ඒ රිද්මයට අනුව තමයි කතාන්දර රිද්මෙත් ගොඩ නැගුවෙ.ඉතා ප්‍රවේගවත් ශෛලියක් තියෙන්නෙ.ඉතින් ඒකටත් ඇලුම් කරන අය ඉන්නව.දැන් අද ඩිජිටල් යුගය ඊටත් වඩා ඉක්මන් නෙ.ඉතින් කාලයත් එක්කල තමයි මම මේක සමපාත කරගන්න බැලුවෙ.

08.කෘති දෙකේම ආරම්භය තරමක් එක සමානබවක් තියෙනව.ජීවිතයෙන් පලායන දෙන්නෙක් හරහා මේක ලියවෙන්න පටන්ගන්නෙ.ඒ හරහා අනික් චරිත ගොඩ නැගෙන්නෙ.විශාල කාල පරාසයක් දක්වා කතා දෙකම දිවෙනව.ඒක ඔබේ ශෛලියද?නැත්නම්  එකම ආකෘතියට කොටු වීමක්ද?

ඔබ හරි.ඔබ හරි.ශෛලියම නෙමෙව්.මට ඒක තාම දැනුනෙ නෑ ඔබ කියන කං.ඒක මට නොදැනුවත්වම වෙච්ච දෙයක්.මේ මොහොත වෙනකං මට කල්පනා උනේ නෑ සමානයි කියල.හැබැයි ඒක කොහොම ආවද කියල මම දන්නෙත් නෑ.හැබැයි මට කතාව ගොඩනගන්න ඕන වුනේ ඔහොම තමයි.ගැටුමක් තුළින් මේක ඉදිරියට යන්න ඕනෙයි කියන එක තමා මගේ හිතේ තිබුනෙ.ඉන් පස්සෙ ඔවුන්ගෙ ජීවිත ගලාගෙන යන ආකාරය.හැබැයි ඒක මම හිතල කරපු දෙයක් නම් නෙවේ.අවිඥානිකව වගේ සිද්ධ වෙලා තියෙනව.

09.ඔබේ ලිවීමේ බස් වහර විශිෂ්ටයි.එහි උපමා,ප්‍රස්තාව පිරුළු,ආප්තෝපදේශ බහුලයි.ඒ නිර්මාණ ශීලීව ලිවිමේ හැකියාව ගැන යමක් කියනවනම්.

ඒක මට කියවීමෙන් සහ ඇසීමෙන් ලැබුණු දායාදයක්.මම ගොඩාක් අය එක්ක කතා කරනව.ගමේ ගියාම අපේ වයසෙ අය එක්ක.කියවීම තුළ මා ඉතා අගය කරනව පැරණි සාහිත්‍යයේ තියෙන යෙදුම්,ජනවහරෙ තියෙන යෙදුම්.විශේෂ යෙදුමක් කොහොහරි තිබ්බොත් මම ඒක සටහන් කරගන්නව.නැත්නම් මතක තියාගන්නව.මොක්ද ඒ යෙදුම්වලින් කෙටියෙන් බොහෝ දේවල් කියන්න පුලුවන් නිස්කාරණේ වචන පාවිච්චි කරන්නෙ නැතුව.දැවැන්ත අරුතක් ඇතුව.අනික ඒවයෙ මහ අපූරු රසයක් තියෙනව.කොහොමත් මම 81 ඉඳන් 2005 වසර වෙනකම් රේඩියෝ නාට්‍ය ලිව්ව.කොටස් වශයෙන්න් ලිව්ව.කෙටි නාට්‍ය ලිව්ව.

