Featured Post

Wednesday, May 11, 2016

Bob Marley

35th Death Anniversary of Legendary Man of Reggae . | Bob Marley

අවුරුද්දකට පෙර මා ලියූ සටහනක් .....

6th Blog
- Bob Marley -
-රෙගේ සංගීතයේ පුරෝගාමී ජැමෙයිකානුවා-
(මියුසික්වලට ලැදි අයට කියවනු වස්.. )

මයිකල් හෝල්ඩිං,ජෙෆ්රි ඩූජෝන්,ජිමී ඇඩම්ස් කර්ට්නි වොල්ෂ්,වේව්ල් හයින්ඩ්ස්,රිකාඩෝ පවෙල්,ක්‍රිස් ගේල්,මාලන් සැමුවෙල්ස් මේ සැම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්.විශේෂත්වය මොවුන් සැවොම ජැමයිකානුවන් වීම.එතකොට කෙටි දුර ධාවන වංශ කථාව අලුතින් ලියූ උසේන් බෝල්ට්.ඔහුත් ජැමෙයිකානුවෙක්.හැබැයි අද කියන්න යන්නෙ ක්‍රිකට් වත් මලල ක්‍රීඩා ගැනවත් නම් නෙවේ.

ඇන්ටිගුවා,බාබඩෝස්,ට්‍රිනිඩැඩ්,ටුබැගෝ,බහාමාස් ඇතුළු දූපත් රැසකින් සමන්විත කැරීබියානු දූපත් පිහිටා ඇත්තේ උතුරු අත්ලන්තික් සයුරේ.උතුරු ඇමෙරිකානු මහද්වීපයට ඉතා ආසන්නයේ.ජැමෙයිකාව මින් එක් කොදෙව්වක්.විශාලත්වයෙන් ලංකාවටත් වඩා කුඩා දිවයිනක්.ලංකාව වගේම සුද්දගෙ අතවරයට ලක්වෙච්ච දූපතක්.නිදහස ලබන්නෙ 1962 දී.ක්‍රිකට් එහි අතුරු දායාදයක්.රටේ අගනුවර කිංග්ස්ටන්(Kingston).පාලනයේ පහසුව තකා පරිපාලන දිස්ත්‍රික් 14 කට බෙදා තිබෙනව.සෙන්ට් ඈන් (Saint Ann) එයින් එකක්.1945 පෙබරවාරිවල පුංචි කොලු ගැටයෙක් උපත ලබනව මේ කියන ප්‍රාන්තයේ.
ඔහු නෙස්ටා රොබට් මාලි.නැත්නම් දන්න කියන බාසාවෙන් කිව්වොත් බොබ් මාලේ.වයස අවුරුදු 10 දී මාලේ ගෙ පියා මියයනව.ඔහුගේ මව ඔහුත් සමඟ කිංග්ස්ටන් නුවරට සංක්‍රමණය වෙනව.එහිදී ඔහු සංගීත කණ්ඩායමකට (Vocal Group) බැඳී ගීත ගායනයට යොමු වෙනව.Joe Higgs ඔහුට මුණගැසෙන්නෙ කිංග්ස්ටන්වලදී.ගායනයට ගිය බොබ් මාලේගෙ හිත ගිටාර් තතට යොමු කරන්නෙ Joe.ඔහු මාලේට ගිටාර් වාදනය උගන්වනව.
බොබ් මාලේ,බනී වේලර්,පීටර් ටොෂ් යන මූලික තුන් කට්ටුව තවත් තුන්දෙනෙක් හා එක්ව නව සංගීත කණ්ඩායමක් පිහිටුවනව 1963 දී." The Wailers" එහි නම.Simmer Down මුල්ම ගීතය.මූලික තුන්කට්ටුව ඉතිරිව අනික් සාමාජිකයන් 1966 දී කණ්ඩායමෙන් ඉවත් වෙනව."Bob Marley & The Wailers" නමින් කණ්ඩායම ඉදිරියට යනව.

