සී.ටී.ප්‍රනාන්දු මේරියන්ස් අන්ප්ලග් ප්‍රසංගය පසුගිය මාසෙක නැරඹීමට මට අවස්ථාවක් උදා උනා.මේ ප්‍රසංගය පැවැත්වුවේ තුන්වෙනි වතාවට.මහරගම තරුණ සේවා සභාවේ පැවති මේ ප්‍රසංගය සංවිධානය කර තිබුණේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ආදි සිසුන් විසින්.ප්‍රසංගය බොහොම ආකර්ෂණීය, කර්ණරසායනය ඉහළ නංවපු ප්‍රසංගයක්.ප්‍රසංගය අවසන් වෙලා මාසෙකටත් වැඩි වුවත් ඒ ගැන යමක් ලිවිය යුතුමයි කියල හිතුනෙ ඒ ගීතවල තිබ්බ ආකර්ෂණීය බව නිසා.මේරියන්ස් කණ්ඩායම යෙදූ අපූරු නව සංගීත සංයෝජනය නිසා. ඔය හින්දම මං මේක ටැබ් එකේ ඕඩියෝ විදියට පටිගත කරගත්ත.
සී.ටී.ප්‍රනාන්දු එහෙම නැත්නම් සිරිල් ටියුඩර් ප්‍රනාන්දු ගැන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගෙ 'අයාලේ ගිය සිතක සටහන්' කෘතියේ සඳහන් වන්නෙ මෙන්න මේ විදියට.
" සී.ටී.ප්‍රනාන්දුට තිබුණේ දුර්ලභ ගණයේ කටහඬකි.එහෙත් සිංහල සංගීතය වටකොට ගොඩනැඟී තිබුණු විචාර ස්ථාවරය,සී.ටී.ප්‍රනාන්දුව බැහැර කළේය.1972 - 73 වසර වනවිට සිංහල සංගීතයට බටහිර සංගීතයේ බලපෑම තදින් ඇතිවන්නට වී තිබුණි.සංගීතයට නිදහසේ වැඩෙන්නට ඉඩ දිය යුතුය යන්න තරයේ ඇදහූ එවකට ගුවන්විදුලියේ සභාපති නෙවිල් ජයවීරයන් සිංහල සංගීතය වටා තිබූ බොහෝ තහංචි ඉවත් කළේය.හේ සීටී ගේ කටහඬට බෙහෙවින් ඇලුම් කළේය.බොහෝ කළකට පසු සී.ටී.ප්‍රනාන්දු ගායකයෙකු ලෙසෙ ව්‍යප්ත වන්නට වූයේ මේ කාලයේය."වනබඹරු" ගීතය ඈත ගම්දනව්වල පමණක් නොව,කොළඹ සුපිරි හෝටල්වලින් පවා එකසේ ඇසෙන්නට විය.ඒ ගීය අසා සී.ටී ගේ කටහඬට ඇලුම් කළ මැඩම් ඩෙල් ගාඩෝ, නම්වූ යුරෝපීය ඔපෙරා ගායිකාවක් ඔහුට ලන්ඩනයට ආරාධනා කොට ප්‍රසංගයක් පැවැත්වීය.ලන්ඩනයේ හෝ වෙනත් බටහිර නුවරක පවත්වනු ලැබූ මුල්ම ප්‍රසිද්ධ සිංහල ගී ප්‍රසංගය මෙයයි. "- පි 137
සී.ටී.ප්‍රනාන්දුගේ ගීතවලට තිබූ ජනප්‍රියත්වය තේරුම් ගැනීමට මෙයම බොහෝ ප්‍රමාණවත්.
ඔහු අපේ රටේ හිටපු පොප් තරුවක්.
