Featured Post

Monday, February 20, 2017

- සී.ටී.ප්‍රනාන්දු හා මේරියන්ස් සමඟ ගතකළ රැයක් - .. - Review of The CT Fernando Show by Marians -

සී.ටී.ප්‍රනාන්දු මේරියන්ස් අන්ප්ලග් ප්‍රසංගය පසුගිය මාසෙක නැරඹීමට මට අවස්ථාවක් උදා උනා.මේ ප්‍රසංගය පැවැත්වුවේ තුන්වෙනි වතාවට.මහරගම තරුණ සේවා සභාවේ පැවති මේ ප්‍රසංගය සංවිධානය කර තිබුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදි සිසුන් විසින්.ප්‍රසංගය බොහොම ආකර්ෂණීය, කර්ණරසායනය ඉහළ නංවපු ප්‍රසංගයක්.ප්‍රසංගය අවසන් වෙලා මාසෙකටත් වැඩි වුවත් ඒ ගැන යමක් ලිවිය යුතුමයි කියල හිතුනෙ ඒ ගීතවල තිබ්බ ආකර්ෂණීය බව නිසා.මේරියන්ස් කණ්ඩායම යෙදූ අපූරු නව සංගීත සංයෝජනය නිසා. ඔය හින්දම මං මේක ටැබ් එකේ ඕඩියෝ විදියට පටිගත කරගත්ත.

සී.ටී.ප්‍රනාන්දු එහෙම නැත්නම් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු ගැන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙ 'අයාලේ ගිය සිතක සටහන්' කෘතියේ සඳහන් වන්නෙ මෙන්න මේ විදියට.

" සී.ටී.ප්‍රනාන්දුට තිබුණේ දුර්ලභ ගණයේ කටහඬකි.එහෙත් සිංහල සංගීතය වටකොට ගොඩනැඟී තිබුණු විචාර ස්ථාවරය,සී.ටී.ප්‍රනාන්දුව බැහැර කළේය.1972 - 73 වසර වනවිට සිංහල සංගීතයට බටහිර සංගීතයේ බලපෑම තදින් ඇතිවන්නට වී තිබුණි.සංගීතයට නිදහසේ වැඩෙන්නට ඉඩ දිය යුතුය යන්න තරයේ ඇදහූ එවකට ගුවන්විදුලියේ සභාපති නෙවිල් ජයවීරයන් සිංහල සංගීතය වටා තිබූ බොහෝ තහංචි ඉවත් කළේය.හේ සීටී ගේ කටහඬට බෙහෙවින් ඇලුම් කළේය.බොහෝ කළකට පසු සී.ටී.ප්‍රනාන්දු ගායකයෙකු ලෙසෙ ව්‍යප්ත වන්නට වූයේ මේ කාලයේය."වනබඹරු" ගීතය ඈත ගම්දනව්වල පමණක් නොව,කොළඹ සුපිරි හෝටල්වලින් පවා එකසේ ඇසෙන්නට විය.ඒ ගීය අසා සී.ටී ගේ කටහඬට ඇලුම් කළ මැඩම් ඩෙල් ගාඩෝ, නම්වූ යුරෝපීය ඔපෙරා ගායිකාවක් ඔහුට ලන්ඩනයට ආරාධනා කොට ප්‍රසංගයක් පැවැත්වීය.ලන්ඩනයේ හෝ වෙනත් බටහිර නුවරක පවත්වනු ලැබූ මුල්ම ප්‍රසිද්ධ සිංහල ගී ප්‍රසංගය මෙයයි. "- පි 137

සී.ටී.ප්‍රනාන්දුගේ ගීතවලට තිබූ ජනප්‍රියත්වය තේරුම් ගැනීමට මෙයම බොහෝ ප්‍රමාණවත්.
ඔහු අපේ රටේ හිටපු පොප් තරුවක්.

මේ ප්‍රසංගයේ මුලින්ම ගායනා කිරීමට තෝරාගෙන තිබුණේ සී.ටී.ප්‍රනාන්දු මහතාගේ "අවදිවන්න අවදින්න " කියන ගීතය.එහි ප්‍රාරම්භක සංගීත ඛණ්ඩයට යොදාගෙන තිබුණේ Tenor සැක්සසෝනය.ෂෙහාන්ගෙ වාදනය ජෑස් ශෛලියට නැඹුරු වාදනයක්.ඊට සුභාෂ්ගෙ ඩ්‍රම්ස් වාදනයෙන් එකතු වුණේ අපූරු රිද්මයක්.ගීතයේ අන්තර් වාදනයේදි (Interlude ) සැක්සෆෝනය හා පියානෝ වාදනයෙන් ඉහත කී ජෑස් වර්ණ රටාවලට සමෝසමේ පෑහෙන රිද්මයක් එකතු වූ අතර නවතාවකින් යුතුව මුසු කළ සංගීතය, මුල් ගීතයේ තිබූ රසය විකෘති නොකර එකී මූලික හැඩතල ඉස්මතු වන ආකාරයටම යොදාගැනීම ඉතා නිර්මාණශීලිය.