ගොඩක් අය අපේ සාහිත්‍යයේ තියන යෙදුම් යොදා ගන්නවා.ඒවා රසයෙන් හරිම අති විශිෂ්ටයි.කෙනෙක් ආකර්ෂණය කරගන්න රසවත් යෙදුමකට පුලුවන්.හන්දිවල ඉන්න තෙල් බේත් වෙලෙන්දොත් ඒ වගේ.කථිකාචාර්යවරයෙක්,දේශපාලකායෙක් උණත් ඒ වගේ වෙන්න පුලුවන්.ඒක අපේ අධ්‍යාත්මය තුළ තියෙනවා.ඒක අපේ උරුමයක් මං හිතන්නෙ.අපේ බස හරිම පෝසත්.රමණීයයි.හරි ශක්තිසම්පන්නයි.ඒ තුළ බොහෝ අරුත් කැටිවෙලා තියෙනව.මං ලියනවා මේ පොතේ සාදිරිස් තමන්‍ට වාඩිවෙන්න ලැබෙන්නෙ තමන් සිටගෙන සිටි තැන අනුවයි කියල කියමනක්.ඒකෙ යටිපෙළින් තියෙන ගැඹුරු අරුත තමයි කෙනෙක් හරියට ජීවත් වුණොත් තමයි එයාගේ ඊළඟ පියවර සාර්ථක වෙන්නෙ.තමන් නිවැරදි තැනක හිටගෙන හිටියනම් තමන්‍ට වාඩිවෙන්නත් පුළුවන් හොඳ තැනක.ඒක තමයි පොදුවේ අපි ලෝකෙට දෙන පණිවිඩය.ඒ වගේම මම නිර්මාණය කරපු යෙදුම් ගොඩාක් තියෙනවා.මං ඒවත් මේ කතාවට භාවිතා කලා.ඒවා මෙතෙක් කිසිම පොතපතක සඳහන් වෙලා නෑ.මං ඒ ආභාෂය ලැබුවේ ගුවන්විදුලියේ නාට්‍ය රචනයේදී.ගුවන්විදුලි නාට්‍යකදී සංක්ෂිප්ත බව ඉතා වැදගත්.

කෙටී වාක්‍යකින් ලොකු අරුතක් කියන්න ඕන.මොකද කාලයත් සමඟයි සටනන් කරන්නෙ.ඒ එක්කම චිත්ත රූප දනවන්නත් ඕන.අපේ වචන තුළින් දැවැන්ත ගම්මානයක් ඇති කරන්න පුළුවන්.වචනවලින් කරන්න පුළුවන් උපරිම හපන්කම් කරන්න පුළුවන් ගුවන්විදුලියේදි.ශ්‍රාවකයා තුළ මම දකින ලෝකය ප්‍රතිනිර්මාණය කරන්න ඕන.වචනවලට ලොකු බලයක් තියෙනව.ඉතින් මම තවමත් කියවමින් අසමින් පෝෂණය වෙනවා.සමහර අයගේ ප්‍රකාශයන ශෛලීන් නැවත අධ්‍යනය කරමින් මම ඒවා ඉගෙන් ගන්නවා.මගේ භාෂා සාහිත්‍ය දියුණු වුනේ හැම පොතක්ම කියවීමෙන්.පොත් වර්ග කිරීමක්.නෑ.සාරගර්භ දේවල් මා හඹා යනවා.ඒ තුළින් වෙන්නැති මට ඔය ශක්තිය එන්න ඇත්තෙ.