මේ ප්‍රසංගයේ මුලින්ම ගායනා කිරීමට තෝරාගෙන තිබුණේ සී.ටී.ප්‍රනාන්දු මහතාගේ "අවදිවන්න අවදින්න " කියන ගීතය.එහි ප්රාරම්භක සංගීත ඛණ්ඩයට යොදාගෙන තිබුණේ Tenor සැක්සසෝනය.ෂෙහාන්ගෙ වාදනය ජෑස් ශෛලියට නැඹුරු වාදනයක්.ඊට සුභාෂ්ගෙ ඩ්‍රම්ස් වාදනයෙන් එකතු වුණේ අපූරු රිද්මයක්.ගීතයේ අන්තර් වාදනයේදි (Interlude ) සැක්සෆෝනය හා පියානෝ වාදනයෙන් ඉහත කී ජෑස් වර්ණ රටාවලට සමෝසමේ පෑහෙන රිද්මයක් එකතු වූ අතර නවතාවකින් යුතුව මුසු කළ සංගීතය, මුල් ගීතයේ තිබූ රසය විකෘති නොකර එකී මූලික හැඩතල ඉස්මතු වන ආකාරයටම යොදාගැනීම ඉතා නිර්මාණශීලිය.
දෙවෙනි ගීතයට තෝරාගෙන තිබුණේ "බිළිඳා නැළවේ උකුළේ" යන ගීතය.ආරම්භයේ වාදනය වූයේ ජයන්තගේ අපූරු තබ්ලා හා ඩොල්කි වාදනය.පසුව ඊට එක්වුණේ ප්‍රසන්න රෝසාගෙ ගිටාර් වාදනය.එකී වාදනය සඳහා ඔහු භාවිතා කළේ Lap Steel ගිටාරයක්.මෙහි තත්වලින් නැඟෙන්නේ බොහොම තියුණු,ගැඹුරු,බොහෝ වෙලාවක් (Sustainable ) ඇදී යන හඬක්.වාදකයාගේ උකුල මත තබාගෙන තත් පුවරුවේ (Frets) ඇඟිලි වෙනුවට කුඩා ලෝහ බටයක් එහා මෙහා ගෙනයමින් අනෙක් අතින් තත් පිරිමදිමින් මෙය වාදනය කරන්නෙ."බිළිඳා නැලවේ" වැනි ගීයක් සඳහා බොහොම හැඟුම්බර (Emotional) හඬක් මේ ගිටාරයෙන් එකතු වුණේ ප්‍රසන්න රෝසාගේ වාදනයේ තිබුණ අපූර්වත්වය නිසා.ශිවන්ත ගායනා කළ"පින් සිදුවන්නේ" ගීතයටත් ඔහු මේ ගිටාරයම වාදනය කලේ තමාට පිය උරුමයෙන් ලද වාද්‍ය ශිල්පීය දායාදය සපථ කරමින්.
F Major ස්වර පරාසයේ වාදනය වුණු මේ ගීයේ අවසානයට ගැයූ ස්ථායි ( Chorus ) කොටසේදි G Major ස්වර පරාසයට (Key Change) විතැන් වුනේ ඒ අපූර්වත්වය තවත් ඉහළ නංවමින්.
"කළු මහවැලි කැළණිද වලවේ" ගීතයේ තාල වාදනයට යොදා ගෙන තිබුනේ Bossa nova තාලය(Beat).බොසනෝවා (Bossa nova) කියන්නෙ 1950 දශකයේ බ්‍රසීලයෙන් ලෝක සංගීතයට දායාද වෙච්ච ෂානරයක්.(Genre) මෙහි ලතින් නමේ තේරුම නව ප්‍රවණතාවක් (New trend) කියා අන්තර්ජාලයේ සඳහන් වෙනව.කෙසේ වුවත් මේ තාලය ගීතයට යොදා ගැනීමෙන් ගීතයට නව වර්ණයක් එක්වුණා කිව යුතුයි.
ඒ වගේම ප්රාරම්භක හා අන්තර් වාදනයෙදි (Interlude) යොදාගත්ත එකෝඩියනය,බටනළාව හා එකෝස්ටික් ගිටාරයේ සංයෝජනය ගීතයට එකතු කලේ නවතාවයක්.ඊටම ශිවන්තගේ හාමනි ගායනයත් හරියටම පෑහෙනව.මුල් ගීතය හා සසඳනවිට තාලය (Beat)වෙනස්ම තාලයක්.නමුත් ගීතය විකෘති නොකර තනුව ඒ අයුරින්ම යොදාගෙන සංයෝජනය කළ නව සංගීතය මේරියන්ස් Unplugged ප්රවණතාවට ගැලපෙන අයුරින්ම තිබීම අගය කළ යුතුම කරුණක්.සරත් විමලවීර මහතාගේ අති විශිෂ්ඨ ගේය පදත් එක්ක මේ සංගීතය කන වැකෙන විට නලින් පෙරේරා කිව්ව වගේම චිත්ත රූප මැවෙන එක හරි අපූරුවට සිදුවෙනව.
