Featured Post

Friday, April 22, 2016

-සිංහල සිනමාවෙන් සමුගත් තෙවන ඇස.. ඩී.බී.නිහාල්සිංහ -



ආනන්ද විදුහල ඉදිරිපිට විභාග ප්‍රතිඵල බලන්නට පැමිණි කෙසඟ කොලු ගැටයෙකි.ඔහුගේ මුහුණේ ඇත්තේ සතුටකි.හේ එස්.එස්.සී විභාගයෙන් සමත්ය.මේ ආරංචිය ඔහු සිය පියාගේ කණේ තබයි.පියා තම පුතුගේ ජයග්‍රහණය වෙනුවෙන් තෑගි කරන්නෙ මි.මී.16 බොලෙක්ස් වර්ගයේ සිනේ කැමරාවකි.එකී තෙවන ඇස පසුකලෙක ඔහුගේ වෘත්තීය බවට පත්වන්නේ මහා පුදුමාකාර විදියටය.නොඑසේ නම් මෙරට සිටි විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියෙකු වූ ඩී.බී.ධනපාලයන්ට තම පුතුගේ අනාගතය ගැන කල්තියා ඉවක් තිබුණා විය හැක.පුත්‍රයා දියෝන්ගු බඩතුරගේ නිහාල්සිංහ නොහොත් ඩී.බී.නිහාල්සිංහය.

සොබාදහමේ අපූර්වත්වයෙන් අනූන පේරාදෙණිය සරසවියෙන් ආර්ථික විද්‍යා උපාධියක් ලබාගන්නා නිහාල්සිංහයන් සිය පියාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඕස්ට්‍රේලියානු රූපවාහිනි සංස්ථාවේ මෙරට කැමරාකරු ලෙස රැකියාව අරඹයි.පසුකලෙක එනම් 1965 දී ඔහු වියට්නාමයෙ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව යයි.යළි මෙරටට පැමිණෙන ඔහු සත්සමුදුර චිත්‍රපටයේ කැමරාකරු ලෙස සම්බන්ධ වන්නෙ සිය පූර්ව අත්දැකීම්ද ඊට එක් කරමිනි.

නිහාල්සිංහයන් සිනමාවට සම්බන්ධ වූයේ වාර්තා චිත්‍රපට හරහාය.ඔහුගේ මුල්ම සිනමා නිර්මාණය ලෙස සැලකෙන්නේ "නැටුම් පටුන"ය.එය ප්‍රවීණ නැටුම් ශිල්පී ශ්‍රී ජයනා පිළිබඳව චිත්‍රපටයකි.වෘතාන්ත චිත්‍රපට ලෙස නිහාල්සිංහයන් තැනූ "නියද රටා","භක්ති,",නිම්නයක හදවත" යන චිත්‍රපට මූලික තැනක් ගනී.1965 කාඩිෆ් පොදු රාජ්‍ය මණ්ඩලීය චිත්‍රපට උළෙලේදී හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලබන්නේ "භක්ති" චිත්‍රපටයය.වයස අවුරුදු 29 ක් තරම් තරුණ වියේදී හේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ ධූරයට පත් වන හෙතෙම සිංහල සිනමාව කලාවක් හා කර්මාන්තයක් වශයෙන් දියුණු කරවීමට දැඩි ප්‍රයත්නයක යෙදේ.

වැඩිය ප්‍රසිද්ධ නැතත් ජාතික හැඳුනුම්පතේ ජායාරූපයේ සම්මත ප්‍රමාණය සකස් කිරීමේ ව්‍යාපෘතියේ ඔහු ප්‍රධාන නියමුවෙකි.මි.මී. 35 සම්මත මිනුම ඔහුගේ අදහසක් ලෙස ගත් තීරණයකි.

*********************************************

70 දශකයේ මුල් භාගයේදී ගිනිගහන පේදුරු තුඩුව වෙරළේ ඇටවූ කැමරා ආම්පන්න සමූහයකි.දර්ශන තලයේ කැමරා හා තාක්ෂණ ශිල්පීන් ඊළඟ දර්ශනය රූ ගැන්වීමට යුහුව සූදානම් වෙති.

"ඇක්ෂන්"

අධ්‍යක්ෂවරයාගේ විධානයෙන් රූ ගැන්වීම ඇරඹේ.

"චටාස්"

කාරයක් අසල අව් කණ්නාඩියක් පැලඳි යුවතියක් අව්කණ්නාඩිය ගලවා මැදිවියේ පුද්ගලයෙකුට වැරෙන් කන හරහා පහරක් එල්ල කරයි.ඈ ඔහු දෙස රවා බලමින් සිටිනතුර ඔහු එය නිහඬව විඳ දරාගෙන යාන්තමින් සිනාසී සිය කම්මුල අතගායි.

"මං මෙතන සුමානෙකට හෝදන්නෙ නෑ මිසී."
හේ සිය කම්මුල අතගාමින් පවසයි.

තරුණිය වටෙන් වුත් කාරයට නැඟ එය පණ ගන්වයි.මැදිවියේ තැනැත්තා ඇය පසුපස පැමිණ කාරයේ ඉදිරිපස රෝදයේ හුළං යවයි.
තරුණිය අසලට පැමිණෙන ඔහු දොර් අසලට පාත් වී
"හුළං ගියා නේද ?" අසයි.

"අතට වැලි පොඩ්ඩක් අරං වීසි කරපුවම මහා දළකාර හස්තිරාජයොත් පුංචි ළමයි වගේ දනබිම ගහනව.ඒ වගේ මේ පුංචි පොරොප්පෙ ගලවපු ගමන් මේ විසාල යන්තරෙත් හාන්සි.නිලේ බලල ගහනව කියන්නෙ ඔන්න ඕකටනෙ මිසී."

තරුණිය බියෙන් තැති ගෙනය.

"මෙතැන ඉඳන් ටවුන් එකට හරියටම හැතැම්ප තුනහමාරක් තියෙනව.ඒ අතරතුරේ හුළං ගහන්න තැනක් නෑ.මිසී පයින් යන්න..යනකොට හුළං වදී!ගිහිල්ල මතක ඇතුව මහත්තයට කියන්න මං මතක් කළා කියලා.
ගෝරිං මුදලාලි කියන්න."

ඒ නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයය.ගෝරිං මුදලාලි."වැලිකතර" නම් වූ චිත්‍රපටය මෙරට මෙන්ම දකුණු ආසියාවෙන්ම ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටයය.නිහාල්සිංහයන් අදියුරුකම් කළ මෙහි තිර පිටපත තිස්ස අබේසේකරයන්ගෙනි.

නීල් රූපසිංහයන්ගේ "හතර දෙනාම සූරයෝ" 100 වන දිනට පසු දින (71.10.26 දා) මරදාන ගාමිණී හෝල් සිනමාහල තාවකාලිකව වසා දමන ලද්දේ පසුදින තිරගත වීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් තිර චිත්‍රපටය වන "වැලිකතර" වෙනුවෙන් සිනමාහල් තිරය ගලවා දමා අති විශාල පුළුල් තිරයක් සවි කිරීමටය.එය සම්පූර්ණයෙන්ම සිදුවූයේ නිහාල්සිංහයන්ගේ තාක්ෂණික උපදෙස් හා විධානයෙනි.

" වැලිකතර, අධ්‍යක්ෂවරයෙක් ලෙස මගේ සිනමා දිවියේ එක්තරා සන්ධිස්ථානයක්.එය මට වගේම ඒ චිත්‍රපටයේ කටයුතු කළ අනික් අයටත් සුවිශේෂී වුණා.තිස්ස අබේසේකරගේ පළමු තිර පිටපත.එතෙක් කොමඩි නළුවෙකු ලෙස රඟපෑ ජෝ අබේවික්‍රම ඇඟට දැනෙන වෙනස්ම රංගනයක් කළේ මේ චිත්‍රපටයේදී.මේ චරිතය ජෝට මම දුන්නම ජෝ මේක රඟපාන්න මුලින් අදිමද කළා.නමුත් ඔහු මගේ අභියෝගය භාර අරං ගෝරිං මුදලාලිගේ චරිතෙට උපරිම සාධාරණය ඉටු කළා.ජෝ ගාමිණී සුසංයෝගය මේ චිත්‍රපටයේ හොඳින් කැපී පෙනුනා." පසු කලෙක සිය නිර්මාණය ගැන නිහාල්සිංහයන් සිය අදහස් පළ කලේ එසේය.