දෙවෙනි ගීතයට තෝරාගෙන තිබුණේ "බිළිඳා නැළවේ උකුළේ" යන ගීතය.ආරම්භයේ වාදනය වූයේ ජයන්තගේ අපූරු තබ්ලා හා ඩොල්කි වාදනය.පසුව ඊට එක්වුණේ ප්‍රසන්න රෝසාගෙ ගිටාර් වාදනය.එකී වාදනය සඳහා ඔහු භාවිතා කළේ Lap Steel ගිටාරයක්.මෙහි තත්වලින් නැඟෙන්නේ බොහොම තියුණු,ගැඹුරු,බොහෝ වෙලාවක් (Sustainable ) ඇදී යන හඬක්.වාදකයාගේ උකුල මත තබාගෙන තත් පුවරුවේ (Frets) ඇඟිලි වෙනුවට කුඩා ලෝහ බටයක් එහා මෙහා ගෙනයමින් අනෙක් අතින් තත් පිරිමදිමින් මෙය වාදනය කරන්නෙ."බිළිඳා නැලවේ" වැනි ගීයක් සඳහා බොහොම හැඟුම්බර (Emotional) හඬක් මේ ගිටාරයෙන් එකතු වුණේ ප්‍රසන්න රෝසාගේ වාදනයේ තිබුණ අපූර්වත්වය නිසා.ශිවන්ත ගායනා කළ"පින් සිදුවන්නේ" ගීතයටත් ඔහු මේ ගිටාරයම වාදනය කලේ තමාට පිය උරුමයෙන් ලද වාද්‍ය ශිල්පීය දායාදය සපථ කරමින්.
F Major ස්වර පරාසයේ වාදනය වුණු මේ ගීයේ අවසානයට ගැයූ ස්ථායි ( Chorus ) කොටසේදි G Major ස්වර පරාසයට (Key Change) විතැන් වුනේ ඒ අපූර්වත්වය තවත් ඉහළ නංවමින්.

"කළු මහවැලි කැළණිද වලවේ" ගීතයේ තාල වාදනයට යොදා ගෙන තිබුනේ Bossa nova තාලය(Beat).බොසනෝවා (Bossa nova) කියන්නෙ 1950 දශකයේ බ්‍රසීලයෙන් ලෝක සංගීතයට දායාද වෙච්ච ෂානරයක්.(Genre) මෙහි ලතින් නමේ තේරුම නව ප්‍රවණතාවක් (New trend) කියා අන්තර්ජාලයේ සඳහන් වෙනව.කෙසේ වුවත් මේ තාලය ගීතයට යොදා ගැනීමෙන් ගීතයට නව වර්ණයක් එක්වුණා කිව යුතුයි.

ඒ වගේම ප්‍රාරම්භක හා අන්තර් වාදනයෙදි (Interlude) යොදාගත්ත එකෝඩියනය,බටනළාව හා එකෝස්ටික් ගිටාරයේ සංයෝජනය ගීතයට එකතු කලේ නවතාවයක්.ඊටම ශිවන්තගේ හාමනි ගායනයත් හරියටම පෑහෙනව.මුල් ගීතය හා සසඳනවිට තාලය (Beat)වෙනස්ම තාලයක්.නමුත් ගීතය විකෘති නොකර තනුව ඒ අයුරින්ම යොදාගෙන සංයෝජනය කළ නව සංගීතය මේරියන්ස් Unplugged ප්‍රවණතාවට ගැලපෙන අයුරින්ම තිබීම අගය කළ යුතුම කරුණක්.සරත් විමලවීර මහතාගේ අති විශිෂ්ඨ ගේය පදත් එක්ක මේ සංගීතය කන වැකෙන විට නලින් පෙරේරා කිව්ව වගේම චිත්ත රූප මැවෙන එක හරි අපූරුවට සිදුවෙනව.

"අම්බිලි මාමේ " ගීතය ආරම්භයේදී ඇහෙන ෂෙහාන්ගේ Soprano Sax වාදනයත් හරි මිහිරි වාදනයක්.ඒ වාදනය ඇහෙද්දි ශෝකී බවක් එක්ක අතීතානුස්මරණයකට නොදැනුවත්වම හිත ඇදිල යන බවක් දැනෙනව.ජයන්ත හරි අපූරුවට තබ්ලා ඩොල්කි වාදනයක් ගීතය පුරාවටම ඉදිරිපත් කරනව.

"ලෝ අඩ නින්දේ" ගීතයේ ප්‍රවේශ (Intro) කොටසටත් එකෝඩියනය හා සැක්සෆෝනය යොදාගෙන රස වෑහෙන වාදනයක් වාදනය වෙනව.ඒ ගීතයේ කවුන්ටර් පාට්ස් හා අන්තර් වාදන විදියට දිලීප මංගල ඉදිරිපත් කරන එකෝඩියන් හා පියානෝ වාදනයෙන්  ගීතය බොහොම මිහිරි විදියට ඉදිරියට ගලා යනව.

" කිරල ගහේ ගෙඩි දිය මත වැටිල පහතට බැස යයි දිය රැල්ලේ ".බොහොම සුමියුරු පද රචනාවක්.

