Featured Post

Sunday, May 1, 2016

- කෝපි -


10th Blog
බොන්න කැමති/අකමැති අයට කියවන්න

උදේට මං අහන්න අකමැතිම හඬ පාන්දරට වදින එලාම් එක.මිහිමත වෙසෙන බොහෝ අයටද එය එසේමය.මන්දයත් ඒකත් වදින්නේ නින්දේ උද්වේගකර අවස්ථාවේදී වීමය.මහ එපාකරපු හඬකි.අප්‍රසන්නය.කොයිතරම් ලස්සන රින්ග් ටෝන් එකක් වුවත් කර්ණරසායනයක් නම් එහි කොහෙත්ම නැත.නොඅනුමානව මා හා බොහෝ දෙන එකඟ වනු ඇත.බොහෝ අය වදිනවිටම අඳුරේම අතපත ගා එය නිවාදමයි.හිසේ සිට දෙපතුලට පොරවා යළි නිදන්න පටන් ගනී.හරියටම නිදියන්න පටන් ගන්නෙ දැන්ය.!

යළිත් වදියි.නිවයි.වදියි.මෙසේ එලාම් එක රිපීට් කර එය හා ඔට්ටු සෙල්ලම් කර 4.30ට එලාම් තිබ්බොත් ඇහැරෙන්නේ 5 ටය.!හුටා පහමාරයි.!අඩ අඳුරේම බිත්ති අල්ලාගෙන පාර සොයාගෙන වෙරිකාරයෙකු සේ මා කුස්සියට ඇදෙමි.ඒ වනවිට මා පියඹ නැගිට ඉවිල්ල පටන් අරන්ය.උදෑසන මගේ පළමු රාජකාරිය තේ හැදීමය.මා කුස්සියට එනවිටත් කේතලය ලිප මතය.වතුර රත්වෙන ගාන රහසක් ඈ.!

බඳින්න කලිනුත් මගෙ තේක මංම හදාගත් නිසා බැන්ඳ පසු එය මගේ බිරිඳගේ විශේෂ ඉල්ලීම මත මටම භාර විය.වෙනස තව එක තේකක් වැඩිපුර හදන්න වීමය.මුලින් සීනි වැඩියි කහට වැඩියි කිව්වත් දැන්නම් ඈ ඊට ඇබ්බැහි වී ඇත.කිසිඳු පැමිණිල්ලක් නැත!ඉතින් මේ කිරි තේ හැදිල්ලට කණකොකා හැඬුවේ අර ඩීසීඩිද මොකක්ද රසායනික ප්‍රශ්නයක් ආ වෙලේය.එකළ අපි එකේක කිරිපිටි ගෙනාවෙමු.මාධ්‍යයෝද සිය වගකීම සුපිරියට ඉටුකළෙන් ටිකදිනකින් බොන්න කිරිපිටි නැතිවිය.හැම එකේම අර කිවූ  රසායනිකය තියේලු.ග්‍රොසරිවල කිරිපිටි නැතිවිය.රාක්ක හිස්විය.කවදත් හෙන පුළුල්ව හිතන පතන මට නවසීලන්ත කිරිදෙනුන්ගේ ජොබ් එකටත් කෙළවේදැයි සැකයක් ඇතිවිය.!
අවසානයේ අපි දියර කිරිවලට මාරු වීමු.ඒකෙන් කිරිතේ හැදිල්ල පුහුණු වෙන්න මට ටිකදිනක් ගතවිය.කහට හා දියර කිරි වෙන වෙනම එකතු කල විට ඒ තරම් රහක් නැත.කහට රහ මදිය.තේ බිව්වේ නැති ගානය.අවසානයේ තේකොළ ටිකත් දියර කිරි රත්වෙන බඳුනටම දැමීමි.එවිට කිරි සහ තේකොළ දෙකම එකවිට රත්වේ.තේ කොළ ගානට තැම්බෙයි.තේ එක පෙරට වඩා රසවත් විය.කිරි රත්වෙනකම් කරන්න වෙන වැඩක් නැති කල පත්තර බැලීම නිසා කීපදවසක් ගෑස් ලිපේ කිරි ඉතිරවීමටද මට හැකිවිය.!බිරිඳ ස්නේහයෙන් මා අමතන්නී ගෑස්, කිරි සහ තේකොළ යන තුනම අහකය.!