"අම්බිලි මාමේ " ගීතය ආරම්භයේදී ඇහෙන ෂෙහාන්ගේ Soprano Sax වාදනයත් හරි මිහිරි වාදනයක්.ඒ වාදනය ඇහෙද්දි ශෝකී බවක් එක්ක අතීතානුස්මරණයකට නොදැනුවත්වම හිත ඇදිල යන බවක් දැනෙනව.ජයන්ත හරි අපූරුවට තබ්ලා ඩොල්කි වාදනයක් ගීතය පුරාවටම ඉදිරිපත් කරනව.
"ලෝ අඩ නින්දේ" ගීතයේ ප්‍රවේශ (Intro) කොටසටත් එකෝඩියනය හා සැක්සෆෝනය යොදාගෙන රස වෑහෙන වාදනයක් වාදනය වෙනව.ඒ ගීතයේ කවුන්ටර් පාට්ස් හා අන්තර් වාදන විදියට දිලීප මංගල ඉදිරිපත් කරන එකෝඩියන් හා පියානෝ වාදනයෙන් ගීතය බොහොම මිහිරි විදියට ඉදිරියට ගලා යනව.
" කිරල ගහේ ගෙඩි දිය මත වැටිල පහතට බැස යයි දිය රැල්ලේ ".බොහොම සුමියුරු පද රචනාවක්.
"අඹරුක් සෙවනැල්ලේ" ගීතයත් බටහිර ආරට සංගීතය මුසුවූ ගීතයක්.ගීතයට යොදාගෙන තිබුනේ ලතින් ඇමෙරිකානු Samba ශෛලියේ තාලයක්.ප්‍රවේශ සංගීතයත් (Intro) කොංගා ඩ්‍රම්ස් හා මුසුවූ වාදනයක්.සැක්සෆෝනයේ වාද්‍ය සහයත් මීට යොදාගෙන තියෙනව.ජයන්තගේ අපූරු බොංගෝ තාල වාදනයකුත් (Break) Cowbell වාදනයකුත් මීට ඇතුළත්.ගීතයේ ප්‍රවේශ සංගීතය ,අතුරු වාදන,අන්තර් වාදන කොටස් ඇහෙන කොට හිතෙන්නෙ ලතින් ඇමෙරිකානු රිද්මයක් ඇති ගීතයක් අහන් ඉන්නවා වගේ හැඟීමක්.
"පියුමෙහි පැණි බොති වන බඹරු" ගීතයත් මේ ආරටම ගිය ගීයක්.එහි අතුරු වාදනයේ (Interlude) දිලීප මංගලගේ කී බෝඩ් වාදනය හා ෂෙහාන්ගේ සැක්සෆෝන් වාදනයත් නියම සංයෝජනයක්.ඇත්තටම ඒ ගීතවල තියෙන්නෙ අපූරු රිද්මයක්.නැවුම් බවක්.අහන් ඉන්නකොට නැටවෙන අතපය ඉබේම හෙළවෙන අන්දමේ රිද්මයක්.
"සීගිරි සුකුමාලියේ" ගීතයත් රොක් ඇන්ඩ් රෝල් ශෛලියට අනුගත වුණ ගීතයක්.සැක්සෆෝන් වාදනයත් එක්ක ඒ ගීතය කෙතරම් බටහිර සංගීත ආභාෂයක් ලැබිලද කියල හිතන්න පුළුවන්.
ඒ වගේම "රෑ පැල් රැකලා", "පියුමෙහි පැණි බොති", "මී අඹ වනයේ", "මගේ සුදු මාමේ" "රන්වන් රන් කෙඳි" වැනි ගීතවල කීබෝඩ්ස් වාදන කොටස්වලට දිලීප මංගල යොදාගත් Hammond Organ නාදයත් හරිම සුමියුරු නාදයක්.(Tone) ඒ ගීතවලට හරියටම ගැලපෙන නාද වර්ණයක් (Colour Tone) එහි ඇතුළත්. මේ හඬ (Tone) පැරණි ගීතවල බොහෝවිට ඇහෙන්න ලැබෙන හඬක්.