"අඹරුක් සෙවනැල්ලේ" ගීතයත් බටහිර ආරට සංගීතය මුසුවූ ගීතයක්.ගීතයට යොදාගෙන තිබුනේ ලතින් ඇමෙරිකානු Samba ශෛලියේ තාලයක්.ප්‍රවේශ සංගීතයත් (Intro) කොංගා ඩ්‍රම්ස් හා මුසුවූ වාදනයක්.සැක්සෆෝනයේ වාද්‍ය සහයත් මීට යොදාගෙන තියෙනව.ජයන්තගේ අපූරු බොංගෝ තාල වාදනයකුත් (Break) Cowbell වාදනයකුත් මීට ඇතුළත්.ගීතයේ ප්‍රවේශ සංගීතය ,අතුරු වාදන,අන්තර් වාදන කොටස් ඇහෙන කොට හිතෙන්නෙ ලතින් ඇමෙරිකානු රිද්මයක් ඇති ගීතයක් අහන් ඉන්නවා වගේ හැඟීමක්.

"පියුමෙහි පැණි බොති වන බඹරු" ගීතයත් මේ ආරටම ගිය ගීයක්.එහි අතුරු වාදනයේ (Interlude) දිලීප මංගලගේ කී බෝඩ් වාදනය හා ෂෙහාන්ගේ සැක්සෆෝන් වාදනයත් නියම සංයෝජනයක්.ඇත්තටම ඒ ගීතවල තියෙන්නෙ අපූරු රිද්මයක්.නැවුම් බවක්.අහන් ඉන්නකොට නැටවෙන අතපය ඉබේම හෙළවෙන අන්දමේ රිද්මයක්.

"සීගිරි සුකුමාලියේ" ගීතයත් රොක් ඇන්ඩ් රෝල් ශෛලියට අනුගත වුණ ගීතයක්.සැක්සෆෝන් වාදනයත් එක්ක ඒ ගීතය කෙතරම් බටහිර සංගීත ආභාෂයක් ලැබිලද කියල හිතන්න පුළුවන්.

ඒ වගේම "රෑ පැල් රැකලා", "පියුමෙහි පැණි බොති", "මී අඹ වනයේ", "මගේ සුදු මාමේ" "රන්වන් රන් කෙඳි" වැනි ගීතවල කීබෝඩ්ස් වාදන කොටස්වලට දිලීප මංගල යොදාගත් Hammond  Organ නාදයත් හරිම සුමියුරු නාදයක්.(Tone) ඒ ගීතවලට හරියටම ගැලපෙන නාද වර්ණයක් (Colour Tone) එහි ඇතුළත්. මේ හඬ (Tone) පැරණි ගීතවල බොහෝවිට ඇහෙන්න ලැබෙන හඬක්.

සී.ටී.ප්‍රනාන්දුගේ බොහෝ ගීත ඉතා පහසුවෙන් බටහිර ආරට ගයන්න වයන්න පුළුවන් ගීත.ඊට විශේෂම හේතුව 60 දශකයේ පවා මේ ගීත බටහිර සංගීත ස්පර්ශය සහිතව නිපදවා තිබීම.අද වගේ තාක්ෂණය,අන්තර්ජාල නොතිබූ ඒ යුගයේ ඒ වගේ සංගීතයක් මේ ගීතවලට යෙදීමත් විටෙක විස්මය දනවන්නක්.සංගීතය පැත්තෙන් ගත්තොත් ඒ කාලෙ හැටියට මේ ගීත ඉතාම යාවත්කාලීන වූ ගීත.

මීට මූලිකම හේතුව මේ ගීතවලට සංගීතය සැපයූ සංගීතවේදීන්ගේ තිබ්බ ශිල්පීය දක්ෂතාව.සී.ටී.ප්‍රනාන්දුගේ බොහෝ ගීතවල සංගීතය සපයල තියෙන්නෙ බඹරැන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා නොහොත් බී.ඇස්.පෙරේරා කියන සංගීත අධ්‍යක්ෂවරයා.මහැඳුරු සුනිල් ආරියරත්නයන් ලියූ ගාන්ධර්ව අපදාන කෘතියට අනුව,

" සී.ටී.ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද තනු බොහෝමයක සංගිත සංයෝජනය කළේද බී.ඇස්.ය. සී.ටී.ප්‍රනාන්දුගේ "අම්බිලි මාමේ" සහ "බරබාගේ" (තැටි අංක WN 82),"සුවඳ රෝස මල් නෙළා" සහ "පින්සිදුවන්නෙ අනේ බාල ළමුන්නේ" (තැටි අංක WN 70) යන ගී තැටිවල බී.ඇස්.ගේ නම සඳහන් වී ඇත්තේ Music arranged : B.S.Perera යනුවෙනි."

ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ 'අයාලේ ගිය සිතක සටහන්' නම් කෘතියේ ඔහු ගැන සඳහන් වන්නේ මෙලෙසය.