අවසානයේ නොයෙක් වර්ගයේ කිරිතේ බීමෙන් මට තේවලට තිබූ කැමැත්ත නැති විය.එය කෝපිවලට විතැන් විය.ආර්ථික විද්‍යාවේ ඉල්ලුම සැපයුම,ආදේශක භාණ්ඩ මට සිහිවිය.රුවනිට නම් දිගටම තේ අවැසි විය.ඈ කීවේ උදේ තේක නැතුව බඩගිනි බවය.ඇත්තය.කිරිතේ බීමෙන් බඩගිනි නැතිවේ.නමුත් පිටිකිරිවල ටීවී එකේ උදේ හවා දෙසන තරමේ ගුණයක් නැත.නමුත් අපි අපේ වාසියට නොයෙක් හේතු මවන්නෙමු.සමහර අයට උදේ තේක නොබී ශරීර කෘත්‍යයේ නියැලෙන්න අමාරුය.තවත් අයට වතුර එක්ක ඕනය.කොමඩ් එකක් නැත්නම් මාර අවුලකි.ඇතමෙකුට උදේම සිගරැට්ටුවක් නොබී ඒ ගැන හිතීමත් උගහටය.!ඔක්කොටම මුල හිතය.මේවා මනස්ගාතය.මානසික රෝගය.කෝපි බොන්න පටන් ගත්තායි කියා මට ඔවැනි ප්‍රශ්නයක් ආවේ නැත.කෘත්‍ය පෙර පරිදිමය.!කලට වේලාවටය.හදාගත් කෝපි එක මම සාලෙ පුටුවක් උඩට වී දෑස් අඩවන් කර හෙමින් හෙමින් තොල ගාමි.මෙය කැෆේන් අඩංගු පානයකි.එක දිගට බීමෙන් ඇබ්බහිව්විමක් වෙන බව සමහරු කියයි.ඒකත් කෙප්පයකි.සමහරු කෝපි එක පෙරුවත් මා කෝපි කුඩු පෙරන්නේ නැත.බොන අතරේ කුඩා කෝපි කුඩු හපන්නට මං හරි ආසවීම ඊට හේතුවය.සමහරු ඊට අකමැතිය.නමුත් අපේ ආච්චි මට කිවූ පරිදි කෝපි එකේ සැබෑ රසය ඇත්තේ එතැනය.සහතික ඇත්තය.සැබෑ රස එයමැයි.බොරුනම් බලන්න.

කෝපි ඝර්මකලාපීය රටවල වැවෙන්නකි.සුද්දා නොහිටින්න අපිට කෝපි කියා දෙයක් නැත.වසංගතයකින් විනාශ වී යනතෙක්ම වානිජ භෝගයක් ලෙස සුද්දා ඉන් හොඳට හම්බ කළේය.
කිසිදා අඳුරක් නොවැටුණු අධිරාජ්‍යයක ආර්ථිකය සවිමත් කළේය.වසංගතයකින් වැනසී ගිය නමුත් කෝපි අපේ රටින් නැත්තට නැති වූයේ නැත.අපේ ආච්චිලාගේ වත්තේද කෝපි ගස් බොහෝ තිබුණි.පොල්,කොස්,කිතුල් යන ගස් යට අතරින් පතර කෝපි ගස් තිබ්බේ යටිරෝපණයක් හැටියටය.බොන හැම වෙලාවකම මට නිතරම අපේ ආච්චි නිවසේදීම කෝපි කුඩු කොටාගන්නා ආකාරය මට සිහියට නැගේ.එය සිදුවූයේ මෙසේය.

වාරය ආ කළ කෝපි ගස්වල මුලින් සුදු පැහැ මල් හටගනී.ඒවා කිරිසුදු පැහැය.පිච්චමලට හුරුය.සිනාසෙන සෙයක් දිස්වේ.මට ඒවා දකිනවිට "කෝපි මල් හිනා" ගීතය සිහිවේ.ටිකකලකින් මල් හැලී කොළ පැහැ ගෙඩි හටගනී.මාසෙකට හමාරකට පසු මේ ගෙඩි ඉදෙයි.හොඳින් ඉදුණු කළ මේවා කුණු ලේ රතු පාටය.අපිට වැඩ පැවරෙන්නේ මේ කාලෙටය.