10. ඔබ විද්‍යාසාර පිරිවෙනේ ඉගෙනුම ලැබුවා.එහිදී ලැබූ අධ්‍යාපනය සාහිත්‍යට බලපෑම් කළේ නැද්ද.?
එතැනට යනකොටත් මම ලියනව.එතැනින් ලොකු පෝෂණයක් හම්බ උනේ නෑ.ඒත් නෑ කියන්නමත් බෑ.ඉස්කෝලෙදි මම සාහිත්‍ය අතින් ඉතා දුර්වලයි.විෂයන් අතින් මම දුර්වල ශිෂ්‍යයෙක්.කොටින්ම ගණන් ෆේල්.ගමේ ඉස්කෝලෙනුත් පිරිවෙනෙනුත් ගත්ත යම් දේවල් තියෙනව.නමුත් මම සමාජය තුළින් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ.ගුවන්විදුලියෙදි මට ආශ්‍රය කරන්න ලැබුනෙ හොඳම නිෂ්පාදකයින්,කලාකරුවන්,සාහිත්‍යකරුවන්.සුගතපාලද සිල්වා,දයානන්ද ගුණවර්ධන,ඩෝටන් අල්විස්,මඩවල එස්.රත්නායක වගේ ප්‍රවීණ අය.ඒ අය කතාකරන දේවල්.ඒ අය කතා කරන දේවල්, අපි මොනවහරි ගිහිං ඇහුවම කියාදෙන හැටි.ඒවා තුළින් මම ලොකු අභාෂයක් ලැබුවා.විශේෂයෙන්ම සුගතපාආද සිල්වාගේ ලිවීමේ ශෛලියට මම ඉතා ගරු කරනවා.ඔහු ඉතාම.දක්ෂ කලාකරුවෙක්.ඔවුන්ගෙන් ඉගෙන ගත්ත නෙවෙයි ඔවුන්ව ආශ්‍රය කිරීම හරහා යම්.අභාෂයක් ලැබුවා.

11.පිටපත් රචකයෙක් වශයෙන් කටයුතු කළ ඔබට නවකතාකරුවෙක් වශයෙන් කළඑලි බැසීමේදී ඔබට එය සහයෝගයක් වෙන්නැති.

පැහැදිලිවම.විවිධ ශෛලීන්,පෝසත් භාෂාවක් මම පාවිච්ව් කළා.පිටපත් රචකයෙක් වශයෙන් කටයුතු කරන කොට මට හැම ක්ෂේත්‍රයකම දේවල් ලියන්න ලැබෙනවනෙ.සමහරවිට ඉතිහාසය වෙන්න පුළුවන්,පුරාවිද්‍යාව පුළුවන්,ජනසාහිත්‍ය වෙන්න පුලුවන්.ඒවට කරුණු හෙවීමේදී මට කරුණු හොයනව,කියවන්න පෙළෙඹෙනවා.ඒකෙන් ලැබිච්ච තල්ලුවෙන් භාෂාව හොඳින් හැසිරවීමට පුලුවන් උනා.ඒවට ඈත ගම්දනව්වල මිනිස්සු ප්‍රතිචාර දැක්වූවා.ඒ අතර අන්ධ අය පවා හිටියා.

කතාවක් තියෙනව කියන්න.නුවර ඉන්නව මහතමයෙක් සයිමන් කියල.එයත් අන්ධයි.එයා හොඳපොත්  රෙකෝඩ් කරලා සී.ඩී එකකින් හරි,කැසට් එකලින් හරි එයා දන්න අන්ධ සමාජය තුළට යවල අසන්න සලස්වනව.නොමිළේ සමාජ සත්කාරයක් විදියට.එයා මගේ කාලනදී පොතත් එහෙම කරල.ඉතින් ගිය සතියෙ මට කදුරුවෙල අන්ධ ගෑනු ළමයෙක් කතා කරලා කිව්ව " මම බොහොම ආසාවෙන් සර්ගෙ පොත ඇහුව.හරිම රසවත්.ඇස් නොපෙනෙන මම ඒ තුළින් ජීවිතය දකිනව.අපිට ඒක ශක්තියක්.'

එයා රිවයින් කර කර ආස තැන් අහනවලු.සයිමන් මහත්තය තමයි මගෙ නොම්මරේ දීල තියෙන්නෙ.සයිමන් මහත්තය මට කීවා එයා කියවපු හොඳම පොත කාලනදි ගලා බසී කියල.එයා මීට අවුරුදු අටකට කලින් ඇස් පෙනීම නැතිවූ කෙනෙක්.අන්ධ අය මගේ පොතෙන් වින්දනයක් ලබනව කියන්නෙ ඒක මට ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානයටත් වඩා ලොකු දෙයක්.ලෝකෙන් ඈත් වෙලා හුදෙකලා වෙච්ච කට්ටියක්, මේ රටේ පාරු සංස්කෘතියක් තිබුණය,ඒ මිනිස්සු මෙහෙම ජීවත් වුණාය,මේ වගේ අඬදබර කරගත්තය,මේ වගේ වස්තුවක් පසුපස හඹා ගිහිල්ලා ජීවිතේ විනාශ කරගත්තය වගේ දේවල් ඒ අය දැන ගන්නව.කොයි වෙලේ අවසන් වේදො කියා බයකින්ලු ඒ අය මේකට සවන්දෙන්නෙ.ඒ වගේ පැත්තකට්ත් මේ පොත ගිහිල්ල තියෙනව.ඒක මට ගොඩක් වටිනව.ඇස් පේන අයට වඩා නොපෙනෙන අය ජීවිතයට මේ තුළින් යම් දැක්මක් වින්දනයක් ලබනවනම් මට ඒක ලොකුම සතුටක්.