1999 වසරේ ජනාධිපති සම්මානයෙන් පුද ලද "වැලිකතර" චිත්‍රපටය මෙරට එතෙක් මෙතෙක් පහළ වූ හොඳම චිත්‍රපට දහයට ඇතුළත්ය.

ඔහුගේ අනෙක් සිනමා කෘතීන් වන මල්දෙණියේ සිමියොන්හි රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය ලෙස අනෝජා වීරසිංහ සම්මාන ලබන්නේ එකොළොස්වන දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීය." කෙළිමඬල" සරසවි සම්මාන 12කින් පිදුම් ලැබූ අතර "රිදී නිම්නය" සනත් ගුණතිලකයන්ගේ සිනමා දිවියේ සන්ධිස්ථානයකි.දකුණු ආසියාවේ පළමු රූපවාහිනි නාට්‍යය වූ දිමුතු මුතු ටෙලි නාට්‍යය නිහාල්සිංහයන්ගේ අධ්‍යක්ෂණයකි.
1972 සිට 1978 කාලය තුළදී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කල අතර 72 දී මිලියන 30 ක් වූ මෙරට ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 74 දක්වා ඉහළ නැග්ගේ නිහාල්සිංහයන්ගේ දස්කම් හේතුවෙනි.

පසුකලෙක රූපවාහිනියේ ආගමනය මත සිනමා කර්මාන්තයේ බිඳ වැටීම සිදුවූ බව කියන මතය හේ තරයේ ප්‍රතික්ෂේප කළේ එය අතාර්කික බව කියමිනි.සිනමා ඇකඩමියක් හා රූපවාහිනි පුහුණු ඇකඩමියක අවශ්‍යතාව හේ තදින් අවධාරණය කළේය.

1995 හෙතෙම මලයාසියාවේ ඇස්ට්‍රෝ ආයතනයේ චිත්‍රපට හා රූපවාහිනි නිෂ්පාදන අංශයේ සාමාන්‍යාධිකාරී ලෙස පත්වන අතර 2003 වසරේදී එහි චිත්‍රපට නිෂ්පාදන අංශයේ විධායක අධ්‍යක්ෂ ලෙස පත්විය.සිය ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධිය හෙතෙම ලබාගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෝවිච් විශ්වවිද්‍යාලයෙනි.ඒ "ලාංකීය චිත්‍රපට සංවර්ධනය හා බිඳ වැටීම" නම් ගවේෂණාත්මක නිබන්ධනයටය.

සිනමාවට කළ මෙහෙවර වෙනුවෙන්"කලාකීර්ති" සම්මානයෙන් පුද ලද එතුමන් එක්සත් ජනපදයේ චිත්‍රපට හා රූපවාහිනි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ යාවජීව සම්මානනීය සාමාජිකත්වයෙන් පිදුම් ලැබූවේය.එකී සංගමය 1915 නිවයෝර්ක් නුවර ඇරඹි පැරණිම සිනමා හා රූපවාහිනි සංගමයකි.නිහාල්සිංහයන් එකී සාමජිකත්වයෙන් පුද ලද එකම ශ්‍රී ලාංකිකයා මෙන්ම එකම දකුණු ආසියාතිකයාය.

කැමරාවෙන් ඉදිරියේමෙන්ම කැමරාවෙන් පසුපසද ඔහුහේ ගුරුහුරුකමින් බිහිකළ නමගිය නළු නිලියන්,කැමරාකරුවන්,වේෂ නිරූපණ ශිල්පීන්,තාක්ෂණික ශිල්පීන් බොහෝමයකි.ලෝක සිනමාවට අනුරූපිව මෙරට සිනමාවත් යාවත්කාලීන විය යුතු බව තරයේ ඇදහූ නිහාල්සිංහයන් 77 වන වියේදී දිවිරඟ මඬලින් සමුගන්නා විට චිත්‍රපට කැමරාකරුවෙක්,චිත්‍රපට අදියුරෙක්,රූපවාහිනී අදියුරෙක්,සංස්කරණ ශිල්පියෙක්,අර්ථප්තියෙක්,ගුරුවරයෙක්,පරිපාලන නිලධාරියෙක් යනාදී වශයෙන් විසල් වපසරියක චරිත ගණනාවක් රඟ දක්වා තිබුණි.ඩී.බී.නිහාල්සිංහයනි ඔබට නිවන් සුව.

-නිරා-
නිර්මාල් රණසිංහ
Nirmal Ranasinghe Bmd
23.04.2016

Wednesday, April 20, 2016

- කරු අයියා නොහොත් කරුණාරත්න අබේසේකර



බ්‍රිල් ක්‍රීම් ගා හොඳින් පස්සට පීරු කලුවන් කෙස්වැටිය දිස්නය දෙයි.එකළ ඉතා ජනප්‍රිය මෝස්තරයක්ව තිබූ ගිනි කූරු කට් එකට කැපූ උඩු රැවුළකින් යුතු හේ බුෂ් ෂර්ට් එකක් ජැන්ඩියට හැඳ තමා ඉදිරියේ වූ පැඟිරි නිවේදකයාට උපදෙසක් දෙයි.

" තමුසෙ සින්දු කියන්නෙත් නෑනෙ.සතියකට අඩුගානේ පිටපතක් අරගෙන කියවන්න පුරුදු වෙනවා."

එසේ කියූ ඔහු මුද්දරේ ගැන ලියපු ලමා පිටියට ආ ලියමනක් පැඟිරා අත තබයි.ඔහු එය රටටම ඇසෙන්න කියවයි.

" මට හරි ආඩම්බරයි.කාර්යාලයෙන් එළියට බැහැලා යනකොට මං බැලුවා කාර්‍යාල භූමියේ හිටවල තියෙන ඒරියල් කණුව දිහා.මට හිතුණා මගේ කටහඬ මේකෙන් මුළු රටටම ගියා නේද කියල.මං හරි සන්තෝසෙන් එදා ගෙදර ගියා.එදා තමයි මගේ කළා ජීවිතේ ආරම්භ වුණු මුල්ම දවස." පසු කළෙක මෙසේ කියමින් අතීතකාමී වූයේ මෙරටින් බිහිවූ විශිෂ්ට නිවේදකයෙකු,ගීතරචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ය.එදා ඔහුට ඉහත කී ලෙස උපදෙස් දුන්නේ කරු අයියා නොහොත් කරුණාරත්න අබේසෙකරයන්ය.හේ ප්‍රේමකීර්තියන්ගේ ගුවන් විදුලි මාධ්‍යයේ මුල් ගුරුය.කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලිය හරහා මෙරට කලාවට රෝපණය කළ චරිත බොහෝමෙකි.අජන්තා රණසිංහ,සුනිල් සරත් පෙරේරා,නන්දා මාලිනී,චන්ද්‍රානි ගුණවර්ධන හා මල්කාන්ති නන්දසිරි ඉන් කීපපොලකි.ළමාපිටිය ඊට කදිම තෝතැන්නක් වීය.

එකළ අද මෙන් පඳුරකට පයින් ගැසූ පමාවෙන් ගුවනට එක්වුණු එෆ්.එම් නාළිකා මෙරට තිබුණේ නැත.ගුවන්විදුලිය නැත්නම් සිලෝන් රේඩියෝවට එහි ඒකාධිපතිත්වය උරුමව තිබූ අතර එනිසාවෙන්ම නිවේදකයන්,ගායකයන්,ගීත රචකයන් ඇතුලු කලා අංකුර රැසකට එයැම තිඹිරිගෙය විය.

මේ සටහනේ කතා නායක කරුණාරත්න අබේසෙකරයන් ගුවන්විදුලියට බැඳෙන්නේ 1950 දීය.ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයක් වූ 1960 ,70 දශකවල කරු අයියා ගුවන්විදුලියට නැතිවම බැරි නිවේදකයෙක්,වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක් බවට පත්ව තිබිණි.

