Featured Post

Thursday, November 3, 2016

- අවුරුදු 50 ක් පිරෙන අමරදේවයන්ගේ නොමියෙන තනු නිර්මාණයක් -


1966 තිරගත වූ "දෙලොවක් අතර" චිත්‍රපටයට රාත්‍රී සමාජ ශාලාවක දර්ශනයකට ගායනා කිරීමට උචිත ගීතයක් එහි අදියුරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට උවමනා කර තිබුණි.ඒ සඳහා බටහිර ඌරුවක් සහිත ගායකයෙකු සෙවීමේ කර්තව්‍යය පැවරෙන්නේ එකී චිත්‍රපටයේ අතිරේක දෙබස් රචක තිස්ස අබේසේකරයන්ටය.
"තිස්ස 'චාරුලතා' චිත්‍රපටයේ (ඉන්දියානු චිත්‍රපටයකි) සුමිත්‍ර චැටර්ජි පියානෝවක් වාදනය කරමින් ගයන ගීයේ පසුබිම් හඬ වගේ හඬක් තමයි මට ඕන".ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහසය.ඒ ගීය ගයා ඇත්තේ ක්‍රිෂෝර් කුමාර්ය.

ඒ සඳහා සුදුසු ගායකයෙකු සෙවීම ලේසි පාසු නොවීය.තිස්ස අබේසේකරයන්ට විජය කොරයා විසින් ඒ සඳහා සුදුසු යැයි සිතන ගායකයෙකුගේ පටිගත කළ ගීයක් අසන්නට සලස්වන්නේ ඔය අතරතුරය.එය බටහිර සංගීතයේ ඌරුව සහිත ඉතා නිවැරදි සිංහල උච්චාරණයකින්ද යුතු වූ කටහඬකි.ඒ කටහඬ ඇසූ සැණින් ලෙස්ටර් එය පිළිගත්තේ එකපයිනි.

එකී ගීය ගායනා කරනු ලැබුවේ 1938 ඉපිද වයස අවුරුදු 15 වනවිට අතිදක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස බෞතීස්ම ලැබ 1960 "ලොස් කබෙය්යෙරෝස්" නමැති සංගීත කණ්ඩායම පිහිටුවා ගත් හලාවත පිටිපන වීදියේ මිහිඳුකුලසූරිය වෝල්ටර් ප්‍රනාන්දුගේ පුත් නෙවිල් ප්‍රනාන්දුය.එමිල් ප්‍රනාන්දු,හැරල්ඩ් පෙරේරා,ලෙස්ටර් ප්‍රනාන්දු කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන්ය.

කතාවේ හොඳම හරිය මේ ටිකය.කලින් කිවූ රාත්‍රී සමාජ ශාලාවක දර්ශනයට අදාළ ගීතය පැදි පෙළ ලියවෙන්නේ මහගමසේකරයන් අතිනි.එහි තනුව නිමැවෙන්නේ අද අපෙන් සමුගත් හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙස පිදුම් ලැබූ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොහොත් පණ්ඩිත් අමරදේවයන් අතිනි.

විශේෂයෙන් කිවයුතු වන්නේ අමරදේවයන් විසින් "ලොස් කබය්යෙරෝස්" සංගීත කණ්ඩායමට තිබූ අනන්‍යතාවට ගැලපෙනම අයුරින් එහි තනු නිමවා තිබීමය.අමරදේවයන්ගේ සංගීත නිර්මාණ රසවිඳි බොහෝ අය එකී ගීය ඇසූ වණින් එය අමරදේවයන් විසින් නිර්මාණය කළ ගීයක් බව එසැණින් පිළිගන්නට කැමති වන්නේ නැත.අමරදේවයන්,මහගමසේකරයන් හා නෙවිල් ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල සුසංයෝගයෙන් බිහිවුණේ කිසිදා කාලයේ වැලිතලාවට යට නොවන  අපූරු
නිර්මාණයකි.

"ගයන ගැයුම් නටන නැටුම්..
ඉවත හෙළයි සෝක සුසුම්"

එය අමරදේවයන්ගේම නිර්මාණයක්දැයි කියන තරමට විස්මයාන්විත සිතිවිල්ලක් පහළ වීම අනිවාර්යය කරුණකි.නමුත් එය එසේය.ඔහු සංගීත නිමවූ ගීත අතරින් ඒ ගීය සුවිශේෂී වන්නේ එබැවිනි.එකී ගීයේ තනුව ඔහුගේ ශෛලියට අනුගත නොවී නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ "ලොස් කබෙය්යෙරෝස්"ගායක කණ්ඩායමේ ශෛලියට අනුචිත වනසේ නිර්මාණය කළේ ඔවුන්ට අතිශය සාධරණයක් ඉටුකරමිනි.එසේම චිත්‍රපටයේ සමාජශාලාවේ දර්ශනයටද මනාව ගැලපීමෙනි.නිර්මාණකරුවකුගේ නිර්මාණශීලි බව,ශිල්පීය හැකියාව,සැබෑම දක්ෂකම කියන්නේ එයටය.පණ්ඩිත් අමරදේවයනි එනයින් බැලූ කළ ඔබ අති විශිෂ්ටයෙකි.මේ ඔබේ විශිෂ්ටත්වය තීරණය කිරීම උදෙසා දැක්වෙන එක් උදාහරණයක් පමණි.තවත් අටුවාටීකා,ටිප්පණි කුමටද?.අවුරුදු පනහක් ගතවීත් "ගයන ගැයුම් නටන නැටුම්" අදටත් වලංගුය.

හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි... ඔබට සුව නිවනක්.!

නිරා/නිර්මාලයා.
Nirmal Ranasinghe Bmd
03.11.2016