ආච්චි අපිට නොයෙක් වැඩ පංඟාත්තු කරයි.ඈ ඉන්නේ පාරේ සඟනමක් වැඩියත් වැඩක් කරවාගන්න ට්‍රයි එකක් දෙන සයිස් එකේය.!මුකුත්ම නැත්නම් කඩේට ගිහින් හරි එන්න කියයි.මේ සියලු උදව් ඇගේ කුස්සියේ වැඩ වෙනුවෙනි.කුස්සියෙන් තොර ලොවක් ඈට නොමැත.කටට රහට ඉස්තරම් ලෙස රස නහර පිනායන්න ඈ කෑම පිසුවාය.බොහෝ අය එයට කිව්වේ අත් ගුණය කියාය.ඈ පොල් ලෙල්ලක් තුනපහ දමා ඉව්වත් එහි රසයක් විය.!ඇගේ ඉවුම් පිහුම් කලාවට ගහන්න කෙනෙක් මට මගේ ඉතිහාසෙකවත් හමුවී නැත.අවාසනාවකට අද ආච්චි අපෙන් සමුගෙනය.

ආයිත් කෝපි.
කුල්ල,හිස් ප්ලාස්ටික් තීන්ත බාල්දි,ඇතුල්පත්, යන කෝපි ගෙඩි දාන්න පුළුවන් ඕනෑම එකක් අරගෙන අපි කෝපි ඵලදාව නෙලන්නෙමු.අතු අගිස්වල ඇති රතු පැහැ ගෙඩි අර ගෙනාපු භාජනවලට පිරවේ.අතරින් පතර ඇති අමු ගෙඩි කැඩීම තහනම්ය.ආච්චිත් මේ වැඩේට සහභාගි වේ.ගෙඩි කඩන කළ කෝපි අතු අගිස්වල සිය නිවාස තනාගෙන සිටිනා දිමියන්ගේ ප්‍රහාරයට ලක්වේ.කෝපි කොළ එකට එක්කර ගොට්ටක හැඩයට තනා ඇති බැවින් මේවා දිමිගොටු ලෙස හැඳින්වේ. කඩාගත් කෝපි ඇට සියල්ල ගෙදරට ගෙනාවාට පසු වතුරේ දමා සෝදා ගනී.ඉන්පසු මඳවේලාවක් වේලෙන්නට තබා වංගෙඩියට දමයි.ආච්චිගේ නිවසේ මේ සඳහා විශේෂයෙන්ම වෙන් වූ වංගෙඩියක් විය.එය ලීවලින් තැනූවකි.කහට හිටින බැවින් ගල් වණේ ලා කෙටීම තහනම්ය.කොටද්දී මෙහි ඉදුණු පොත්ත ඉවත් වේ.පොත්තේ ඇති ඇලෙනසුලු බව නිසා සියළු කෝපි ඇටවල පොතු එකට ඇලේ.එසේ එකිනෙක ඇලුනු පොතු ඉවත්කිරීම ලේසි නැත. එකට ඇලී ඇති කෝපි ඇටත් තැලුණු පොතුත් පසුව කොළපතක හෝ ඇතුල්පතක අතුරා වේලීමට මිදුලේ තබයි.ඊට දවස දෙකක්වත් යයි.අව්වට මේ කෝපි පොතු කළු පැහැ වේ.

වේලෙනකම් ඒවාට ඇහැගහගෙන ඉන්න ඕනය.නැත්නම් බල්ලන් පූසන් මේවා උඩින් එහෙ මෙහෙ යයි.විවිධ කෘත්‍ය කටයුතුවල නියැලෙන්න තනයි.!වැස්සක් ආවොත් වහා ගෙට ගන්න ඕනය.කරුමෙටවත් තෙමුණොත් ආච්චිගෙන් දේශනයක් ඇසිය යුතුමය.

"වහිනකම් බලං හිටියද?"
"ඔය වගේ පොඩි වැඩක්වත් බැරිද කරන්න."