1966 මාලේට සුවිශේෂී වසරක්.ඔහු රීටා ඇන්ඩසන් (රීටා මාලේ) හා විවාහ වෙන්නෙ ඒ වසරෙදි.ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් Stir it up ගීතය මාලේ ඇය වෙනුවෙන් ගැයූවක්.උපතින් කතෝලිකයකු වූ බොබ් මාලේ රස්තාෆාරියානු (Rastafarian)ආගම වැළඳගන්නෙත් මේ වසරෙදි.රස්තාෆාරියානු දහම 1930 දී ඉතියෝපියාව ඉසුරුමත්ව සිටි කාලයේ එනම් හේල් සෙලසි (Haile Selassie I )අධිරාජ්‍යයාගේ යුගයේ ඉතියෝපියාවේ සහ ජැමෙයිකාව මූලික කොටගෙන් ව්‍යාප්ත වූ ආගමික නිකායක්.දෙවියන් මූලික කරගත් ආගමක්. ඔවුන්ගේ ආහාර නිර්මාංශයි.දෙවියන් හඳුන්වන්නෙ Yah යනුවෙන්.හිසකේ කැරලි ගෙතීම  (Dreadlock) එකී ආගමේ නීතියක්.නිකං නෙමේ හිසකේ ඉතා පිරිසිදුව තියාගන්න ඕන.අද අපේ රටේ තුන්සක රියවල ආසනවල,රථයේ බඳෙහි සුලභව දක්නට ලැබෙන කොළ,රන් හා රතු වර්ණ එකී නිකායේ ධජයට අයත් වර්ණ.කවුරුත් දන්නෙ නැති වුනාට එම වර්ණ මූලිකවම අයත් වන්නෙ ඉතියෝපියානු ජාතික කොඩියට.
මේ ධජයේ රක්ත වර්ණයෙන් කියවෙන්නෙ බලය සහ ආගමික විශ්වාස.කහ වර්ණයෙන් පල්ලිය,සාමය,ස්වාභාවික සම්පත් සහ ආදරය.අවසානයේ භූමි සම්පත හා බලාපොරොත්තුව කියවෙන්නෙ කොළ වර්ණයෙන්.
පසුකාලීනව අප්‍රිකානු රටවල් බොහෝමයක් මේ වර්ණ තම තමන්ගෙ රටවල ජාතික කොඩියට යොදා ගත්තා.එක් එක් රටේ කොඩියේ වෙනස පෙන්වූයේ සංකේතයකින්.ත්‍රෛලෝක විජයපත්‍ර (Cannabis)භාවිතය රස්තාෆාරියානු නිකායේ සිරිතක්.දන්න බාසාවෙන් කිව්වොත් ගංජා.ඔවුන් එය සළකන්නෙ දෙවියන් හා සම්බන්ධ වන ක්‍රමයක් ලෙස.මේ සියල්ල ඔවුන්ගේ ආගමික විශ්වාස.තවත් මේ ආගම ගැන කියන්න බොහෝ දේ ඇතත් ඒ සඳහා වෙනම බ්ලොග් එකක් ලියන්න වෙනව.
බොබ් මාලේගෙ අනුහසින් අද මේ සියල්ල අසීමිත ජනප්‍රියත්වයට පත් විලාසිතාවන්.රස්තා කැප් එකක් දාලා,බොබ් මාලෙගෙ ටී ෂර්ට් එකක් ඇඳලා,ගංජා සුරුට්ටුවක් උරන,කොණ්ඩෙ ඩ්‍රෙඩ්ලොක් කරපු අපේ රටේ හාදයෙක්ගෙන් මේ දේවල් දන්නවද කියලා අහන්න..!උත්තරය නෑ කියන එක.නැත්නම් කියයි ඒක ස්ටයිල් එක කියල..!මෑතකදී කවුරු හරි කවියක් හෝ වැකියක් ලියල තිබ්බා "මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ" කියලා.එය ලියූ සඟයාට  මගේ හදපත්ලෙන්ම නැගෙන අසීමිත ස්තූතිය.නෑ තමයි..ඔහේ කරන්නං වාලේ අනික් එකා කරන දේ බලාගෙන කරන අපේ රටේ උන් බොබ් මාලේ කවුද කියලවත් හරියට දන්නෙ නෑ.
රස්තාෆාරියානු ආගම වැළදගැනීම බොබ් මාලේගේ සංගීත දිවියට ඉමහත් රුකුලක් උනා.කෙටියෙන් කිව්වොත් රස්තාෆාරියානු දහම,එහි ආගමික විශ්වාස,රෙගේ සංගීතය හා බොබ් මාලේ යන මේ සියල්ල කීපයක් නොව එකක්.ඔහුගේ බොහෝ නිර්මාණ සමාජය ගැන දෙවියන් ගැන කියන,ආදරය කියවෙන, අධිරාජ්‍යයාවාදීන්ට කනේ පහර ගහන නිර්මාණ වන්නෙ ඒ හරහා.රෙගේ (Reggae)සංගීතය බොබ් මාලේ සංගීත ලොවට තිළිණ කළ විශිෂ්ටතම දායාදය.ලෝක සංගීත ශබ්දකෝෂෙයට අලුතින්ම එක්වූ වචනයක්.ප්‍රධානම වශයෙන් Ska,Rock steady යන සංගීත ශානරවල (Genre) ආභාෂය මෙයට හිමි වුනා.ඒ හැරුණු විට Blues & Rythms,Jazz ,Mento,Calypso,African music යන සංගීත ශානරවල අනන්‍ය වූ ලක්ෂණවලින්ද සමන්විතයි.නමුත් සංගීතය හැදෑරුවෙක් විදියට මා නම් රෙගේ සංගීතය දකින්නෙ එහෙම පිටින්ම සාම්ප්‍රදායික සංගීතය කණපිට හැරවූවක් ලෙස.එය තනිකරම වෙනස්ම රිද්මයක්.අසාමාන්‍යක්.සරලවම කිව්වොත් සාමාන්‍යයෙන් 4/4 සංගීත රිද්මයේදී (Beat)ඩ්‍රම්ස් වාදනයේදී ස්වර ඛණ්ඩයකදී (Bar) ෆුට් එක (Bass foot) වාදනය වන්නෙ පළමු මාත්‍රාවේ.(1st Beat)නමුත් රෙගේවලදී එය වාදනය වන්නෙ තුන්වන මාත්‍රාවේ.(3rd)