කවුරුත් එතරම් නොදනිතත් සිංහල බසින් ක්‍රිකට් විස්තර විචාරයක් මුලින්ම ඉදිරිපත් කළ නිවේදකයාද ඔහුය.එංගලන්තය,ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟින් ලංකාව සහභාගි වූ තරඟ ඒ අතර විය.ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන පාලිත පෙරේරා විසින් රචිත අමරණීය ක්‍රිකට් අන්දර නම් පොතේ පෙරවදනේ මෙසේ සඳහනකි.

"2011 ලෝක කුසලාන තරඟාවලියට මාස දෙකක් පමණ තිබියදී දිලීප අබේසේකර පුතණුවන් මා අමතා ' ක්‍රිකට් අපේ කරගත් හැටි' මැයෙන් ගුවන්විදුලි කතා පෙළක් ලියන ලෙස ඇරියුම් කර සිටියේය.දිලීප මගේ ගුවන්විදුලි ගුරු දේවයාණන් වූ දිවංගත කරුණාරත්න අබේසේකරයන්ගේ එකම පුතණුවන්ය."
අරුමෙකි.පාලිත පෙරේරා ද කරු අයියාගෙ ගෝලයෙකි.

ක්ලැරන්ස්ගේ පළමු ඒකල ගීතය ලෙස සැලකෙන "දිලීප පොඩි පුතු" ගීතය අබේසේකරයන් ලීවේ ඉහතින් කී සිය එකම පුතු දිලීප වෙනුවෙනි.නිවේදකයෙකු හැරුණු විට හේ ගීත රචකයෙකු විය.නිකම් නොව අසහාය අග්‍රගණ්‍ය ගේයපද රචකයෙක් විය.ඒවා බොහෝ අගනා සාහිත්‍ය වදන්වලින් සමන්විත විය.බෙහෙවින් මටසිලිටි විය.
ඔහු ලිවූ ප්‍රථම ගීතය ගැන සඳහනක් නැතත් ප්‍රථමයෙන් පටිගත කරන ලද ගීත වශයෙන් සැලකෙනුයේ නළුවෙකු හා ගායකයෙකු වූ රවීන්ද්‍ර රූපසේන ගැයූ සකුන්තලා නම් ගීයකි.

අනතුරුව එච්.ආර් ජෝතිපාල,මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා,සුජාතා අත්තනායක,එම්.එස්.,නිහාල් ජයවර්ධන ,අබේවර්ධන බාලසූරිය සහ තවත් ගායක ගායිකා ගොන්නකගේ ගේයපද වෙනුවෙන් ඔහු තම පන්හිඳ මෙහයවා තිබුණි.

ඔබ නිදන්න,දුරකථනයකින්,පෙම් අප්සරවෝ,කියන්න කවුද ඔබ කියා,සුරැකීමට හෝ,වළාකුළක් පළා අම්බරේ,මධුර යාමේ,සුළඟේ පාවී,ඈත එපිට දුර ආකාසේ,සංසාර සෙවනැල්ල,මා නෙත් කැදැල්ලේ,මධුමල,ගමනේ ගිම්,නෙළුම් මලේ පෙති කඩලා,මල් යහනාවකි ලෝකෙ,සැතපෙන කළ විඳ,ආදරේ මන්දිරේ,පුතුනේ මේ අහගන්න,මගෙ දෑසම පියවී යන්නේ වැනි ගීත ඔහුගේ පන්හිඳ සතුය.

දැන් මේ සටහන කියවන විට මේකත් එයාද? මේකත් එයාගෙද ? ආනේ මේකත් එයාගෙනෙ..සිතමින් කියවන්නා සිය දෙබැම ඉහළ තබාගෙන නළල රැළි ගන්වාගෙන සිටින බව මට ස්ථිරය.

තවද මෙහි දක්නට ලැබෙන විශේෂ ලකුණක් වූයේ බොහෝ ගායක ගායිකාවන්ගේ පළමු ගීතය කරුණාරත්න අබේසේකරයන් අතින් ලියැවීමය.

මිල්ටන්ගේ ඔරුවක පාවෙන,අබේවර්ධන බාලසූරියගේ කවුරුදෝ කවුරුදෝ ,නිහාල් ජයවර්ධන ගැයූ රොනට ඇදෙන සමනළිය මීට උදාහරණයන්ය.

සැබවින්ම ඒ ගීපද සාහිත්‍ය රසයෙන් අනූනය.කරු අයියාහෙ ගුරු සිරි අයියා ඔහුට එතරම් හොඳින් සාහිත්‍ය තෙල බෙදා තිබුණි.නිකමට අහල බලන්න.

"රුසිරු කොමළ රුව රසඳුන් උළයි මගෙ නෙතේ..ඉසුරුමුණියෙ පෙම් යුවළද කියා මට සිතේ."

"මගෙ දෑසම පියවී යන්නේ..ඔබෙ රූපයමයි දිස් වන්නේ.."

"සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා..ගෘංගාර රස දෙන්න කලතා පෙරාලා.."

"අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ..පුරවා දිය හැකි ඔබටයි.."

මෙවන් වදන් අබේසේකරයන්ගේ පන්හිඳට කොහෙන් ගලා ආවේදැයි විටෙක මට ඇතිවන්නෙ විමතියකි.පුදුමාකාර වදන් ඇමිණීමකි.ලාලිත්‍යයෙන් අනූනය.

තවද චිත්‍රපට සඳහා ලියූ ගීතද බොහෝමෙකි.1974 තිරගත වූ සැණකෙළිය චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි හා ඉන්ද්‍රානි ගයන පැට්‍රික් දෙනිපිටියන් සංගීතවත් කළ 'සමනළ රෑනක් සේ' ගීය,1978 තිරගත කළ ශ්‍රී පතුල චිත්‍රපටයේ එම්.කේ රොක්සාමි සංගීතය සැපයූ 'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ' ගීතය උදාහරණ අල්පයක් පමණි.තවත් උදාහරණ ඇතත් එය සටහන් කළ නොහැක්කේ අබේසේකරයන් ගීත 2000 කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති බැවිනි.ඉතින් තව කවර කතාද.?එය වාර්තාවකි.

1930 මාතර දී උපත ලබා නාලන්දාවෙන් සිප්සතර හදාරා මෙරට කලාවට බොහෝ දේ දායාද කර 53 වසරක් ආයුෂ ලැබූ කරු අයියා නොහොත් කරුණාරත්න අබේසේකරයන් 1983 අප්‍රේල් විසිවනදා දැයෙන් සමුගත්තේය.

" යන නොසිතු වෙලාවක වියැකී..
ජීවය තණ අඟ පිණි බිඳකී.."

මේ සටහන මා ආරම්භ කලේ ගුරා සහ ගෝලයා සම්බන්ධ සිදුවීමකි.අවසාන කරන්න යන මොහොතේ තවත් එවන් සිදුවීමක් මට සිහියට නැඟේ.

සිය අග්‍රගණ්‍ය ගුරාට ප්‍රේමකීර්ති මහත් සේ ආදරය කළේය.ගරු කළේය.කරුණාරත්න අබේසෙකරයන් එවකට විසුවේ පුංචි බොරැල්ලේ සැලැස්කි පෙදෙසේය.ඔහුගේ ගෘහයේ නම "සීගිරි"ය.දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ සංකල්පයක් වූ ගම්උදාවේ නිවේදන කටයුතු සිදු කළේ ප්‍රේමකීර්ති අල්විස් අතිනි.වරක් ගම් උදා උළෙලක් නිමා වී තරමක ප්‍රීති ප්‍රමෝදයෙන් සිටි ජනපති රණසිංහ ප්‍රේමදාසයන් ප්‍රේමකීර්ති මෙසේ විමසීය.

"ප්‍රේමකීර්ති තමුන් හැමදාම මගේ උත්සවවල නිවේදන කටයුතු කරනවනෙ.තමුන්ට මගෙන් මොනවහරි දෙයක් සිද්ධවෙන්න තියෙනවද?"

"සර් මගේ ගුරුතුමා තමයි කරුණාරත්න අබේසේකර මහත්මයා.එතුමා පදිංචි වෙලා හිටියේ පුංචි බොරැල්ලේ සැලැස්කි පෙදෙසේ.ඒ පෙදෙස කරුණාරත්න අබේසේකර පෙදෙස කියලා නම් කරලා දුන්නොත් ඒක මට කරන ලොකු උපකාරයක්." ඒ ප්‍රේමකීර්තිගේ එකම ඉල්ලීමය.