"කොයි වෙලේ බැලුවත් රස්සාවක් වගේ බෝල ගහන එකමයි"

වේලුනු පසු අර ඉහත කී පොත්ත අයින් කිරීම පහසුය.ඒ සඳහා කුල්ලක දමා හොඳින් පොලනු ලැබේ.එවිට වියළි කෝපි පොතු ඉවත් වී කෝපි ඇට ඉතිරි වේ.පෙළීම බොහෝ විට  සිදු කළේ ආච්චිගේ නිවසේ වැඩට සිටි හේමාය.මේ වැඩේට මහ වේලාවක් යන්නේ නැත.ඒ අතරතුර ආච්චි ලොකු තාච්චියක් දර ලිපක තියයි.එහෙ වැඩි හරියක් වැඩ ගත්තේ දර ලිප්වලිනි.ඒවාට දැමීමට දර පොල්කොළද වත්තෙන් ඕනතරම් හොයාගත හැකි විය.පොතු ඉවත් කල කෝපි ඇට තාච්චියේ දමා හොඳින් රත් වනතුරු බැදගනී.ලා කහ පැහැ කෝපි ඇට හොඳින් බැඳුනු කළ කලු පැහැයට හැරේ.අඟුරු කැට වගේය.අතින් ඇල්ලූ කල අතේ කලු පැහැ ගෑවේ.මේ වැඩෙන් පසු කෝපි කුඩු හැදීමේ සෑහෙන කොටසක් ඉවරය.ඊළඟට ඇත්තේ කෝපි ඇට කෙටීමය.මුල් කාලයේ එය ගල් වංගෙඩියේ කෙටූ මුත් පසුකාලීනව බ්ලෙන්ඩරය ඒ කාර්යට ආදේශ විය.බ්ලෙන්ඩරයේ කෙටිල්ල මම ආස වැඩකි.නමුත් කෙටිල්ල පටන් අරන් මඳ වේලාවකින්ම ඒ වැඩේට තිත තියන්න මට සිදුවේ.

එහි වූ on /off ස්විචය මා විසින් නිරතුරුව එහා මෙහා කිරීම එක් හේතුවකි.තවද වීදුරුව සහිත ග්‍රයින්ඩරය දැමීමට පෙර ස්විචය දමා තලය නිකන් කැරෙකෙන හැටි බලා සිටීම තව හේතුවකි.එය මම ආසම වැඩකි.මගේ හැටි හොඳින් දත් මා මිත්තණිය ඒ වැඩේ වහා ඇගේ භාරයට ගනී.අපේ ආච්චි මට කොතරම් ආදරය කළත් මෙවන් අවස්ථාවලදී දුර දක්නා නුවණින් මා කෙරේ වූ ඇගේ පෙම බ්ලෙන්ඩරය වෙත විතැන් කළාය.කොහොමත් මෙවැනි උපකරණ භාවිතය සම්බන්ධව මගේ හිස්ට්‍රි එක හොඳ මදිය.සවුත්තුය.අවුල්ය.ඒ සඳහා තිබ්බේ "ඇල්ලුවොත් ඉවරයි" "හරි කැඩුව නේද ඒකත්""හරි..ඉවරයි..අප්පරාදේ.."වැනි ආකල්පය.මෙය කියවන කොල්ලන්ගෙන් බහුතරයද ඒ සන්ධියේදී බ්ලෙන්ඩරය භාවිතා කළේ නම් එය මෙසේම විය යුතුය.මා නම් තවමත් එසේමැයි!
කොටාගත් කෝපි පෙනේරයකින් හලා ගනී.අවසානයේ ඉතිරිවන්නේ තවදුරටත් කෙටිය නොහැකි කප්පි යැයි හඳුන්වන කුඩු ස්වල්පයකි.ඒවා විසි කර දමයි.අපේ ආච්චි කෝපි කුඩු ගෙදරදිම කොටාගත්තේ මෙසේය.

පසුකාලයේදී වත්තේ කොටස් විකුණා කෝපි ගස් අවසන් ගමන් ගිය කළ ආච්චි හොඳ කෝපි ඇට මිළට ගෙනවුත් ගෙදරදී කෙටුවාය.කඩෙන් කෝපි කුඩු ගැනීමට ඈ මැලි වූවාය.ඇත්තය.ගෙදර කෙටූ කෝපි තරම් කඩේ කෝපි රසවත් වූයේ නැත.ගෙදර කෙටූ කෝපි ඉස්තරම්ය.නියම කෝපි රසයෙන් අනූනය.හොඳ සුවඳක් ඇත.ආච්චි ඒවායින් බොහෝ රසට කෝපි හැදුවාය.බඩේ අමාරුවක් හැඳුනත් දුන්නේ කෝපිය.ඒ ක්‍රීමරාජ නම් කල්කය සමඟය.එය නම් කටේ තියන්නත් බැරිය.උගුරින් පහලට යවාගත්තේ හරි අමාරුවෙන්ය.දැන් බඩේ අමාරුවටත් දොස්තරෙක් චැනල් කළ යුතුය.අනික දැන් තියෙන බඩේ රුදාවන්ට කෝපි ආන්සර් කරන්නේ නැත.