12. මේ කෘති දෙකම එකම ප්‍රදේශයක් වටා ගොඩනැඟෙන්නෙ.ඒ ඇයි.?

මට ඒක එහෙම වෙන්න ඕන උනා.අපි ලොකු කැන්වසයක විහිදිච්ච තරමට කථාව විසිරිල යනවා.කැන්වසය කුඩා උන තරමටයි අපේ ෆෝකස් එක එතෙන්ට යන්නෙ.එතකොට ප්‍රබල කතාවක් ගොඩනඟන්න පුලුවන්.ප්‍රබල චරිත ගොඩනඟන්න පුලුවන්.කතාවක් නාභිගත කරනවනම් ඒකෙ තියෙන සියුම් ලක්ෂණ දැකගන්න පුලුවන්.සම්පූර්ණ රසය උකහා ගන්න පුළුවන්.ඒ සීමිත පරිසරයේ තියෙන නියමිත වර්ණ රටාවන් අපට ග්‍රහණය කරගන්නත් පුළුවන්.ඒක තමා මගේ උපක්‍රමය.මට ඕන වුනේ නෑ ලංකාව පුරා දුවන කථාවක් කරන්න.ඒ කියන්නෙ යාපනේ කොටසකුයි,කොළඹ කොටසකුයි,මාතර තව කොටසකුයි වෙන්න ඕන නෑ.අනික මේ කතාවේ තේමාව විසින්ම මේ කතාව සීමා කරල තියෙනව.කළුගඟ පටන්ගන්නෙ රත්නපුරයෙන්.මුහුදට වැටෙන්නෙ කළුතරින්.මේ කාල නදී ද්‍රෝණියේ තමයි මේ කථාව ගලා යන්නෙ.ඒ තුළ තමයි මේ සියලු චරිත එක්රැස් වෙන්නෙ.ගඟක් දෙගොඩතලා යනවට වැඩිය හොඳයි තමන්ගේ නිශ්චිත රේඛාව දිගේ ගියහම.එහි අරමුණක් තියෙනව.දෙගොඩතලා යන ගංවතුරකින් හානියක් හෝදාපලුවක් මිසක් වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ.

13.ඔබේ නවකථාව රාජ්‍ය සම්මානිතයි.සම්මාන ගැන ඔබේ අදහස.

ඉතා හොඳයි.සද් කටයුත්තක්.ලේඛකයෝ දිරිමත් වෙනව.අපි වගේ ආධුනික ලේඛකයන්ට ඉදිරියට එන්න පොඩි ජවයක් සපයනව.තවත් නව නිර්මාණ කරන්න පෙළඹෙනවා.සම්මාන දිහා මම බලන්නෙ සාධනීය විදියට.මොකද ඕනෑම දේක අගයකිරීම තුළින් ඉස්සරහට යෑමේ ප්‍රවේශය තවත් පැහැදිලි වෙනව.නමුත් වර්තමානයේ මෙහි දක්නට ලැබෙන්නෙ කුලල් කාගැනීම් හා ගැටුම්.ඒ නිසාම සම්මාන අවමානයට පාත්‍ර වෙලා තියෙනව.ඒක තුරන් විය යුතුයි.ලේඛකයන් ඒ බව දැනගත යුතුයි.මම ඒ කිසිම කුලයකට නෑ.මට ඒකෙ තියෙන නිහීන නින්දිත ගතිය තේරෙනව.මම කැමති නිර්මාණයක් කරගෙන වසං වෙලා ඉන්න.මං සම්මාන පස්සෙ දුවන්නෙ නෑ.මට සම්මාන ඕනෙත් නෑ.සම්මානයක තියෙන තෘප්තිය මං සපුරා අත්විඳලා තියෙනව.