අද කාලෙ මෙවැනි දෙයක් දේසපාලකයෙකු කාට හෝ කිව්වේ නම් ඉල්ලන්නේ මොනවාද ලබාගන්න තනන ප්‍රතිලාභ කවරේද කියා මා ඔබට නොකිවමනාය.!
එසැණින් ක්‍රියාත්මක වූ එතුමන් වගකිව යුතු තැන්වලට දන්වා ප්‍රේමකීර්තිගේ ඉල්ලීම ඉටු කරලීය.එවන් වූ උපහාරයක් දක්වන්නට තරම් කරු අයියාගේ ගෝල රත්නය සංවේදීය.භක්තිමත්ය.කරු අයියා වන් විසල් රුකක් යට වැඩෙන්න තරම් එකී ගෝල පිරිසද වාසනාවන්තය.නමුත් වත්මනේ එවැනි ගුරුගෝල සබඳකමක් දැකීමද දුර්ලභය.උගහටය.

වසර 53 ක තරම් කාලයක් තුළදී කරුඅයියා නිවේදකයෙකු,වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු,ගීත රචක,දෙබස් රචක,කිවියර,කතුවර යනාදී පුළුල් වපසරියක ඔහුගේ නිර්මාණශීලි හැකියාව වපුරා තිබිණි.එයින් ලත් අස්වැන්නෙන් මෙරට කලාකෙත තවමත් ප්‍රතිලාභ ලබයි.ඉදිරියෙදිත් ලබයි.පුරන් නොවෙයි.

අදටත් අඩුම තරමේ දවසකට එක වතාවක්වත් ඔහු ලියූ ගීයක් ගුවනින් රැව් දීම නිත්‍යයකි.එය ඉදිරියටත් එසේමය.ඒවා එතරම් රසවත්ය.අරුත්බරය.කනට මී බිඳු වක්කරන්නාක් වැනිය.

මේ අසහාය කලාකරුවා අපෙන් සමුගෙන අදට හරියටම තිස්තුන් වසරකි.මේ හුදෙක් ඒ වෙනුවෙන් තැබූ උපහාර අකුරු ඇමුණුමකි.

මූලාශ්‍ර -
 "සසර සැරි සරන තෙක්-ප්‍රේමකීර්ති යළි කියවමු" ග්‍රන්ථය - ගීතනාත් කුඩලිගම
"අමරණීය ක්‍රිකට් අන්දර" ග්‍රන්ථය - පාලිත පෙරේරා
දිලීප අබේසේකර පුත්‍ර තෙම
අන්තර්ජාලය

Tuesday, April 19, 2016

- මිල්ටන් පැට්‍රික් හා ක්ලැරන්ස් -" මිල්ටන්ගේ ගීතවලට පැට්‍රික් දෙනිපිටියගේ හා ක්ලැරන්ස් ගේ බටහිර සංගීතයේ භාවිතාව "


එකළ ඔහු ලා සිලනියන්ස් කණ්ඩායමේ නියාමක ගායකයාය.තනි ගායකයෙකු ලෙස ඔහු කළ එළි බහින්නේ 1969 වසරේය.ඒ කරුණාරත්න අබේසේකරයන් ලියා මොහොමඩ් සාලි සංගීතවත් කළ "ඔරුවක පාවෙන" ගීතය ගායනා කරමිනි.ඔහු මිල්ටන් මල්ලවාරච්චිය.

වතාවක් ජිප්සීස් සුනිලුන් ප්‍රසංගයකදී පැවසුවේ මිල්ටන් ගීත ගායනා කරන විට වේදිකාව අද්දර සිටි තරුණියන් සිහිසුන්ව වැටුන බවය.එය දුටු තමාද එකළ රැල්ලට යමින් විරහ ගීත කීපයක් නිර්මාණය කළ බවත් නමුත් මිල්ටන්ගේ ගීත තරම් ඒවා හිට් නොවුන බවත්ය."ඔබ දුටු ඒ මුල්දිනේ" එවන් ගීයකි.

මිල්ටන් තරම් විරහව ගැන ගැයූ ගායකයෙක් ලංකාවේ තවත් නැත.ඔහුගේ ගීවලින් විරහව සෑහෙන මාකට් විය.ඔහු විරහවේ අයිකනයකි.ඊටම සැදී පැහැදී උල්පත්වලින් වතුර ගලන්නා සේ සිය පන්හිඳ විරහව වෙනුවෙන් මෙහෙය වූ ගේය පද රචකයන්ද එකළ සිටියහ.කරුණාරත්න අබේසේකර,ප්‍රේමකීර්ති ද අල්විස්,කේ.ඩී.කේ ධර්මවර්ධන,අජන්තා රණසිංහ ඉන් කීපයකි.ඔහුගේ ගී වැඩිමනක් සංගීතවත් කල අය අතර වික්ටර් රත්නායක,පැට්‍රික් දෙනිපිටිය හා ක්ලැරන්ස් විජේවර්ධන වෙති.

මෙයින් පැට්‍රික් දෙනිපිටිය සහ ක්ලැරන්ස් සංගීතය සැපයූ බොහෝ ගීත බටහිර සංගීතයට බරය.

කෙසේ කියන්නද,මට මෙන් ඔහුටද ,අවසර නැත මට,තනිවී සිටින්නයි,එදා රෑ,සිහිනෙන් ඔබ මට වැනි ගීවල සංගීතය ක්ලැරන්ස්ගෙනි.මේ ගීතවල සංඝාත (Chords) බොහෝ සරලය.බොහොමයක් ඒවා අදාළ ගීතය වාදනය වන ස්වර පරාසයේ(Pitch ) ඇති මූලිකම සංඝාතයන්ය. (Three Changes) අතිරේක සංඝාතයන් ( Added Chords) වෙතොත් D7th , A7th වැනි Seventh වර්ගයට අයත් සංඝාතයන්ය.Augmented ,Diminished ,Sustain වැනි සංඝාත බොහෝ විරලය.නමුත් සංගීතය බෙහෙවින් අලංකාරය.තනුද ඒ වාගේම මධුර මනෝහරය.රිදම් ගිටාරය වයන ආකාරයටම බේස් ගිටාරය වයන්නේ නැත.අදාළ සංගීත භාණ්ඩ වාදනයට ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රස්තාර සටහන්ය.(Notation)හොඳින් කන් යොමා ඇසුවොත් එය වඩා පැහැදිලි වේ.

එහි බටහිර ඔකේස්ට්‍රාවකට අනන්‍ය වූ ලක්ෂණ ඇතැයි කිව හැක.ගීතයේ හැගීම් බොහෝ තීව්‍ර වන අවස්ථාවන්වලදී සංගීත ඛණ්ඩ යොදා ඇති ආකාරය විස්මය දනවයි.
උදාහරණයක් විදියට "සිහිනෙන් ඔබ මට" ගීතයේ තනියට ළඟ ඉන්නම්..නැතිනම් තනි වෙන්නම්..යන කොටසේදී ට්‍රම්පට්( Trumpet),ට්‍රොම්බූන් (Trombune) වැනි සංගීත භාණ්ඩ යොදා ඒ හැඟීම තවත් තීව්‍ර කර ඇත.කෙසේ කියන්නද කියන ගීතයේ බේස් (Bass) ගිටාර් කොටස පමණක් වෙනම අවධානය යොමු කර අසා බලන්න.එය සුවිශේෂීය.

පැට්‍රික් දෙනිපිටියගේ සංගීත භාවිතාවටද බටහිර බොහෝ දේ ඇතුළත්ය.නමුත් එය මිල්ටන්ට ගැලපෙන ආකරයෙන් කිරිමට ඔහු වග බලාගෙන ඇත.