" බී.ඇස්.පෙරේරා විසින් නිර්මාණය කළ ගී රැසක්ම මගේ මතකයට නැගෙයි.'සිරිපාදේ සමනල කන්ද පෙනේ','දුර පෙනෙන තැනිතලා', 'වැදේ සුගන්ධේ','මාලා-රූපරා- කෝකිලා වී මා' ඉන් සමහරකි.දෙවන ලෝක සංග්‍රාම කාලයේදී හා ඉන් පසුව වසර ගණනාවක් යන තුරුත් ලොව පුරා මහත් සේ ජනප්‍රිය වූ ලතින් ඇමෙරිකානු සංගීතයේත්,ඇමෙරිකානු ගවපල්ලන්ගෙන් බිහිවූ ගොපලු ගීවලත් රිද්ම රටා තම ගීවලට උපයෝගි කරගත් බී.ඇස්.පෙරේරා  අපරදිග සංගීතයේ ලෝහමුවා සුෂිර භාණ්ඩ බහුලව යොදාගත් වාද්‍ය සංයෝජනයක් සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ අපරදිග සංගීත සම්ප්‍රදායේ මුඛ්‍ය ශිල්ප ක්‍රම වන සංඝාත (Chords ) සහ ප්‍රසංවාද (Harmony ) සිංහල සංගීතයේ ව්‍යක්ත ලෙසත් විධිමත් ලෙසත් මුලින්ම භාවිතා කළ සිංහල සංගීතකරුවා සේ සැලකිය හැකිය.ඒ හේතුව නිසාදෝ ඔහුගේ ගීත නාගරික මධ්‍යම පන්තිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය."

'ස්වකීය ගීවල පිළිඹිබු වූ බටහිර ශෛලිය නිසා බී.ඇස්. බැට කෑ අවස්ථා බොහෝය."

රේඛාව චිත්‍රපටයේ සංගීත සංයෝජනය හා අධ්‍යක්ෂණය පවා ඔහුට භාරවන්නේ එකී චිත්‍රපටයේ ගී තනු නිමැවූ සුනිල් සාන්තයන්ගේ රෙකමදාරුව මතය.කොටින්ම ඔහුගේ බටහිර සංගීත සම්ප්‍රදාය නොරිස්සූ එවකට හින්දුස්තාන් සංගීතය පමණක්ම අගය කළ පිරිසකගේ ක්‍රියාකලාපයන් නිසා ඔහු ගුවන්විදුලියේ වැඩතහනමකට පවා ලක්ව ඇත."පැලේ වසන රන්මලී","කාසි මැව්වෙ කවුද දෙයියනේ","සෝබන සැන්දෑවේ" ඇතුළුව එකල තවත් බොහෝ ජනප්‍රිය ගී නිර්මාණයන්ද බී.ඇස්.පෙරේරාගේය.

කොතරම් මිහිරි තනු සහිත සංගීත නිර්මාණ නිමැවූවත් වර්තමානයේ ඔහු එතරම් ප්‍රකට නැති සංගීතවේදියෙකි.නමුත් මේරියන්ස් නලින් පෙරේරා මේ ප්‍රසංගයේ බොහෝ තැන්වල මේ අසහාය සංගීතවේදියා පිළිබඳව සිය රසික ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කිරීම පැසසිය යුතු කර්තව්‍යයකි.

එමෙන්ම "රන්වන් රන් කෙඳි පිරාලා" ගීතය නිර්මාණය කර ඇත්තේ පැට්‍රික් දෙනිපිටියය.ඔහුද සී.ටී.ගේ ගීවලට බටහිරට මුසුවූ සංගීත සංයෝජනයන් සිදුකළ විශිෂ්ට සංගීතඥයෙකි.ඒ යුගය හා සසඳන කළ ඉහත කී නිර්මාණ අදටද වලංගු වන්නේ,නොනැසී පවතින්නේ ඒවායේ යොදාගත් ගේයපද ,මිහිරි තනු නිර්මාණ හා එකී යුගයට සාපේක්ෂව  වඩා යාවත්කාලීන වූ සංගීතය නම් කාරණා මත බව නිගමනයට එළඹිය හැක.තවද සෑම ගීතයක්ම ගායනයට පෙර එහි පදරචනය, තනුව හා සංගීතය කාගේදැයි කියා ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමට නලින් පෙරේරා කටයුතු කිරීම ප්‍රසංශාත්මකය.මන්ද අද දවසේ එවන් සදාචාරාත්මක දේ ඇසීමට පවා උගහට වීමය.දැන් එවන් ආචාරධර්ම පිරිහුණු යුගයක අප ජීවත්වීමය.

ඉතින් ඉහත කී ගීතත් ප්‍රසංගයේ අනික් හැම ගීතත් මේරියන්ස් සංගීත කණ්ඩායම ඉතා හොඳින් නව සංගීතයෙන් වර්ණ ගන්වල තියෙනව.ගීත කීපයක් පමණක් තෝර ගත්තේ හැම ගීතයක් ගැනම විවරණය කිරීම ප්‍රයෝගික නොවන නිසා.ඒ වගේම මේ ප්‍රසංගය ඉදිරිපත් කිරීම බොහොම ආකර්ෂණීයයි.ප්‍රසංගය පුරාවට කුතුහලය රැකෙන පරිදි ඒකාකාරි නොවන විදියට ප්‍රේක්ෂකයන් ඇඳබැඳ තබා ගන්න නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සමත් වෙනව.ඔවුන් සතු නිසඟ වාද්‍ය හැකියාවන්ගෙන් සී.ටී.ප්‍රනාන්දුගේ ගීත අලංකෘත කරනව.