මං තව පොතක් නැවත කවදා හරි ලිව්වොත් ලියන්නෙ මගේ කෘති අගය කරපු ඒවා රස විඳපු පාඨකයන් වෙනුවෙන් විතරයි.සම්මාන මතම යැපීමේ ලෝබකමක් තෘෂ්ණාවක් මට නෑ.හැම අවුරුද්දකම හොඳ ලේඛකයන් බිහිවිය යුතුයි.ඔබ ලියන දේ හොඳනම් ජනතාව පිළිගනීවි.අගය කරාවි.එහෙම නැත්නම් දවසක ප්‍රතිකේෂ්ප කරාවි.

14. සුර අසුර යාමයට සම්මානයක් නොලැබීම ගැන කනගාටුවක් නැතිද?

නෑ.ඒක මම බොහොම තෘප්තියෙන් ලියපු පොතක්.මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ.නමුත් කාලනදී කෘතියේ තත්වයෙන් මේක තියන්න බෑ.කාල පරාසය වෙනස්.චරිත වෙනස්.චරිතවල හැසිරීම වෙනස්.ලියපු ශෛලිය වෙනස්.සියල්ල වන්නෙ විනිශ්චය මණ්ඩලවල ඇගයීම මත.කාලනදී සමඟ ළගින් තියන්න ,සසඳන්න මේ කෘතියට බෑ.නමුත් ඒක අවර ගණයේ කෘතියක් නම් නෙවේ.

ඔබ ලියූ පොත් දෙකම අතීතය ඇසුරු කරගෙන ලියවුණ ඒවා.වර්තමානයේ සමාජ,ආර්ථික ,දේශපාලන ප්‍රශ්න මත කතාවක් ලියන්න ඔබේ අදහසක් නැතිද.
මේකයි.වර්තමානයේ ගෘහස්ථ තුළ පවතින ලිංගිකත්වය,ආදරය,විවාහ දෙදරීම්,මානසික ගැටළු ගැන ලියන අය ගොඩක් ඉන්නවනෙ.මට ඒ කටයුත්ත නීරසයි.කියන්න බෑ කවදහරි ලියවේවිද කියල.මං හරියය අතීතෙට ඇලුම් කරනව.අතීතය පසුබිමේ තියාගෙනයි මම කතා කරන්නෙ.නමුත් කථාව අතීතයට අයත් වූ පමණින් ඒක අතීත කතාවක් කියා වර්ග කරන්න බැහැ.දැන් සමහරු අතීත නවකතා ලියනව වර්තමාන ගැටළු සමඟ ගලපල.බොහෝ ඒවා අසාර්ථකයි.අතීතය තුළ කොටු වීමත් වැරදියි.නමුත් මට කියන්න ඕන මම චිව්ග්ට්ඩ්ටෙත්‍රය අඳින්න ඕන කවර පසුබිමකද කවර කැන්වසයකද කියා මම  තීරණය කරන්න ඕන.මම.දෙන දේ දෙන්න ඕන ඕන මොන වගේ ආවරණයක දවටලාද කියන එක මං දැනගන්න ඕන.ආවරණය වගේම අන්තර්ගතයත් හරිම වැදගත්.මේ දෙකම.සමපාතව ගමන් කළ යුතුයි.තුළනය වෙන්න ඕන.පොහොසත් බස් වහරකින් පොත ආඪ්‍ය කළ යුතුයි.භාෂාව ඉදිරිපත් කිරීම මනහර නම් රමණීය නම් කතාව නිකම්ම ආකර්ෂණීය වේවි.