"මා හා එදා ප්‍රිය සාදයේ" යන ගීතයේ තාලය (Beat) බටහිර ආලිංගන (Ballroom ) නැටුම්වලදී යොදාගැනෙන Jive නම් තාලයට සමානය.මෙය 1930 දී පමණ ඇෆ්‍රිකන් ඇමෙරිකානු හඳුන්වා දීමකි.එල්විස් ප්‍රෙස්ලි ගයන Julie නම් ගීතයේ තාලයද මෙවැනිමය.ගීතයෙන් කියවෙන්නේ ප්‍රිය සාදයක නැටුමකදී හමුවූ තරුණියක් ගැනය.නැටුමකට ගැලපෙනම තාලයක් දෙනිපිටියයන් විසින් මෙහිදී යොදාගැනීමෙන්ම එකළ 70, 80 දශකයන්වල්දී මෙරට සංගීතය තිබුණේ කොතැනදීද යන්න සනාත කෙරේ.තවද මෙයට ආරම්භක සංගීත කණ්ඩයේදීම සැක්සෆෝනය භාවිතා කිරීමෙන් ගීතයට ජෑස් සංගීතයේ (Jazz Colour )වර්ණය ආලේප කර ඇත.සැක්සසෝනය ජෑස් සංගීතයේ බහුලව භාවිතාවන සංගීත භාණ්ඩයකි.(Brass Instrument ) එය විරහව,ශෝකය,ආලිංගනය,රෝමාන්තික බව,ලිංඟිකත්වය වැනි ඕනෑම හැඟීමක් උද්දීපනය වන අයුරින් යොදාගත හැකි සංගීත භාණ්ඩයකි.

මේ දෙදෙනාම මිල්ටන් මල්ලවාරච්චිගේ ගිතවලට සංගීතය සැපයීමේදී ශුෂිර සංගීත භාණ්ඩ (පිඹීමෙන් ශබ්දය උපදවන - Blowing Instrument) බෙහෙවින්ම යොදාගෙන ඇත.
එය ඔවුන් දෙදෙනාගේම මා මෙහිදී දුටු පොදු ලකුණකි.ඉස්සර ස්වාධීන රූපවාහිනියේ මිල්ටන්ගේ ගීත ගායනා පෙන්වන කළ ඒ සඳහා Trumpet ,Trumpet,Saxophone (Small Brass Section)වැනි සංගීත භාණ්ඩ වාදනය කරන කීපපළක්ම සිටියා මට තවමත් මතකය.තවද "මා නිසා ඔබ,සයුරු තෙරේදී," වැනි දෙනිපිටියයන් සංගීතය සැපයූ ගීතවල මේ ලක්ෂ ණ දක්නට ලැබේ.මටනම් අදටත් ඒ සංගීත ඛණ්ඩ අසද්දී ඇඟ කිලිපොලා යන ගතියක් ඇත.අහලම බලන්න.

දෙදෙනාම යොදා ගත හැකි උපරිම සංගීත භාණ්ඩ ප්‍රමාණය යොදාගෙන ඇත.නමුත් එය අච්චාරුවක් කරගෙනද නැත.හරියට අඳාල තැනට ගීතයට ගැලපෙන අයුරින් ශබ්ද රසයට හානියක් නොවන අයුරින් යොදාගෙන ඇත.අඩුත් නැති වැඩිත් නැති සංගීතයකි.අදනම් කරන්නේ අඩුම වියදමකින් වැඩිම කන්දොස්කිරියාවක් දෙන කනකට ගන්න බැරි ගීතයක් නිර්මාණය කිරීමය.!ඒවා සියල්ල බජට්ය.කොස්ට් එක අඩුය.ඉතින් කොහෙද ගුණාත්මක බවක්.?

තවද දෙදෙනාම බේස් ගිටාර් වාදනයටද ප්‍රමුඛත්වයක් ලබා දී ඇත.ඇතැම් බේස් වාදන තනිකරම ගීතය අමතක කර දමා වුවද අසා සිටිය හැකි වාදනයකි.අදනම් කරන්නේ බේස් ගිටාරයක් අනිවාර්යයෙන් වාදනය කිරීමට උවමනා නිසා කරන වාදනයකි.ඒවායේ Finger Techniques නැත.කරන්නේ ඔහේ අදාළ Chord එක අල්ලා සිටීමක් පමණි.1930 දී ඉලෙක්ට්‍රික් බේස් ගිටාරයක් ලොවට හඳුන්වා දුන්නේ ඔය දේ කරන්නට නොව.

හොඳම උදාහරණය ලෙස මට කිව හැක්කේ පැට්‍රික් දෙනිපිටිය සංගීතය සැපයූ "ඉවුරු තලා" ගීතයය.මේ සටහන ලිවීමට ප්‍රස්තූතයක් වූයේද එයමය.ඒ ගීතයේ බේස් ගිටාරය වාදනය අහල බලන්න.එහි වාදකයා කවුදැයි නම් මා දන්නේ නැත.තවමත් සොයමි.හැකිනම් සොයා දන්වන්න.

සැබවින්ම එය විස්මිත වාදනයකි.එය Funk Groove නම් Style එකට වාදනය වන්නකි.මෙම වාදන රටා Jazz හා Funk ගීතවලදී බොහෝ විට වාදනය වන බව මට කීවේ තරුණ දක්ෂ බේස් ගිටාර් වාදකයෙකු වන මා මිත්‍ර ශශික සොයුරාය.ඇත්තටම එවැනි බේස් ගිටාර් වාදනයක් අද තව වෙනතුරු මෙරටින් බිහිවූ කිසිම ගීතයකට යොදාගෙන නොමැති බව නම් මට ඉඳුරාම විශ්වාසය.වෙන කිසිම ගීතයක අසාද නැත.ඉදිරියේදිවත් එහෙම වේවිදැයි ඇත්තේ සැකයකි. Hammond Organ ය මඟින්ද මෙහි සංගීතයට ලබාදෙන්නේ අති අලංකාරයකි.පුදුමය නම් අදින් අවුරුදු විස්සකට තිහකට එහා අදමෙන් දියුණු නොවූ යුගයක මෙවැනි සංගීත නාදරටා යොදාගැනීමය.

මොනතරම් විරහව ගැන ගීත ගැයුවත් මිල්ටන් හොටු පෙරෙන ගායකයෙක් වූයේ නැත.විරහව ද්වේශ සහගතව යොදාගත්තේද නැත.ඔහුට ගී ලියූ ගේය පද රචකයන්ද සංගීතය නිර්මාණය කළ සංගීතවේදීන්ද ඒ සඳහා යොදා ගත්තේ උපේක්ෂාවෙන් විඳ දරාගත් ආකාරයකි.විරහව තවත් කුළුගැන්වීමක් එහි නැත.

නිකමට මෙන්න මේව අහල බලන්න."සිතුවිලි මගේ හසුරා ගත හැක නමා..මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා." (තනිවී සිටින්නයි ගීය) සැක්සෆෝනය මොනතරම් අපූරුවට වාදනය වනවාද.

"වාසනාවන් ඒ සැදෑවක..මා ඇවිත් යනවා."(මා නිසා ඔබ ගීය.ගිටාර් වාදන ඛණ්ඩයෙන් මේ හැඟීම තීව්‍ර කර ඇත.

අද විරහ ගීත ගයන අය කරන්නේ නාහෙන් ඇඬීමකි.හොටු පෙරයි.කඳුළු පෙරයි.වීඩියෝවක් බැලුවද දැනෙන්නේ අප්පිරියාවකි.ද්වේශය වපුරයි.මිල්ටන් මල්ලවාරච්චි කවදාවත් ඒ ලෙවල් එකට බැස්සේ නැත.බටහිර සංගීතය ඔහුගේ ගීවලට ගැලපෙන ආකාරයෙන් සුමියුරු තනු යොදා සංගීතය නිර්මාණය කළ පැට්‍රික් දෙනිපිටිය හා ක්ලැරන්ස් විජේවර්ධනයන්ද ඔහුට කලේ සාධාරණත්වයකි.මගේ අවංක ප්‍රණාමය.ඔවුන්ගේ නිර්මාණවලින් අපට ගන්න බොහෝ දේ ඇත.ඒවා එතරම් විශිෂ්ට නිර්මාණය.අදටත් සාදයකදී,විනෝද ගමනකදී මේ ගීත අනිවාර්යයෙන් ගායනා කරන ගීත වන්නේ එබැවිනි.අදටත් මේ ගීත ගායනා කරමින් දිවි ගැටගහගන්න හදන බස් එකට නඟින විරිදුකරුවාගෙ සිට හෝටලයේ සංගීත සපයන සංගීත කණ්සායමේ අය දක්වා වන සියලු කලාකරුවන් ඉහත නිර්මාණකරුවන්ට සදහටම ණයගැතිය.මේ නිර්මාණකරුවන් රැකියා බැංකු වැනිය!.කැමැත්තෙන් කිව්වා හෝ නොකිව්වා අදටත් ජනතාව මේ ගීත ගැයීමට ඉල්ලීම් කරයි.හේතුව හොඳ රහක් තිබීමය.