ඒ වගේම මෙහි එන ඇතැම් ගීතවලට ඔවුන් සතුව අපූරු කතා ටිකක් ඇතුළත්. ප්‍රසන්න රෝසාගෙ මව ඔහු නැළවීමට ගැයූ ගීතය, ජෝ අංකල්ගෙ සින්දුව, ලංකාවේ වැඩිම ප්‍රස්තා පිරුළු සහිත ගීතය, පාර්ලිමේන්තුවේ නිතර ඇසිය යුතු ගීතය, සිංහල අච්චු පොතේ ඇති සින්දුව,සත්තුවත්තෙ සින්දුව, නලීන් පෙරේරා වේදිකාවක පළමුවරට කියූ ගීතය වගේ අපූරු කුහුළින් පිරුණු කතා ටිකක් මේ ගීතවලට බද්ධ වෙලා තියෙනව.ඒ වගේම "ආනේ ඩිංගක්" ගීතයේ තුන්වන අන්තරා (Verse) කොටස ප්‍රථමවතාවට මම ඇහුවෙ මේ ප්‍රසංගයේ.පදරචනය කළ ඩී.සී.ජයසිංහ මහතා ඒ තුන්වන අන්තරා කොටස පළමුවරට ගායනා කරන්නැයි නලින් පෙරේරා කළ ඇරයුම නිසා ප්‍රථම වතාවට මෙරට ශ්‍රාවකයින්‍ට ඒ දුලභ අවස්ථාව එදින උදාවීමත් ප්‍රසංගයේ තිබූ විශේෂ අවස්ථාවක්.

ප්‍රසංගය අවසාන වෙනවිට මට දැනුනෙ ජෑස් (Jazz) ලතින්(Latin),සම්බා(Samba),වෝල්ට්ස්(Waltz),රොක් ඇන්ඩ් රෝල්(Rock & Roll) වගේ සංගීත ශෛලීන් හැම එකකම අතරමං උනා වගේ හැඟීමක්.ඒ වගේම මේ තරම් බටහිරට බර සංගීත රටාවන් යොදාගත් ගීත ගොන්නට ක්ලැසිකල් ගිටාර් වාදනයේ සූර බේස් ගිටාර් වාදන ශිල්පී චමින්ද සිල්වාගේ, ක්ලැසිකල් ගිටාර් වාදනයන් ඇතැම් ගීතවලට එක්කරන්න අවකාශයක් ඇතැයි කියන එක මගේ පුද්ගලික හැඟීමක්.ස්පැනිෂ් සංගීත වර්ණයක් ඇතැම් ගීතවලට එකතු කරන්න එයින් පුළුවන්.එහෙම උනානම් සමහර ඒවා තව ටිකක් රහ වෙයි වගේ අදහසක් මම කියන්නෙ.නමුත් ඒක මගේ පුද්ගලික අදහසක් විතරයි.තීරණය මේරියන්ස් සතුයි.

සමස්තයක් විදියට ගත්තම කිසි අඩුපාඩුවක් නොවන විදියට ගීතවල රසය විකෘති නොකර අළුතින් යමක් නවීන ශබ්ද තාක්ෂණයෙන් යුතුව ප්‍රේක්ෂකයාගේ ඇසට,සවනට ලබාදීමට මේරියන්ස් සංගීත කණ්ඩායම සමත්වීම ඇගයිය යුතුමයි.ඒ සඳහා ගීත ගායනය සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමට නිසි අවසර දුන්, වර්තමානයේ සී.ටී.ප්‍රනාන්දුගේ ගීතවල අයිතිය සතු සංගීතවේදී චන්දිමාල් ප්‍රනාන්දුටත් ස්තූතිය හිමිවිය යුතුයි.අවසාන වශයෙන් මේ ප්‍රසංගය ඩීවිඩී තැටියක් වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනවානම් එය සංගීතලෝලින්ට ඉතා වැදගත් වන බවද කිවයුතු වන්නේ නොඑසේනම් මෙතරම් වටිනා ගීත සමුච්චයක් අනාගතයට අහිමිවී යා හැකි බැවිනි.

Photography Courtesy - Jayasanka Fernando

නිර්මාලයා
Nirmal Ranasinghe Bmd.

"- සමන් කියයි - චරිත හයක වගතුග "

"සමන් කියයි". සමන් අතාවුදහෙටිටි ලියපු අළුත්ම පොත.සොඳුරු සැරිසර සරවක් නදිය දිගේ,සොඳුරු සැරිසර හනමිචිය දිගේ වගේ තමන්ගෙ සංචාරක සටහන් අළලා ලියූ පොත්වලට වඩා ටිකක් වෙනස් පොතක්.හැබැයි ඒවයෙ වගේම මේ පොතට පාදක වෙන්නෙත් ඔහු හා බැඳුණු රාජකාරි දිවියේ වගේම පෞද්ගලික දිවියේත් ඔහුට සමීප චරිත කීපයක වගතුග.හරි රහට ලියල තියෙනව.ඒ හින්දම පොත හතරපස් පාරක් කියෙව්වට පස්සෙ ඒ ගැන නිරායාසයෙන්ම විශ්ලේෂණය වෙලා මගෙ හිතට ආපු අදහස් ටිකක් තමයි මේ ලියන්නෙ.