සී.ටී.ප්‍රනාන්දුගේ බොහෝ ගීත ඉතා පහසුවෙන් බටහිර ආරට ගයන්න වයන්න පුළුවන් ගීත.ඊට විශේෂම හේතුව 60 දශකයේ පවා මේ ගීත බටහිර සංගීත ස්පර්ශය සහිතව නිපදවා තිබීම.අද වගේ තාක්ෂණය,අන්තර්ජාල නොතිබූ ඒ යුගයේ ඒ වගේ සංගීතයක් මේ ගීතවලට යෙදීමත් විටෙක විස්මය දනවන්නක්.සංගීතය පැත්තෙන් ගත්තොත් ඒ කාලෙ හැටියට මේ ගීත ඉතාම යාවත්කාලීන වූ ගීත.
මීට මූලිකම හේතුව මේ ගීතවලට සංගීතය සැපයූ සංගීතවේදීන්ගේ තිබ්බ ශිල්පීය දක්ෂතාව.සී.ටී.ප්‍රනාන්දුගේ බොහෝ ගීතවල සංගීතය සපයල තියෙන්නෙ බඹරැන්දගේ බුද්ධදාස ශ්‍රීනාත් පෙරේරා නොහොත් බී.ඇස්.පෙරේරා කියන සංගීත අධ්යක්ෂවරයා.මහැඳුරු සුනිල් ආරියරත්නයන් ලියූ ගාන්ධර්ව අපදාන කෘතියට අනුව,
" සී.ටී.ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද තනු බොහෝමයක සංගිත සංයෝජනය කළේද බී.ඇස්.ය. සී.ටී.ප්‍රනාන්දුගේ "අම්බිලි මාමේ" සහ "බරබාගේ" (තැටි අංක WN 82),"සුවඳ රෝස මල් නෙළා" සහ "පින්සිදුවන්නෙ අනේ බාල ළමුන්නේ" (තැටි අංක WN 70) යන ගී තැටිවල බී.ඇස්.ගේ නම සඳහන් වී ඇත්තේ Music arranged : B.S.Perera යනුවෙනි."
ආචාර්ය තිස්ස අබේසේකරයන් ලියූ 'අයාලේ ගිය සිතක සටහන්' නම් කෘතියේ ඔහු ගැන සඳහන් වන්නේ මෙලෙසය.
" බී.ඇස්.පෙරේරා විසින් නිර්මාණය කළ ගී රැසක්ම මගේ මතකයට නැගෙයි.'සිරිපාදේ සමනල කන්ද පෙනේ','දුර පෙනෙන තැනිතලා', 'වැදේ සුගන්ධේ','මාලා-රූපරා- කෝකිලා වී මා' ඉන් සමහරකි.දෙවන ලෝක සංග්රාම කාලයේදී හා ඉන් පසුව වසර ගණනාවක් යන තුරුත් ලොව පුරා මහත් සේ ජනප්‍රිය වූ ලතින් ඇමෙරිකානු සංගීතයේත්,ඇමෙරිකානු ගවපල්ලන්ගෙන් බිහිවූ ගොපලු ගීවලත් රිද්ම රටා තම ගීවලට උපයෝගි කරගත් බී.ඇස්.පෙරේරා අපරදිග සංගීතයේ ලෝහමුවා සුෂිර භාණ්ඩ බහුලව යොදාගත් වාද්‍ය සංයෝජනයක් සඳහා අත්‍යවශ්‍ය වන්නාවූ අපරදිග සංගීත සම්ප්රදායේ මුඛ්‍ය ශිල්ප ක්‍රම වන සංඝාත (Chords ) සහ ප්රසංවාද (Harmony ) සිංහල සංගීතයේ ව්‍යක්ත ලෙසත් විධිමත් ලෙසත් මුලින්ම භාවිතා කළ සිංහල සංගීතකරුවා සේ සැලකිය හැකිය.ඒ හේතුව නිසාදෝ ඔහුගේ ගීත නාගරික මධ්‍යම පන්තිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය."