ගීතයේ රිද්මය එකම ආකාරයෙන් පවත්වාගැනීමට යොදා ගනු ලබන මේ බේස් ෆුට් වාදනය දිගටම වැයෙන්නෙ තුන්වන මාත්‍රාවේ.Snare drum එකේ රිම් එකට drumstick එකෙන් තට්ටු කිරීමෙන් ඊට තව අපූරු තාලයක් එකතු වෙනව.සංගීත ඛණ්ඩ අතරමඟදී යොදන breaks වලදී පවා Snare drum එකේ හඬ ඉතා තියුණුව එන විදියටයි යොදාගන්නෙ.එය Timbal එකේ හඬට සමානයි.ඒ වගේම රිදම් ගිටාරයේ හා පියානෝවේ හෝ ඕගනයේ ස්වර වාදනය වන්නෙ Offbeats වල.බේස් ගිටාරය බොහෝම ගැඹුරුව බරසාරව වාදනය කිරීම මෙහිලා විශේෂිතයි.offbeats වල වාදනය වීම රෙගේ සංගීතයට ආවේණික වූ එය පහසුවෙන් හඳුනාගැනීමට හැකි ලක්ෂණයක්.කොටින්ම මටනම් මුලදි මෙය අපබ්‍රන්සයක්.සංගීතය ඉගෙන ගන්න බොහෝ අයට එහෙමයි.නමුත් කනට හුරු වූ පසු එය සාමාන්‍යයයි.කෙසේ වෙතත් එය රෙගේ ශෛලියෙන් මතුවූ  විප්ලවීය වෙනසක්.අනික් කරුණ ජැමෙයිකාවනුවන්ගේ ඉංග්‍රීසි බස උච්චාරණය කරන ආකාරය.ගායනයේදී එයත් රෙගේ සංගීතයට අමුතුම වර්ණගැන්වීමක් එකතු කළා.අහල බලන්න No woman no Cry,Could You be loved වගේ ගීත.අන්න සිංදු.මුලින්ම මම අහපු ඔහුගෙ ගීතය Buffalo Soldier.ඒ කාලෙ මේ ගීයේ තනුවට අපේ රටේ ප්‍රසිද්ධ ජලනල සමාගමක වෙළඳ දැන්වීමක් පවා රූපවාහිනියෙ විකාශය වුනා.