සමන් අතාවුදහෙටිටි ගැන බොහෝ අය දන්නෙ නිවේදකයෙක් හැටියට.මට මතක විදියට පොඩිකාලෙ මම ඔහුගෙ හඬ හඳුනාගත්තෙ රූපවාහිනිය හරහා.අහපු දා ඉඳන් මම ඒ හඬට ඉරිසියා කරනව.!ලොබ බඳිනව.මට එහෙම කටහඬක් නැති එකට.ඒක ඒ තරම් ඒකීය, හරිම මටසිලිටි නිවුණු හඬක්.මෑත භාගයෙ ඔහුගෙ හඬ ඇහුවෙ සරත් දසනායකයන්ගෙ උපහාර උළෙලකදි.තරංගනී ශාලාවේදි ඔහු ඒ සභාවේ මෙහෙයැව්වේ එතන හිටි කාටවත් නොදැනෙනන විදියට.කිසිම කලබලයක් නැතුව.ඔහුගේ හඬ ගැන යම් සඳහනක් කළේ යම් විශේෂ හේතුවකට.

මෙන්න මේකයි හේතුව.පොත කියවද්දි සමන් අතාවුදහෙටිටිගෙ කටහඬ ගැන හිතේ තියාගෙන කියවනවිට මේ පොත ඔහුගේ හඬින් කියවීමට හැකිවීම තමයි මම අත්දැකපු සුවිශේෂී කාරණාව.වෙන අයටනම් කොහොම වෙයිද දන්නෙ නෑ.නමුත් මට නම් පොත කියවන්න ගත්ත වෙලේ ඉඳන් හිතේ මැවෙන්නෙ ඔහුගෙ කටහඬ.ඉතින් ඒ හඬින් මං හිතෙන් කියවනව.ඔහුගේ නිවේදක හඬට ඇලුම් කිරීම නිසාම මට එහෙම වෙනව ඇති කියන එකයි මගෙ අදහස.නැත්නම් වෙන කෙනෙක් ලියපු පොතක් කියවද්දිත් එහෙම වෙන්නෙපෑය.

අනික් කාරණේ මේ පොත ලියවිල තියෙන්නෙ කතා කරන බසින්.එක් එක් අවස්ථාවන්වලදී එකී චරිත ගැන ඔහු කළ දෙසුම් ඇසුරෙන්.ඉතින් ඔහුගේ හඬ සිතේ මැවෙන එක තවත් ලේසියි.හරි සරල බසක්.ආකර්ෂණීය බසක්.ඒ වගේම ඔහුටම ආවේණික විදියට ලියපු නිර්මාණශීලි ලිවීමක්.

"සමන් කියයි" කියල කිව්වට ඒ පොතේ තව අතුරු නම් කීපයකුත් තියෙනව.

මෙන්න මෙහෙම" ප්‍රේම් පොඩියි,දයා තරුණයි,නන්දා දුප්පත්,වික්ටර් ගැඹුරුයි,කළණි හයිබ්‍රිඩ්."

පොතේ විදියට සමන් අතාවුදහෙටිටියන් මේ චරිත හා කිටි කිටියේ ගැටගැහෙන හුය වෙන්නෙ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව.ඒ කාලේ බාසාවෙන් කිව්වොත් රේඩියෝ සිලෝන් එක.ඒ හැම චරිතයක්ම " ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කතන්දරේ පුස්සක් කරපු අය.ඒක මේ අයගෙ මහා පොදු සාධකය.

දයාද අල්විස් ගත්තොත් ගේය පද රචිකාවියක්,මාධ්‍යවේදිනියක්,රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්.වික්ටර් රත්නායකයන් ගත්තොත් සංගීත ගුරුවරයෙක්,වාදන ශිල්පියෙක්,ගායකයෙක්,සංගීතඥයෙක්.නන්දා මාලිනිත් එහෙමයි.වයලීන් වාදක හයිබ්‍රිඩ් කළණිත් එහෙමයි.ප්‍රේමකීර්තිද අල්විස් ගැන කිසිවක් කියනවට වඩා නොකියා ඉන්න එක හොඳයි කියල මට හිතෙන්නෙ මනුස්සයෙකුට ඒ වගේ හැකියාවන් තියෙන්න පුළුවන්ද කියල මේක කියවන අයට අදහගන්න බැරිවෙයි කියන බයට.මේ චරිත පහේම හැකියා, දක්ෂතාවල හතර මායිම හරි විසාලයි.එය විටෙක විස්මය උපදවන වපසරියක්.

නිර්මාණශීලි බව,පවතින සාම්ප්‍රදායට එරෙහිව යාම, ඒ නිසාවෙන්ම නව්‍යතාවන් එළි දැක්වීම,ගීත රචනය,වාදනය,ගායනය,සංගීත අදියුරුවම වැනි කුමක් හෝ අංශයකින් සංගීතයට සම්බන්ධ වීම  වගේ කරුණු නිසාත් මේ අය එකම කුලකෙට වැටෙනව.

පොත තව ටිකක් විමසිල්ලෙන් කියෙව්වම පේන්න ගන්න මේ චරිත පහ අතරත් එකිනෙකාගෙ අන්තර් සම්බන්ධතා තියෙන බව.පෞද්ගලිකව වගේම රාජකාරි මට්ටමෙන්.අද කාලෙ බාසාවෙන් කිව්වොත් සෑහෙන කනෙක්ට් වෙච්ව, ලින්ක් වෙච්ච කට්ටිය.ඔන්න බලන්නකො.