'ස්වකීය ගීවල පිළිඹිබු වූ බටහිර ශෛලිය නිසා බී.ඇස්. බැට කෑ අවස්ථා බොහෝය."
රේඛාව චිත්‍රපටයේ සංගීත සංයෝජනය හා අධ්‍යක්ෂණය පවා ඔහුට භාරවන්නේ එකී චිත්‍රපටයේ ගී තනු නිමැවූ සුනිල් සාන්තයන්ගේ රෙකමදාරුව මතය.කොටින්ම ඔහුගේ බටහිර සංගීත සම්ප්රදාය නොරිස්සූ එවකට හින්දුස්තාන් සංගීතය පමණක්ම අගය කළ පිරිසකගේ ක්‍රියාකලාපයන් නිසා ඔහු ගුවන්විදුලියේ වැඩතහනමකට පවා ලක්ව ඇත."පැලේ වසන රන්මලී","කාසි මැව්වෙ කවුද දෙයියනේ","සෝබන සැන්දෑවේ" ඇතුළුව එකල තවත් බොහෝ ජනප්‍රිය ගී නිර්මාණයන්ද බී.ඇස්.පෙරේරාගේය.
කොතරම් මිහිරි තනු සහිත සංගීත නිර්මාණ නිමැවූවත් වර්තමානයේ ඔහු එතරම් ප්‍රකට නැති සංගීතවේදියෙකි.නමුත් මේරියන්ස් නලින් පෙරේරා මේ ප්‍රසංගයේ බොහෝ තැන්වල මේ අසහාය සංගීතවේදියා පිළිබඳව සිය රසික ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කිරීම පැසසිය යුතු කර්තව්‍යයකි.
එමෙන්ම "රන්වන් රන් කෙඳි පිරාලා" ගීතය නිර්මාණය කර ඇත්තේ පැට්රික් දෙනිපිටියය.ඔහුද සී.ටී.ගේ ගීවලට බටහිරට මුසුවූ සංගීත සංයෝජනයන් සිදුකළ විශිෂ්ට සංගීතඥයෙකි.ඒ යුගය හා සසඳන කළ ඉහත කී නිර්මාණ අදටද වලංගු වන්නේ,නොනැසී පවතින්නේ ඒවායේ යොදාගත් ගේයපද ,මිහිරි තනු නිර්මාණ හා එකී යුගයට සාපේක්ෂව වඩා යාවත්කාලීන වූ සංගීතය නම් කාරණා මත බව නිගමනයට එළඹිය හැක.තවද සෑම ගීතයක්ම ගායනයට පෙර එහි පදරචනය, තනුව හා සංගීතය කාගේදැයි කියා ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීමට නලින් පෙරේරා කටයුතු කිරීම ප්රසංශාත්මකය.මන්ද අද දවසේ එවන් සදාචාරාත්මක දේ ඇසීමට පවා උගහට වීමය.දැන් එවන් ආචාරධර්ම පිරිහුණු යුගයක අප ජීවත්වීමය.
ඉතින් ඉහත කී ගීතත් ප්‍රසංගයේ අනික් හැම ගීතත් මේරියන්ස් සංගීත කණ්ඩායම ඉතා හොඳින් නව සංගීතයෙන් වර්ණ ගන්වල තියෙනව.ගීත කීපයක් පමණක් තෝර ගත්තේ හැම ගීතයක් ගැනම විවරණය කිරීම ප්‍රයෝගික නොවන නිසා.ඒ වගේම මේ ප්‍රසංගය ඉදිරිපත් කිරීම බොහොම ආකර්ෂණීයයි.ප්‍රසංගය පුරාවට කුතුහලය රැකෙන පරිදි ඒකාකාරි නොවන විදියට ප්‍රේක්ෂකයන් ඇඳබැඳ තබා ගන්න නලින් පෙරේරා ප්රමුඛ මේරියන්ස් සමත් වෙනව.ඔවුන් සතු නිසඟ වාද්‍ය හැකියාවන්ගෙන් සී.ටී.ප්‍රනාන්දුගේ ගීත අලංකෘත කරනව.