මේ ටික කියවල යම්දෙයක් තේරුම් උනානම් අප රටේ එදා සහ අද සංගීතය තිබුණේ කොහේද යන්න තේරුම් යනු ඇත.වත්මනේ සිදුවන්නේ එය තවත් වළපල්ලටම යාමකි.උඩුගං බලා පිහිනන අයද ඇත.එහෙත් වැල යන අතට මැස්ස ගහන අය වැඩිය.

ඉතින් තව අවුරුදු සීයක් නොව දෙසීයක් ගියත් මේ නිර්මාණ අප්පිරියාවක් නැතුව ඇසිය හැක.එතරම් ඒ නිර්මාණ සඳහටම වලංගුය.

-නිරා-
Nirmal Ranasinghe Bmd
09.04.2016

Monday, April 18, 2016

- අවුරුදු රියැලිටිය -



එරබදු මල් පිපිලා නැත රතට රතින්
කොවුලෙක් හඬ තලයි Fm ගුවන මතින්
දුරුතු නවම් මැදින් මාස ගෙවිල ගිහින්
බක් මාසේ අවුරුදු ලංවෙලා සැණින්

කැඩුමට මකුළුදැල් readymade කොස්ස ඇත
රිටකට බඳින්නට කොළාතු ඕන නැත
ටයිල් පොළව මොප් කරන්න සිදුව ඇත
ගොම පිරියම් කරන්න උවමනා නැත

අතිරස මුංකැවුම් අළුවා අසීරුය
වළලු ලූ අතක් සෙවීම උගහටය
තෙල් වළඳක් ලිප තියන්නෙ ඉඳහිටය
ලේසි නිසා කොකිස් ටිකක් බදින්ටය

ඕනම රෙසිපියක් හදා ගන්න අපට හැක
මේවයෙ පදම අපි හරියට දන්නෙ නැත
කැවිලි පෙවිලි හදාගන්න වෙලා නැත
ෂොපිං යන්න ඕනතරම් වෙලා ඇත

තාක්ෂණය සමඟින් දැන් දියුණු වෙමින්
විසිල් අහස් කූරුත් යයි ගුවන මතින්
රතිඤ්ඤා හඬ දසත ඇසෙයි හරි සද්දෙන්
ඇඩ්‍රස් අහිමි බල්ලන් එයි ඇඳන් යටින්

පඩිපත festival එක ගෑවෙන්නත් මදිය
කණකර අබරණ රන් ටික බැංකුවෙය
ෂොපිං යන්න කොතරම් තිබ්බත් මදිය
නෑගම් යන්නෙ අතමාරුත් අරගෙනය

පන්සල් යන්නට වෙලාව දැන් නොමැත
සිරිත් විරිත් කිසිම එකෙක් දන්නෙ නැත
නොනගතයට Sms කොටනු ඇත
කිරි ටික උතුරන්නෙ ගෑස් ලිපක් මත

කඩෙන් ගත් කැවිලි මේසෙට තියාගෙන
ගෑස් ලිපේ කිරිටික උතුරුවාගෙන
ඇට්ට කුණා කිරිබතකුත් උයාගෙන
කමු කිරිබත් ලුණුමිරිසක් තලාගෙන

නැකැත් බලන්නෙ ටීවී එක දමලා
අවුරුදු සිරි හැම චැනලෙම ඇත දමලා
අවුරුදු උත්සව දැන් ඇත වැහි වැහැලා
පරණ පුරුදු සෙල්ලම් ටික ඇත රැකිලා

අවුරුද්දත් දැන්නම් මාර්කට් වීලා
ඕන දෙයක් විකුණා ගතහැකි වීලා
ගොඩ යන්නට ඕන දෙයක් විකුණාලා
කල දුටුකල වළ ඉහිනට සිත්වීලා

අවුරුද්දට එක සැරයයි මෙය එන්නේ
ඒ නිසාම ගේදොර පිරිසිදු වන්නේ
හැමතැන විසිරුණු අය එකමුතු වන්නේ
අවුරුදු අසිරිය නියමෙට සමරන්නේ

ආවට වැඩිය වේගෙන් අවුරුදු යන්නේ
ඉන්පසු යළිත් පෙර විදියට හුරු වන්නේ  
පර්ස් එකට යහමින් තට්ටුත් වන්නේ
නටපු නැටුම් බෙරේ පලුත් නැති වන්නේ

-නිරා නොහොත් නිර්මාලයා -
Nirmal Ranasinghe BMD

Sunday, April 17, 2016

- අපේ ආච්චි අම්මගෙ කැවිලි හැදිල්ල සහ මගේ බෝල ගැහිල්ල -



පොඩි කාලේ සිංහල හින්දු අළුත් අවුරුද්ද කියන්නෙ අපිට තියෙන ලොකුම ඉවෙන්ට් එක.ඉස්කෝලෙ නිවාඩුවත් දැන් වගේ නෙමෙයි ටිකක් දිගයි අප්‍රේල් අන්තිම වෙනකම් වගේ තියෙනව. අළුත් ඇඳුම් ගෙදරින් අරන් දීලා කැවිලි හදලා රතිඤ්ඤා පත්තු කරලා එක වැඩයි.අපේ ආච්චි අම්මට ඒ කිව්වේ අම්මගෙ අම්මට මේ කාලෙට සෑහෙන වැඩ.එයාගෙ ලොකුම ජොබ් එක තමයි කැවිලි හදන එක.අඩුම තරමේ කැවිලි ජාති පහක් හයක්වත් හදනව.නැත්නම් නින්ද යන්නෙත් නෑ.මොන ක්‍රමේකින් හරි ඕක වෙන්න ඕන.අපේ ආච්චිගෙ ගම ජා ඇල උදම්මිට.ගමේ පුරුද්දටද මන්දා කැවිලි හදන වැඩේ තිතටම නියම කොලිටි එකටම තියෙන්න ඕන.

ආච්චි අම්මගෙ ඉස්සෙල්ලම රාජකාරිය තමා හොඳ පොල් පැණි ටිකක් හොයාගන්න එක.හොයාගන්නව කිව්වෙ ඔය ජා ඇල මීගමුව වෙසෙන නෑදෑ සමූහයාට කියල හොඳම තැනකින් පැණි ගෙන්න ගන්න එක.ආච්චි කවදාවත් සීනී උණු කරල කැවිලි හැදුවෙ නෑ.එතකොට රස නෑලු.හරි නෑලු.සවුත්තුයිලු.සමහර වෙලාවට හෝමාගම සන්ෆ්ලවර් ටී රූම් එකෙනුත් ආච්චි පොල් පැණි ගත්තා.මොකද එතැනට පැණි ගෙනාවෙ හලාවත මාරවිල පැත්‍තෙන්.හැබැයි දෙයියන්නාසෙ කිව්වත් ටෙස් කරල මිසක් නම් එයා ඒවා ගන්නෙම නෑේ.එයා කරන්නෙ පැණි ටිකක් අල්ලට හලල ලෙවකාල බලනව.හරියට නිකං ටී ටේස්ටර් කෙනෙක් වගේ.එවෙලෙට කට බලන්න ලස්සනයි.ඒ එක්කම බලනව පැණිවල රොඩුබොඩු තියෙනවද කියල.මේ ටෙස්ට් එකෙන් පාස් වෙනව කියන්නෙ අපොස උ.පෙළ සමත් වුනා වගේ වැඩක්.ලේසි නෑ.හරි අමාරුයි.සීනි කවලම් වගේනම් එයාට පටස් ගාල තේරෙනව.මන් දන්නෑ කොහොම තේරෙනවද කියල.එයාගෙ ටේස්ට් එකට හරියන පැණි එකක් හොයනව කියන්නෙ නොමළ ගේකින් අබැට හොයනව වගේ වැඩක්.හැබැයි ඔය ජා ඇල,මීගමුව,හලාවත පැත්තෙන් එන පැණි ගැන එයාට ලොකු විශ්වාසයක් තිබ්බ.ඇත්තටම ඒක හරි.ඒව නියම පැණි.අවුරුද්දට කලින්ම ආච්ව් පැණි ටික ලෑස්ති කරගන්නව.