නිරංජලා සරෝජනී ගයන අකලට වට මහා වරුසාවක් සේ කියන ගීතය ලියල තියෙන්නෙ දයා ද අල්විස්.සංගීතය සපයල තියෙන්නෙ නන්දා මාලිනී.එතකොට දයා ද අල්විස් ඇවිල්ල ප්‍රේම කීර්තිගෙ පළමු විවාහයෙ බිරිඳ."ආදරයේ උල්පත වූ අම්මා" කියන ගීතය ලියන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස්.ඒකෙ ගායනය වික්ටර් රත්නායකයන්ගෙ.වික්ටර් රත්නායකයන්ගෙ "ස" ප්‍රසංගයට නැතිවම බැරි වයලින් වාදකයෙක්ගෙ වෙන්නෙ කළණි පෙරේරා.

පොතේ චරිත පහක් ගැන කිව්වට මට හිතෙනව හයක් තියෙනව වගේ.මොකද සමන් අතාවුදහෙටිටි නෙ මේ කථාව කියන්නෙ.ඉතින් ඔහුගෙ චරිතයේ ඇතැම් කොටසුත් මේ පස්දෙනාගෙ කතා අතරට සමමෝසමේ කළවං වෙනව.සමනුත් එක්ක හයයි.ඒ මෙහෙමයි.එක තැනක් ඔහු කියනව "මගේ විවාහයේ දෙවනි මනමාලයා කළණි".!

මේ එක උදාහරණයක් විතරයි.තව එහෙම ඒවා සෑහෙන තියෙනව කියවගෙන යනකොට.ඒවගේම මේ චරිත ගැන කතා වෙන් වෙන් වශයෙන් කියවෙද්දි ඒ හරහා තව අතුරු චරිත ගණනාවක් පැන නඟිනව.බණ්ඩාර කේ.විජේතුංග, Asoka Tillekeratne, ලොකු මාස්ටර් හෙවත් තිලක සුදර්මන් සිල්වා,මහැදුරු ආරියරත්නයන්,අමරබන්දු රූපසිංහ,සේන වීරසේකර,කේමදාස මාස්ටර් වගේ තව චරිත ගණනාවක්.පොතේ තැනක අතාවුදයන් කියනව මේ අය එක්ක වරුවක් ගතකරනව කියන්නෙ මහා දැනුම් සම්භාරයක් උකහා ගැනීමක් කියල.අර මම කලින් කිව්ව කනෙක්ෂන්, ලින්ක් වගේ දේවල් හොඳට තියාගෙන තිබුණා කියන එකට ඒක හොඳ උදාහරණයක්.දූරකථන,අන්තර්ජාල නොතිබ්බ ඒ යුගයේ මේ වගේ මිත්‍ර සමාගම්,සංවාද සල්ලාප බහුලව තිබ්බ නිසාම තමයි ඒ වගේ රසවතුන් බිහි වෙන්නේ.නැත්නම් මේ පොතේ තියෙනව වගේ රසකථා කොහෙන් ලියවෙන්නද.? අද ඒ හැමදෙයක්ම තාක්ෂණයෙන් යටකරගෙන ගිහින්.

එහෙව් දැනුම් සම්භාරයක් සමන් අතාවුදහෙටිටිටත් තියෙනව කියන එක මේ පොත කියෙව්වම පැහැදිලියි.ඒක පුළුල් වපසරියක විහිදී ගිය හරි අපූරු දැනුම් සම්භාරයක්.රස කතා ගොන්නක් පිරිවරාගත්.වික්ටර් රත්නායකයන්ගෙ හා කළණි පෙරේරාගෙ සංගීත යොදාගැනීම් ගැන ඔහු ලියා තියෙන දේ දැක්කම ඒ බව වඩා සුපැහැදිලියි.තව කෙනෙක් කිව්ව දෙයක් අහගෙන හෝ ඉගෙනගෙන හෝ සංගීතය වගේ විෂයක් ගැන ඒ වගේ ලියන්න පොඩ්ඩක් හරි ඒක ඇඟේ තියෙන්නත් ඕන.නැත්නම් ඒ විෂය කරුණු ගැන ඒ විදියට ලියන එක ලේසි වැඩක් නෙවෙයි.

පොතේ තියෙන උපමාවනුත් එහෙමයි.එක් තැනක ප්‍රේමකීර්ති ගැන සඳහනක් කරන සමන් කියා සිටිනව ප්‍රේමකීර්ති දක්ෂ සිත්තරෙක් වග.

" පොඩි මාස්ටර් හොඳ සිත්තරෙක්.ඔහුගේ සිත්තරකම කවිකමටත් වඩා සැඟවිච්ච දෙයක්.ගුහා චිත්‍ර වගේ.ගුහාවට රිංගන්න අවසර තිබෙන දෙතුන්දෙනෙක්ගෙ පමණක් නෙත ගැටුණු ඒවා."ගුහා චිත්‍ර උපමාව හරි අපූරු උපමාවක්.