Catch a fire කියන්නෙ Bob Marley & the Wailers සංගීත කණ්ඩායමේ ප්‍රථම ඇල්බමය.Island ලේබලය යටතේ එහි පිටපත් 14,000 ක් අලෙවි වෙනව.නමුත් මාලේ කෙමෙන් ජනප්‍රියත්වයට පත් වන්නෙ Burnin ඇල්බමයෙන්. I Shot the Sheriff එහි එක් ගීතයක්.Natty Dread ඇල්බමයේ අඩංගු No Woman no Cry ගීතයෙන් මාලේ සෑහෙන ජනප්‍රියත්වයක් ලබනව.

1976 නිකුත්වූ Rastaman Vibration Solo ඇල්බමය Billboard ගීත දර්ශකයේ හොඳම ඇල්බම් 50 අතරට එනව.Exodus ඔහුගේ අන්තර්ජාතික කූඨප්‍රාප්තිය.එය බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ එකදිගට සති 56 ක් පුරාවට රැඳෙනව.Kaya,Uprising,Confrontation ඔහුගේ අනිකුත් ඇල්බමයන්.මාලේ 1980 යුරෝපයේ කළ සංචාරයකදී මිලාන් හි පැවැත්වූ සංදර්ශනක් නැරඹීමට ප්‍රෙක්ෂකයන් ලක්ෂයකට අධික පිරිසක් පැමිණ සිටියා.ඉන්පසුව ඔහු ඇමෙරිකාවේ සංගීත සංදර්ශනවලට සහභාගි වීමට පිටත් වෙනව.අවසන් වරට ඔහු සංදර්ශනයකට සහභාගි වන්නේ 1980 සැප්තැම්බර් 22 පෙන්සිල්වේනියාවේදී.පිළිකා මාරයා ඒ වනවිටත් ඔහුගේ මොළය හා පෙනහළු වෙලාගෙන අවසන්.ප්‍රතිකාර සඳහා ජර්මනියේ මාස අටක නිරර්ථක උත්සාහයකින් පසු ඔහු යළි ජැමෙයිකාව බලා ඒමට පිටත් වෙනවා.රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් එන අතරමගදී ඇමෙරිකාවේ මියාමිහි රෝහලකට ඇතුලු කරනව.1981 මැයි මස 11 වන දින මේ අසහාය,විප්ලවීය,රෙගේ සංගීතයේ පුරෝගාමීයා සඳහටම ලොවින් සමු ගන්නවා.මියයාමට වසරකට පමණ පෙර ඔහු වැළඳගත් ඉතියෝපියානු orthodox සහ රස්තාෆාරියානු ආගමික නිකායන්වල වතාවත්වලට අනුව සියළු රාජ්‍ය ගෞරවයන් සහිතව 1981 මැයි 21 වනදා ඔහු ජැමෙයිකා භූමියේ මිහිදන් වෙනව.
අවමඟුල් සභාව අමතන එවකට ජැමෙයිකානු අගමැති Edward Seaga මෙසේ කියනව.

"His voice was an omnipresent cry in our electronic world. His sharp features, majestic looks, and prancing style a vivid etching on the landscape of our minds. Bob Marley was never seen. He was an experience which left an indelible imprint with each encounter. Such a man cannot be erased from the mind. He is part of the collective consciousness of the nation." - Wiki

ඔහුගේ අභාවයෙන් පසු සිය දේශයේ සංස්කෘතියට,සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් එරට රජය Jamaican Order of Merit සම්මානය බොබ් මාලේට පුද කරනව.එය එරට කලාකරුවෙකුට එරට ලැබෙන ඉහළම සම්මානය.දැනට එම සම්මානයෙන් පුද ලද ජීවතුන් අතර සිටින එකම ජැමෙයිකානු සංගීතඥයා Jimmy Cliff.Exodus ශතවර්ෂයේ ඇල්බමය ලෙස Time සඟරාව විසින් නම් කරනු ලබනවා.2004 වසරේ ඕනෑම කලක ලොව විශිෂ්ටතම සංගීතඥයින් 100 අතර 11 වෙනියා ලෙස බොබ් මාලේව නම් කරනු ලබනව.BBC ය විසින් ඔහුගේ "One Love One Heart"ගීතයට Song of the Millennium සම්මානය ලබා දෙනව.තව බොහෝ සම්මාන ඔහුගේ නම ඉදිරියෙන් සටහන්.නමුත් සම්මාන ඔහු හඹා ආවා මිස ඔහු සම්මාන පසුපස ගියේ නෑ. ඉහතින් කී සම්මාන බොබ්ට ලැබුනේ මරණින් මතු.