ඊළඟට තියෙන්නෙ අනික් අඩුම කුඩුම හොයාගන්න වැඩේ.ආච්චිට හරියන කඩ ටිකක් හෝමාගම ටවුන් එකේම තිබ්බ.ඒ කඩවලින් මිසක් වෙන කිසිම කඩේකින් ආච්ව් බඩු ගත්තෙ නෑ.සමහර වෙලාවට එයාට යන්න බැරි උණොත් සීයට පණිවිඩයක් යවල ගෙන්න ගන්නව.හැබැයි අහවල් කඩෙන් ගේන්න කියලමයි පණිවිඩේ යවන්නෙ.නැත්නම් ඉන්න හම්බෙන්නෙ නෑ කියල සීයත් දැනගෙන හිටියා.මොකද කියපු කඩෙන් හැර වෙන කඩේකින් ගෙනාවොත් ආච්චි දන්නව ඒක ගෙනාවෙ වෙන තැනකින්.ඒ කොහොමද කියල කියන්න මට නොතේරුණත් ආච්ව්ට එහෙම කියන්න පුලුවන් අරුම පුදුඅ ඥානයක් පහළ වෙලා තිබ්බ කියන එකනම් මම දැනගෙන හිටියා.

කේක් හදන්න ඕන කරන බඩු ගත්තෙ සිසිල ග්‍රොසරි එකෙන්.ඒ කඩේ නෑ දැන්.අළුවා හදන්න දාන කජු ගත්තෙ සුමනසේකර ස්ටෝර්ස් එකෙන්.මුං කැවුම් හදන්න ඕන මුං ඇට ගත්තේ සතොසෙට එහා පැත්තෙ තිබ්බ සමුකාර කඩෙන්.

හාල්පිටිවලට ඕන කරන හාල් ගන්න ඕන තව කොහෙන්වත්.පොල්තෙල් තව තැනකින් කියල.ඕන කරන හැමදේම එකම කඩෙන් ගන්න පුලුවන් වුණත් ආච්චි අම්ම කවදාවත් එහෙම ගන්නෙම නෑ.කොලිටි එකේ අවුලක් වෙන හින්ද කියල.ගන්න කොට ඒ ඒ කැවිලිවලට ඕන ප්‍රමාණවලට බඩු වෙන වෙනම කිරල ගන්නත් ආච්චි ඒ කඩවල්වල බඩු කිරන කොල්ලන්ට ඕඩර්ස් දුන්න.!නිතර ගිහිල්ලම ආච්චිව ඒ කඩවල ප්‍රයිම් කස්ටමර් ලිස්ට් එකේ හිටියා.මුදලාලිලත් ඒ හින්දම අදාළ විදියට බඩු කිරල දෙනව කොයිතරම් අමාරු වුනත්.එක එක කඩවලට යන වැඩෙන් මම තමයි මාර පරිප්පුවක් කෑවෙ.හන්දියට යනකොට ලොකු මල්ලක් උස්සන් මාත් ආච්චි එක්ක යන්න ඕන.එයාගෙ සපෝට් එකට.මටත් මොනවහරි අරන් දෙනව තමා ඒත් අර හාලුයි,මුං ඇටයි ,පාං පිටියි, පොල්තෙලුයි උස්සං යනව කියන්නෙ මාර කට්ටක්.එපාම වෙනව.කැවිලි ඕන්නෑ කියල හිතෙනව.දැන් වගේ ත්‍රීවීලුත් නෑ.හැබැයි මම ඒකෙන් සෑහෙන දේවල් ඉගෙන ගත්ත.අදට තමයි ඒව සෑහෙන්න වටින්නෙ.

ඔය ටික ගෙනාවට පස්සෙ මුං ඇට බැදල ,හාල් දියේ දාල කොටන්න ලෑස්ති කරන එක තමා ඊළඟ රාජකාරිය.ඔය ටික කොටන්න මෝලට අරන් යන රාජකාරිය පැවරෙන්නෙ මට.

"ලොකු ළමයො මේ හාල් ටිකයි මුං ඇට ටිකයි මෝලෙන් කොටන් එන්න හොඳ ළමයා වගේ.!"
ආච්චි හෙන චාටුවෙන් මට කියනව.

"අනේ මට බෑ ආච්චි.මං දැන් ක්‍රිකට් ගහන්න යන්න ඉන්නෙ."
නිවාඩු දුන්න දවසෙ ඉඳන් ක්‍රිකට් ගැහිල්ලෙ පිස්සුවෙන් දවස ගත කරන මම ගත් කටටම එහෙම කියනව.

" උඹටත් උදේ එළිවෙච්ව වෙලේ ඉඳන් බෝල ගැහිල්ල.සත පහක වැඩක් ගන්න බෑනෙ.ගිහිං කොටං එනවකො ළමයො."

"හරි හරී දවල් වෙලා යන්නම්.ක්‍රිකට් අතක් ගහල.තාම මෝල ඇරලවත් නෑනෙ.මේ තරම් උදෙන්"
"ඒක හන්ද තමයි උදෙන් යන්න කියන්නෙ.දවල් උනාම සෙනඟ වැඩියි.දැන් රූබන් ආච්ච් එනව කිව්ව කැවිලි හදන්න උදව් වෙන්න."

"හයියො මොකක්ද ආච්චි මං බෝල ගහන්න යනකොටමනෙ ආච්චිටත් එකේක වැඩ මතක් වෙන්නෙ.එක්කො කලින් කියන්නෝන.කෝ දෙන්න දෙන්න මල වදේ."

"මල වදේ කියන්නෙ..දැන් බෑ කිව්වට උඹලට කැවිලි හැදුවම කන්න පුලුවන් නේද?නොකාම ඉඳී."
ආච්චි අම්ම අවසානයේ එයා ළඟ තියෙන හොඳම තුරුම්පු ආසියාගෙන් මට ප්‍රහාරය එල්ල කරනව.ඇත්ත කවුද ඒව නොකා ඉන්නෙ.

" ඔන්න මං බයිසිකලේ යන්නෙ.මට බෑ පයින් යන්න." මාත් තව පොඩි සත්තමක් දානව.
"ඔය මළු අරං පුලුවනෑ බයිසිකලේ යන්න.ඔය හාල් ටික වැටුණොත් ආයිත් ගේන්න වෙනව.ඔන්න ඔය ටික දුර පයින් යන්න."
"හහ් හොඳ ටික.මමනෙ පයින් බඩගාන්න ඕන.ආච්චියෑ.මං බයිසිකලේ යන්නෙ.කෝ දෙන්න ඔය හාල් ටික." මං එහෙම කියන්නෙ මල්ලයි සල්ලියි දෙකම උදුරගෙනම බයිසිකලේට නඟින ගමන්.

" මේ ඔය මුං ඇට ටික කොටල ඔය දාල තියෙන මල්ලටම..."
කෙටීමෙන් පසු අසුරාගන්නෙ කොහොමද කියන උපදෙස් මාලාව ආච්චිගෙ කටෙන් නික්මෙන කොටත් බයිසිකලේ ගේට්ටුවත් පහුකරල ඉවරයි.

" අපෝ මේකට තියෙන හදිස්සිය..පුදුම කුලප්පුවක්නේ.." ඔය ටික මට ඇහෙන මානෙක ඒ වෙනකොට මම නැති වුණත් මම දන්නව ආච්චි සුපුරුදු විදියට කියන්නෙ ඔය ටික කියල.