පෙර මෙන් දැන් කෝපිවල එහෙම රසක් නැත.කඩෙන් කෝපි කුඩු ගත්තා නම් ආච්චි ගත්තේ හරිස්චන්ද්‍ර කෝපි කුඩුය.අපේ ගෙදරත් දැන් ගන්නේ ඒවාය.ඒකෙ රස නම් අර ගෙදර කෙටූ කෝපි එකේ රහට තරමක් සමානය.
ළගදි දවසක් සුපිරි වෙළඳපළකට ගිය මොහොතක රස බලන්නත් එක්ක නෙස්කැෆේ කෝපි එකක් බී බැලුවෙමි.එය අර අපි සාමාන්‍යයෙන් මළ ගෙවල්වල්දී බොන එක නොව Espresso නම්වන කෝපි පානයකි.එය ටෙස් කර බලන්න මට හදිසි දොලදුකක් පහළ විය.මෙය ඉතා විශේෂයෙන් සෑදූ කෝපි සාදන යන්ත්‍රයකින් සාදා කුඩා වීදුරුවක දමා, සීනි ස්වල්පයක් සමඟ බන්දේසියක තබා පිළිගන්වන්නකි.එය අරන් අසල වූ මේසයක වාඩි වූ කළ ඒ අවට සිටියවුන් මා දෙස අමුතු සතකු දෙස බලන්නාක් සේ උපහාසාත්මකව බැලූහ.ඒ ලංකාවේ හැටිය.!මං හිතන විදියට ඒ වගේ පොඩි කෝපි කෝප්පයක් මීට කලින් දකින්න නැතුව ඇති.

ඒ කෝපි එක ඉතාලියේ සොයාගැනීමකි.හල්කදුරු තිත්තය.නමුත් තිත්ත වුණත් එහි කෝපි රසය දිවට හොඳින් දැනේ.හොඳ රසයකි.පොඩි ගතියක් ඇත.එකම අවුල ගාන වැඩිවීමය.රුපියල් හැත්තෑපහකි.ගානත් කෝපි එක මෙන් ඉස්තරම්ය!නමුත් කෝපිවලට ඇති නොතිත් ආසාව නිසාම බිව්වෙමි.පාඩු නැත. ඉඳහිට මළගේක නිදිවරන කළ කෝපි එකක රස බැලුවත් අර ගෙදර කොටපු කෝපි එකක තරම් රසයක් මට ඒ කොහේවත් ලැබී නැත.උදේට කෝපි එකක් හදාගෙන තොලගාන ගමන් මගේ ඔලුවට එන්නේ මේවාය.සැටියේ ඈදිගෙන කෝපි එකක් හෙමින් තොලගාන තරම් තෘප්තියක් කොහෙවත් නැත.

"බීලා ඉවරනම් එන්න මෙහෙ.මට පොල් ටිකක් ගාලා දෙන්න.වැඩ තියෙනවා තව"
මා කෝපි එක බී ඉවරවෙන විටම මට කෝපි එකක් බොන්න යන වෙලාව දන්නා මගේ භාරිය මා අමතයි.සිතිවිලි දැහැන බිඳේ.කෝපි එක බොන්න යන වෙලාව ඈ දනී.එය හැඳිමිටේ නුවණට එහා ගිය දැනුමකි.පතුලේ ඉතිරි වූ මණ්ඩි ටිකත් බීගෙනම හිස් කෝපි කෝප්පෙත් අරන් කුස්සියට යළි ඇදෙමි.දිය නොවූ කෝපි කුඩු හැපෙන කළ ඇත්තේ අමුතුම රසයකි.ආච්චි කිව්වෙ ඇත්ත තමා.නියම රහ කෝපි කුඩු හැපෙන කොට තියෙන්නෙ.ඒත් ඒ වගේ කෝපි එකක් ආයි කවදා බොන්නද?

-Bmd නිරා-
Nirmal Ranasinghe BMD
30.07.2015

No comments:

Post a Comment