නිකමට බලන්න ඔහුගේ ගීත ඒවා බොහෝ අර්ථවත්.බොහෝ ඒවා ඔහුම ලියූ ඒවා.ඇතැම් ගීත අදටත් රස්තාෆාරියානු නිකායේ වන්දනාමාන සඳහා යොදාගැනෙන ගීතිකා තරමට පූජනීයත්වයෙන් පුද ලද ඒවා.කුඩ්ඩෙක්,ගංජාකාරයෙක්,රස්තියාදුකාරයෙක් කියා අපේ රටේ ඇතැමුන් කීවත් කුඩා කොදෙව්වකින් බිහිවී මහා සංගීත විප්ලවයක් කළ මේ අසාමාන්‍යයාගෙන් අපේ රටේ අයට ගත හැකි ආදර්ශ බොහෝමයි.අප රට වගේම තුන්වන ලෝකයේ රටකින් බිහිවී ඔහු ඔහුගේම කියා අනන්‍යතාවකින් සමන්විත ශෛලියක් හොයාගන්නකොට ජැමෙයිකාවට ඒ කීර්තිය අත් කර දෙනකොට අපේ අය තාමත් අත ගානව.හැබැයි නිකමටවත් අද ඊයේ මියුසික් ෆීල්ඩ් එකට ආපු එකෙක්ගෙන් හරි ඇහුවොත්, International මාර්කට් එක touch කලා,කරන්න හිතන් ඉන්නව අපේ main taeget එක ඒක කියලයි කියන්නෙ.අපේ අයගෙ කවදත් තියෙන්නෙ Talks විතරයි.රෙගේ follow කරනව කිව්වට හතු පිපෙන්නා සේ බිහිවන බහුතරයක් සංගීත කණ්ඩායම් කරන්නෙ ඒ විලාසිතා අනුකරණය කරන එක.

විසිවන සියවසේ දෙවන භාගය තුල ලොව වැඩිම බලපෑමක් කළ කළාකරුවා ලෙස ජාත්‍යන්තර New York Times සඟරාව බොබ් මාලේව නම් කරනව.සහතික ඇත්ත. මේකට කදිම සාක්කියක් තියෙනව.සිවිල් අරගල ජැමෙයිකාවේ පැවති සමයක මාලේ ඔහුගේ සංදර්ශනයක් පවත්වනව කිංග්ස්ටන්වලදී.අරගල නවතා සංගීතය වෙනුවෙන් එක්වූ වෙලාවක දෙපාර්ශවය අතර විරසක බව බොබ් මාලේ කදිමට විසඳනව.මේ ඒ ගැන සයිබර් අවකාශයේ පලවූ සටහනක්.

Bob marley held "one love one piece" concert in Kingston, Jamaica on April 22, 1978. Both rivals were attending. At the end of the concert Bob marley asked prime minister Michael Manley and opposition leader Edward Seaga for coming to the stage in order to shake hands. After they ascended the stage, Bob Marley, Michael Manley and Edward Seaga shook hands togather in front of people. That day, the war was stopped, however it was renewed soon. On May 11, 1981 Bob Marley died of cancer. At his funeral two rivals met each other and shook their hands again. That day was the end of the civil war in Jamaica.

සාමය..ඔහු කොතරම් බලපෑමක් කරලද.මාලේ ඔබ අති ශ්‍රේෂ්ඨයි.New York Time සඟරාවේ තේරීම සියදහස් වරක් හරි.මේ ගැන මට මතක් කළ Prabath Withanage සොයුරාට මගේ අනේක ස්තුතිය.

