Featured Post

Tuesday, May 3, 2016

අම්මා


මතක ඇති කාලෙක
අතැඟිල්ලක එල්ලීගෙන
එක්ක ගෙන ගිය..
ඉංග්‍රීසි පන්ති
ශිෂ්‍යත්ව පන්ති..
අර පන්ති මේ පන්ති
මට මහා වදයක්..
ඉවරයක් නෑ සෙනසුරාදට
නංගි එක්කල..
කුඩ කබල් ඉහළං
වෙල් දෙණි උඩින්
තාර පාරෙ ගිනියම්..
කකුල් කෙටි ගෙවෙනකං
ඇවිදි යන්නැති..

ඇයි..සංගීත පන්ති..
හම්මෝ..
ඒකත් එදාමැයි
බෑ කියද්දිත්
කනෙන් ඇද ගෙන
සත්සරයෙ රස හොයාගෙන
"අනේ මේ එක වසරෙ ළමයට
මොන සංගීත පන්තිද?"
එතැන කල්මැරූ
මෑණියන්ගෙ සංගමය
ඇහුවාලු අම්මගෙන්
මහා වරදක් සේ..!

ඒ කාලෙ මං
අකමැතිම පන්තිය..
අද දවසෙ මගෙ
ප්‍රාණසරි පන්තිය..
හොඳ කනක් මට හොයාදුන්
ලොවක් ලස්සනට මවාදුන්
සොඳුරු සිතුවිලි ලබාදුන්

කලන්දක ජාතකයෙ..
කපුගේගෙ සිංදුවක..
යශෝරාවයේ..
සිතුවමක හිරගෙදර වැලිකඩ..
දරු සෙනේ නිමිති වුන
එහෙව් අම්මල
ඔය කොහෙත් ඉන්නැති

ඔය කොයි අම්මත්
එහෙම වෙන්නැති
ගහන්නැති
බනින්නැති
තරවටු කරන්නැති
එතෙර වන්නට
වාරු දෙන්නැති..!

පනස් හය වසක් ගතවීත්
තාම ඔබ නම්
එහෙම වෙන්නැති..

සුභ උපන්දිනයක්
අපේ අම්මට..!

- නිරා -
Nirmal Ranasinghe Bmd
04.05.2016

No comments:

Post a Comment