තව ලේඛකයාට සාධනීය දැක්මක් තිබිය යුතුයි.මිනිසුන් වළපල්ලට ඇදගෙන යන දැක්මක් නෙවේ.මිනිසුන් ඉන්න තැනින් ඔසවා තැබෙන මිනිසුන්ට හරවත් යමක් දෙන නවකතාව කියෙව්වට පස්සෙ ඔහු අමුතුම මිනිසෙක් කරන කෘතියක් විය යුතුය.ඒ අපූර්වත්වය ඒ විදියට ඉදිරිපත් කරන්න පුළුවන්නම් පසුතලය මටනම් වැදගත් නෑ.මගේ දැක්ම ඒකයි.

14.මේ කෘති දෙකෙන් යම් පණිවුඩයක් සමාජයට දීමේ අදහසක් තිබුණද?

මෙහෙමයි.මම පණිවුඩ කියන්නෙක්ම නොවේ.නමුත් මම මේ කෘතිවල පෙන්නල තියෙනව ජීවිතය අවබෝධය.දැන් අපි කාලනදී කෘතිය බැලුවොත් මිනිස්සු වස්තුව පස්සෙ හඹා යනව.බුදුන් දේශනා කළේ වස්තුව කියන්නෙ සර්පයෙක්.මිනිසාගෙ සියළු විපත්වලට මුල අධික තෘෂ්ණාව.ඒ පසුපස ඉවසිල්ලක් නැතුව මිනිස්සු වියරුවෙන් හඹා යනවා.නවකතාවෙදී මම ඒක සංකේතාත්මකව ගත්තෙ.ඒ වස්තුව පසුපස කීදෙනෙක් හඹා ආවද?ඒක අයිතිකරගැනීමේ තෘෂ්ණාවෙන් පෙලුන සියල්ලෝම නැතිවෙනව.ඒකට ඇලුම් නොකරපු එකම කෙනා සාදිරිස්.සාදිරිස් රැකුනා.ඒ අනුන්ගෙ වස්තුවට ඔහු ලොල් නොවුන නිසා.අන්න ඒ වගේ මිනිසුන් ඉන්න තැනින් ඔසවා තබන්න පුලුවන් නම් මම හිතනව ඒක වගකීමක් කියල.මම ලියන්න ඕන අන්න ඒ වගකීම පෙරදැරිව.එතැනදි නවකතාවෙන් පණිවුඩයක් දුන්නාට වඩා මිනිසුන්ව යම් තලයකට ඔසවා තැබුවා කියල හඳුන්වනවනම්.මං ඒකට කැමතියි.පණිවුඩ කියන ඒවා ඕන කෙනෙකුට දෙන්න පුලුවන්.

ඒ වගේම යටත් විජිත කාලය තුළ නිදහස් අරගලය මතු වෙච්ච හැටි,ඒකට සිංහල දේශීය ව්‍යාපාරිකයින් අත් උදව් දීපු හැටි,ඒ තුළ අපේකම තුළින් ආපු ගැම්ම,රටේ කොයිතරම් දේශපාලන වෙනසකට මග පාදලා තියෙනවද,ඉංග්‍රීසින් පන්සල්වලට කරපු කෙනෙහිලිකම් ඒවා මැඩගන්න නිදහස් අරගලය අවුලවල යම් තැනකට අපේ මිනිසුන් ආපු හැටි ඒ වගේම 1915 මුස්ලිම් අරගලය ,ඒ වගේ දේවලදී මුස්ලිම් අය බේරගෙන ආපු සාදිරිස් වගේ අයත් හිටිය.

ජාතිබේද අවුලවන්න හදපු අය වගේම ජාතිබේද දුරුකරන්න උරදුන්න උදාර අයත් ඒ කාලෙත් හිටිය.මං ඒවා මේකෙ කියල තියෙනව.