ඒ වගේම මෙහි එන ඇතැම් ගීතවලට ඔවුන් සතුව අපූරු කතා ටිකක් ඇතුළත්. ප්‍රසන්න රෝසාගෙ මව ඔහු නැළවීමට ගැයූ ගීතය, ජෝ අංකල්ගෙ සින්දුව, ලංකාවේ වැඩිම ප්‍රස්තා පිරුළු සහිත ගීතය, පාර්ලිමේන්තුවේ නිතර ඇසිය යුතු ගීතය, සිංහල අච්චු පොතේ ඇති සින්දුව,සත්තුවත්තෙ සින්දුව, නලීන් පෙරේරා වේදිකාවක පළමුවරට කියූ ගීතය වගේ අපූරු කුහුළින් පිරුණු කතා ටිකක් මේ ගීතවලට බද්ධ වෙලා තියෙනව.ඒ වගේම "ආනේ ඩිංගක්" ගීතයේ තුන්වන අන්තරා (Verse) කොටස ප්‍රථමවතාවට මම ඇහුවෙ මේ ප්‍රසංගයේ.පදරචනය කළ ඩී.සී.ජයසිංහ මහතා ඒ තුන්වන අන්තරා කොටස පළමුවරට ගායනා කරන්නැයි නලින් පෙරේරා කළ ඇරයුම නිසා ප්‍රථම වතාවට මෙරට ශ්රාවකයින්ට ඒ දුලභ අවස්ථාව එදින උදාවීමත් ප්‍රසංගයේ තිබූ විශේෂ අවස්ථාවක්.
ප්‍රසංගය අවසාන වෙනවිට මට දැනුනෙ ජෑස් (Jazz) ලතින්(Latin),සම්බා(Samba),වෝල්ට්ස්(Waltz),රොක් ඇන්ඩ් රෝල්(Rock & Roll) වගේ සංගීත ශෛලීන් හැම එකකම අතරමං උනා වගේ හැඟීමක්.ඒ වගේම මේ තරම් බටහිරට බර සංගීත රටාවන් යොදාගත් ගීත ගොන්නට ක්ලැසිකල් ගිටාර් වාදනයේ සූර බේස් ගිටාර් වාදන ශිල්පී චමින්ද සිල්වාගේ, ක්ලැසිකල් ගිටාර් වාදනයන් ඇතැම් ගීතවලට එක්කරන්න අවකාශයක් ඇතැයි කියන එක මගේ පුද්ගලික හැඟීමක්.ස්පැනිෂ් සංගීත වර්ණයක් ඇතැම් ගීතවලට එකතු කරන්න එයින් පුළුවන්.එහෙම උනානම් සමහර ඒවා තව ටිකක් රහ වෙයි වගේ අදහසක් මම කියන්නෙ.නමුත් ඒක මගේ පුද්ගලික අදහසක් විතරයි.තීරණය මේරියන්ස් සතුයි.
සමස්තයක් විදියට ගත්තම කිසි අඩුපාඩුවක් නොවන විදියට ගීතවල රසය විකෘති නොකර අළුතින් යමක් නවීන ශබ්ද තාක්ෂණයෙන් යුතුව ප්‍රේක්ෂකයාගේ ඇසට,සවනට ලබාදීමට මේරියන්ස් සංගීත කණ්ඩායම සමත්වීම ඇගයිය යුතුමයි.ඒ සඳහා ගීත ගායනය සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමට නිසි අවසර දුන්, වර්තමානයේ සී.ටී.ප්‍රනාන්දුගේ ගීතවල අයිතිය සතු සංගීතවේදී චන්දිමාල් ප්‍රනාන්දුටත් ස්තූතිය හිමිවිය යුතුයි.අවසාන වශයෙන් මේ ප්‍රසංගය ඩීවිඩී තැටියක් වශයෙන් එළිදැක්වීමට කටයුතු කරනවානම් එය සංගීතලෝලින්ට ඉතා වැදගත් වන බවද කිවයුතු වන්නේ නොඑසේනම් මෙතරම් වටිනා ගීත සමුච්චයක් අනාගතයට අහිමිවී යා හැකි බැවිනි.
Photography Courtesy - Jayasanka Fernando
නිර්මාලයා
Nirmal Ranasinghe Bmd.
No comments:
Post a Comment