පොතේ තවත් තැනක ඔහු කියවන්නාගෙ කුතුහලය රඳවාගෙන ලියන්නෙ අපිට කියවන්න හදිස්සියක් ඇතිවන විදියට.ඔහු කියන විදියට ප්‍රේමකීර්ති ද අල්විස් තමන්ගේ මියයාම ගැන කලින් පවා දැනගෙන හිටි බව සාක්ෂි සහිතව පෙන්වා දෙන්නෙ ඔවුන් අතර ඇතිවූ කතාබහින් හා ප්‍රේමකීර්ති ලියූ දේ මතින්.

"සමන් කවදාවත් මට සුරංගිව පෝරුවට නග්ගන්න වෙන්නෙ නෑ."

ඒ වගේම දාස්පෙතියා කවිය,සිය දියණිය සුරංගිට ප්‍රේමකීර්ති විසින් තෑගි දුන් පොතක ලියූ සටහන සමන් අතාවුදයන් සිය නිගමනයන් ලෙස දිගහැර පෙන්වන්නේ කුතුහලය කියන දේ උපරිමව රඳවාගනිමින්.

"ඔබ යුවතියක් වන දින
මා පස් ගොඩක් පමණි..
දුවේ..එය පාගන්න."

රෙගේ ගායක බොබ් මාලේ, බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන් වගේ අයත් එක්ක මටනම් සමතැන්හි තියන්න පුළුවන් කෙනෙක් ප්‍රේමකීර්ති ද අල්විස්.හේතුව ඔවුන් ජීවත් උනේ බොහොම සීමිත කාලයක්.මාලෙ අවුරුදු තිස් හයක්,ලෙනන් අවුරුදු හතළිහක්.නමුත් ඔවුන්ගේ නිර්මාණ කරපු කියපු දේවල් අදටත් පවතිනව.අද ඒවා වන්දනීයයි.ප්‍රේමකීර්තිත් එහෙමයි.ජීවත් උනේ අවුරුදු හතළිස් දෙකක් වගේ කාලයක් උනාට ඒ ඩිංග කාලෙට ඔහු කරපු නිර්මාණ ගැන අදත් සමාජයේ කතාවෙනව.තවමත් පවතිනව.ඒ වගේ පොඩි කාලෙකදි එහෙම නිර්මාණ කළාද කියල විස්මයෙන් අහනව.ඇයි සමන් කියන විදියට ඔහු ජීවිතේට පොතක් පත්තරයක් කියවනව දැකලම නෑලු.

ඉතින් ඔය වගේ රසකතා, ජීවිතේට ඉගෙනගන්න පුළුවන් දේවල්,ආදර්ශ වගේ දේවල් එක්ක මේ පොත එක හුස්මට කියවගන යන්න පුළුවන්.ඒ වගේම මේ පස්දෙනා සම්බන්ධ වෙච්ච ගීතවලට අදාළව ඇඳි කළුසුදු සිතුවම්වලිනුත් මේ පොත පොහොසත්.ඉතින් මේ පොතට පෙරවදන ලියූ සමන් අතාවුදහෙටිටි කියන තව කතාවක්.

" මා කියූ කතා අතුරින් පොත සඳහා මේ කතා පහම තෝරාගත්තේ ඇයිදැයි සමහරු මගෙන් ඇසූහ.සමහරවිට ඔබේ සිත තුළද ඒ ප්‍රශ්නයම ඇඳී තියෙන්නට පුලුවන."

"පොත කියවන්න.ඒ ප්‍රශ්නයට උත්තර ඇත්තේ පොතේ එන කතා පහ ඇතුළේමය."

හතරපස්වතාවක් පොත කියවල ඒකෙ කරුණු කාරණා මෙව්චල් කරල මේ වගේ සටහනක් ලිව්වට පස්සෙත් මගේ හිතේත් ඔය ප්‍රශ්නෙම ඉතුරුවෙලා තියෙනව.සමානකම්,අසමානකම්,සම්බන්ධකම්,විෂය පථයන් වගේ කරුණු එක්ක ගැටිල බලනකොට මට හිතෙනව මං ලියපු දේවල්වලවත් ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවද කියල.මොකද ඒක හරියටම දන්න සමන් අතාවුදහෙටිටිනෙ.හම්බවෙච්ච දවසක අහන්න හිතාගෙන මෙයින් නතර වෙනව.

හැබැයි මට අනුව නමේ පොතේ ඔක්කොම ප්‍රධාන චරිත හයයි.සමන් එක්ක.!හැබැයි එයාට අනිත් අයට වගේ අර පොඩියි,තරුණයි,දුප්පත්,ගැඹුරුයි,හයිබ්‍රිඩ් වගේ වත්කම් බැරකම් ගතිගුණ කෑල්ලක් නැති නිසා ඒ පහට අලුතෙන් කෑල්ලක් මං දානව.ඒ මෙන්න මෙහෙම.

Prem පොඩියි
Daya තරුණයි. Nanda දුප්පත්
Victor ගැඹුරුයි Kalani හයිබ්‍රිඩ්

එතකොට සමන්...

"Saman අතීතකාමියි."

ඔව්.ඔහු රසබර අතීතකාමියෙක්.!

නිර්මාලයා
Nirmal Ranasinghe Bmd
18.02.2017