තව අපේ රටේ ත්‍රීවීල් ටික සාක්කි.අවබෝධයක් ඇතුව හෝ නැතුව ඔහු අනුකරණය කරන්න යාමෙන් අපේ ජන සමාජයට ඔහු සෑහෙන බලපෑමක් කරල තියෙනව.හැබැයි බොහෝවිට විලාසිතා හා මත්ද්‍රව්‍ය භාවිතයෙන්.සංගීතය පැත්තෙන් වෙලා තියෙන්නෙ අඩු බලපෑමක්.මියාමි රෝහලේදී මියයනවිට ඔහු තමා අසල සිටි පුත්‍රයා Ziggy Marley ට අවසාන වතාවට කිව්වෙ මේ ටික. "Money can't buy life."

ඔහු කොයිතරම් ගීත ගැයුවත් මම නම් ඔහුගේ ආසම ගීතය Redemption Song නම් ගීය.වෙනත් සංගීත භාණ්ඩ යොදා ගැනීමකින් තොරව ඔහුගෙ Ovation Adamas වර්ගයට අයත් Acoustic  ගිටාරයේ තත් පිරිමදිමින් ගයන ඒ ගීය හරිම අර්ථාන්විතයි.ලොව ඕනෑම කලක හොඳම ගීත 500 අතරේ මේ ගීය 66 වන ස්ථානයට පත් කිරීමට Rolling Stone සඟරාව පියවර ගනු ලැබුවා.The Statesman නම් වූ බ්‍රිතාන්‍ය දේශපාලනික සඟරාව විසින් මේ ගීය ලොව හොඳම දේශපාලනික ගීත විස්සට තෝරා ගනු ලැබුවා.
මේ දේශපාලනය ගැන මාලේගේ අදහස.

"I'll never be a politician or even think political...I just deal with life & nature.Those are the greatest things to me."

මේ තරම් වැඩ කොටසක් කල මේ අසමසම ශ්‍රේෂ්ඨයා මියයනවිට පසු වුනේ 36 හැවිරිදි වියේ.අවුරුදු 50ක් 60ක් හිටියනම් ඔහු තව මොන මොනව හොයාගනීද කියල හිතාගන්න පුලුවන් නේ..!අපරාදේ.

ඉතින් බොබා සංගීතය හැදෑරුවෙකු ලෙස එක පයින්ම ඔබව අදහන මා මේ සටහන ඔබට උපහාරයක් ලෙස හදිසියේම මෙසේ ලියන්නෙ හරියටම අදින් (11.05 2015) වසර 34 කට පෙර ඔබ අපෙන් සමුගත් නිසාවෙන්.ඔබ ඒ ටික කාලෙට කරපු දේවල් හොඳටම ඇති.ඒවා තව වසර 500ක් ගියත් රස විඳිය හැකියි.අනිවාර්යයෙන්ම.
කියවල බලන්න බොබ් මාලේ විසින් ලියූ පහත ගේය පදවල අර්ථය.

- Redemption Song -

Old pirates, yes, they rob I,
Sold I to the merchant ships,
Minutes after they took I
From the bottomless pit.

But my hand was made strong
By the 'and of the Almighty.
We forward in this generation
Triumphantly.

Won't you help to sing
These songs of freedom?
'Cause all I ever have,
Redemption songs,
Redemption songs.

Emancipate yourself from mental slavery,
None but ourselves can free our minds.
Have no fear for atomic energy,
'Cause none of them can stop the time.
How long shall they kill our prophets,
While we stand aside and look?
Some say it's just a part of it,
We've got to fulfill de book.

Won't you help to sing
These songs of freedom?
'Cause all I ever have,
Redemption songs,
Redemption songs,
Redemption songs.

Emancipate yourself from mental slavery,
None but ourselves can free our mind.
Have no fear for atomic energy,
'Cause none of them can stop the time.
How long shall they kill our prophets,
While we stand aside and look?
Some say it's just a part of it,
We've got to fulfill the book.

Won't you help to sing,
These songs of freedom?
'Cause all I ever had,
Redemption songs.
All I ever had,
Redemption songs
These songs of freedom
Songs of freedom

"When he's singin'he's fightin' a war" - Rita Marley

- නිරා -
Nirmal Ranasinghe BMD
11.05.2015
කැමත share කරගන්න..!

Sources - Wikipedia
www.bobmarley.com
Rebel Music-The Bob Marley Story
Documentary DVD Directed by Jeremy Marr

No comments:

Post a Comment