අවසාන වශයෙන් කියන්න ඕන ආදරය කියන එක සීමා දාල කොටුකරන්න බෑ.ඒක මහ මානව බන්ධනයක්.ඒ බන්ධනය කසාදයක් බඳින්න නොහැකිවීම තුළින්ම ඉවර වෙන්නෙ නෑ.ඒ ආදරය අපිත් එක්ක ආත්මෙන් ආත්මෙට ගමන් කරනව.සිසිලියානටයි සාදිරිස්ටයි මේ ආත්මෙ එකතුවෙන්න බැරි උනා මේ අසමාන පන්ති පරතරය හින්ද.පාරුකාරයෙක්ව තමන්ගේ බෑන කරගන්න කළුතර හිටපු ප්‍රභූ ධනපතිය කැමති වෙන්නෙ නෑ.ඒත් වෛරක්කාරයො නොවී ජීවිතාන්තය දක්වාම ඇසුරු කරන්න සමීපෙන් ඉන්න එකිනෙකාගෙ දුකසැප බලාගන්න පුලුවන් වෙනව.ඒ හදවත් මහා පුළුල්, උණුසුම්, ලෙයින් පිරිල.තමන්ගේ අහිමි පෙම්වතියට පාලම උඩදී මන්නෙන් කොටන රාළහාමිලා එදා හිටියෙ නෑ.සාදිරිස් එදා ඒ විදියට ගියේ නෑ.ඒ ගැනු ළමයත් මෙයත් එක්ක යං පැනල කියල ආවෙ නෑ.කොච්චර සල්ලි බලය තිබුණත් දෙන්නට දෙන්න අවබෝධයෙන් ආදරයේ නාමයෙන්,සැබෑවටම ආදරය කරපු පෙම්වතුන් දෙන්නෙක් ඒ දෙන්න.මං ඉතා ගරු කරන ආදරයක් මෙතන තියෙන්නෙ.කෙනෙක්ව අකමැත්තෙන් බැන්දට එයා කවදාවත් අපේ සහකාරිය වෙන්නෙ නෑ.ඒක තමයි අර දොස්තරට උනේ.නොබැන්දත් හැබෑවට ආදරය කරන දෙන්න අනිවාර්යයෙන් සමීපව ඉන්නව.අනිත් එක ඒ ප්‍රථම ප්‍ර්‍රෙමය.සිසිලියානා දැක්ක එකම පිරිමියා මේ පාරුකාරය.ඈ දුටු ටයි කෝට් ටේල් කෝට් ඇඳපු පිරිමි අතර.එතනදි කුලයවත් ධනයවත් පාරුකාරයෙක් කියන එකවත් බලපෑවෙ නෑ.ඒ මහා ආදරයකුත් කළුගඟ වගේම මේ පොත තුළ ගලා යනව.නමුත් ඔවුන්ට තොටුපලක් හම්බ වුනේ නෑ.තොටුපොළක් හම්බ නොවුනත් ඔවුන් ජීවිතයේ ආදර්ශයක් වෙන විදියට ඉතා සුහද හිතවතුන් බවට පත්වෙමින් පලි නොගනිමින් වෛර නොකරමින් සුන්දර විදියට ජීවිතේට මුහුණ දෙනව.මං ඒකෙන් හරි වින්දනයක් ලැබුව ඒක මගේම අත්දැකීමක් විදියට.

ලෝකේ ඒ වගේ ආදර තියෙනව.ඒ වගේ අත්දැකීමුත් ග්‍රහණය කරගත්ත නිසා තමයි මට මේක ලියන්න පහසු උනේ.ඒ වගේ සමාජ පසුබිමක් මට තිබ්බ.කළු ගඟත් තිබ්බ.එහෙමයි මේ පොත ලියවුනේ.වෙන පුරාජේරුවක් නෑ.අටුවා ටීකා වෙන නෑ.ඕක තමයි මගේ සත්‍ය කතාව.

නිර්මාල් රණසිංහ බී.ඇම්.ඩී
nirmalaya.blogspot.com

රිවිර කළස අතිරේකයේ පළවූ සංස්කරණය කළ ලිපියේ සබැඳිය
http://www.rivira.lk/epaper/daily/tue/2016/05/24/files/mobile/index.html#15