ක්‍රිකට් ගහන සිහියෙන් ඉන්න මං බයිසිකලේ කඟවේනෙක් වගේ වී මෝලට පාගනව.හරියට නිකං ප්‍රංශ සවාරියේ ලාන්ස් ආම්ස්ට්‍රෝන් වගේ.මට තිබ්බෙ මවුන්ටන් බයිසිකලයක්.භාවිතයක් නැති වුණත් තාමත් ඒක මා ගාව තියෙනව.ඉතින් හාල්,මුං ඇටකොටාගෙන එනගමං ඔය අතරමග කඩේකින් අයිස්පැකට් එහෙකුත් කාල තමයි එන්නෙ.ඒවට ආච්චිගෙන් කිසි අවුලක් තිබ්බෙ නෑ.ඉතින් මං ආච්චිලාගෙ ගෙදරට ආපහු එනකොට රූබන් ආච්චිත් ඇවිල්ල ඉන්නව.එයා අපේ ආච්චිගෙ සපෝට් එකට එන ළඟ අහල පහල ඉන්න හිතවත් කෙනෙක්.කැවිලි හදන කාලෙට ආච්චි අම්ම පණිවිඩයක් ඇරල එයාට එන්න කියනව.ඔය වැඩවලදි සපෝට් එකට එයා ළඟ ඉන්නම ඕන.

ඉතින් ඔය කැවිලි හදන වැඩේ කරන්නෙ එළියෙ මඩුවක් තිබ්බ ඒකෙ.ආච්චි ඒ වැඩවලටම ආවේණික තාච්චි,හැඳි,බන්දේසි,බෝතල්,ඇතුල්පත්,පෙනේර,ඇතිලි,හාල් සේරු, කිරි ගොටු ඔය වගේ දහසක් බඩු එළියට ගන්නව.සමහරක් බඩු එලියට ආවේ අවුරුදු කාලෙට විතරයි.කොකිස් හදන සමනළයෙක්ගෙ හැඩය ගත්ත අච්චුව එහෙම අවුරුද්දට සැරයක් එළියට එන උපකරණයක්.තව ලොකු බන්දේසියක් තිබ්බ අළුවා එහෙම කපන.ඒකත් ඒ වගේමයි.

ඉතින් උදේම වැඩේ පටන් අරං දෙන්නත් එක්ක පොල් ගානව.පොල් කිරි මිරිකනව.ඊළඟට පිටි බඳිනව.පැණි උණු කරනව.එක වැඩයි.දර ලිපේ තමා උයන්නෙ.ගොඩක් වෙලාවට මුලින්ම කොකිස් හදන්නෙ.නැත්නම් මුං කැවුම්.කොකිස් නම් බැඳපු පිටි පොල් කිරෙන් අනලා කහ ටිකක් දානවා.ලුනු ටිහකුත් දානවා.පදම ආවට පස්සෙ අච්චුව අරන් අර මිශ්‍රණයෙ ඔබලා තෙල් තාච්චියට දානව.වටේට තෙල් පෙන දදා කොකිස බැදෙනව.ටිකක් වෙලා ගියාම කූරටියකින් පොඩ්ඩක් බුරුල් කරාම කොකිස ගැලවිලා තාච්චියේ තව ටිකක් වෙලා බැදෙනව.ගොඩක් වෙලාවට කූරටිය ඕන උනෙත් නෑ.

කොකිස් අච්චුව ඒ තරම් සීසන් වෙලා තිබුනෙ.ඇලෙන්නෙ නෑ.හැන්දෙ මිටට පොඩි තට්ටුවක් දැම්මම කොකිස ගැලවිලා තාච්චියට නිකම්ම වැටෙනව.ගානට බැදුනම කොකිස කිරිගොට්ටකට දානව තෙල් බේරෙන්න.මේව හැදෙනකොට මාත් ළඟට කිට්ටු වෙනව.පොඩි රොබරියක් දෙන්න.අහු උණොත් ඉවරයි.බැනුං කෝටියයි.මගේ හැටි කලින්ම දන්න ආච්චි මට වෝනිං එක කලින්ම දෙනව.
"මේ අල්ලන්නෑ එකක්වත් ඕවා.බුද්ධ පූජාවට තියෙනකං." ආච්චි අනිවාර්යයෙන් ඒවයින් කොටහක් බුද්ධ පූජාවට වෙන් කළා.ඒත් කොහොමහරි ආච්චිගෙ ඇස් වහලා කොකිසක් දෙකක් පන්නනවාමයි.ඒක ඒ කාලෙ හෙන වීරකමක්නේ.ඉතින් ඔය වගේ එක කැවිලි ජාතියක් හදල ඉවරවුණාම ආච්චි අම්ම ඒවා ටින්වලට අහුරනව.ඊළඟට තමයි අනෙක් කැවිල්ල හදන්න පටන් ගන්නෙ.

මගේ ක්‍රිකට් ගහන වැඩේ වෙන්නෙත් ඔය කිට්ටුවමයි.ඒ කුස්සිය හරියෙ තියෙන පොඩි ඉඩකඩේමයි.චන්දන කියල හිටිය මගෙ යාලුවෙක්.ඒ කාලෙ අපි දෙන්නගෙ වැඩේම ක්‍රිකට් ගහන එක.චන්දන නැතිවුණත් මම තනියෙන් හරි ක්‍රිකට් ගහනව.ඒ මෙහෙම.ආච්චිලාගෙ ගෙදර කුස්සිය පැත්තෙ බිත්තියට බෝලෙන් ගහනව.බිත්තියෙ වැදිල බෝලෙ එනකොට බැට් එකෙන් ගහනව ආයිත් බිත්තියෙ වදින්න.ආපහු බිත්තියෙ වැදිල එනව.ඕක නිකං චක්කරයක් වගේ එල්ලය බලාගෙන කරන්න ඕන.සමර ගාපු ඒ බිත්තිය පුරාම ටෙනිස් බෝල පාරවල් වැදිලම ලස්සන රටාවක් මැවිල තිබුනා මට තාම මතකයි.හැබැයි සමහර වෙලාවට බෝලෙ බිත්තියෙ වදින්නෙ නැති වෙලාවලුත් තිබුන.ඒ කියන්නෙ එක දිගට ගහන කොට කික් එක වැඩිවෙලා සනත් ජයසූරිය වගේ සික්සර් එකක් ගහන්න ඕන උනාම එහෙම බෝලෙට උඩින් යන්න නෙලනව.සමහර වෙලාවට ඉතින් ඔහොම උඩින් ගිහින් බෝලෙ වැටෙන්නෙ අර කැවිලි හදන මඩුවෙ ටකරං වහලෙට." ඩාං " ගාල වැදුනු ගමන් ටකරංවල යට පැත්තෙ තියෙන ඔක්කොම දැලි,දූවිලි වගේ ඒව කුඩු කුඩු වැටෙනව.වැටෙන්නෙ අර හදන කැවිලි උඩට.ඉවරයි.බැනුම් ගෝනි ගණන්.

"අයියෝ මේ බෝල ගැහිල්ලක් මෙතනම පටන් ගත්තනේ.ඕක අරන් යනව අර ඉස්සරහ මිදුල පැත්තට."
" මේ කැවිලිවලට දූවිලි වැටෙනව.යනව අර පැත්තට.ගියෙ නැත්නම් බැට් එක අරන් ලිපේ දානව."
" ඔය ආයිත් සැරයක් වැටුනා.මේහ් සැරයක් කිව්ව නේද මෙතන බෝල ගහන්නෙපැයි කියල.විසිකරනව බෝලෙ එහා වත්තට."

"අනේ මටනම් තේරෙන්නෙ නෑ මුන්ට පුදුම ගායක්නෙ තියෙන්නෙ.කොච්චර කිව්වත් තේරෙන්නෙ නැති හැටි."
ඔන්න ඔය වගේ බැනුම් කප්පරයි.ඉතින් වැරැද්ද මගෙනෙ.ෂේප් එකේ ඉස්සරහ මිදුල පැත්තට යනව.ඒත් ආයෙමත් ඒ පැත්තට එනව.ඇවිත් ඔලුව දාල කැවිලි හදන එකේ ප්‍රගතිය බලනව.මුං කැවුම් එහෙම හදලා අන්තිමට තමයි අලුව හැදුවෙ.ඒක හදන කොට කජු එහෙම දානවනේ.මගේ ඊළඟ ටාගට් එක ඒක.කජු කෑලි ටිකක් ඩැහැගන්න එක.
"ගන්නෑ එකක්වත්.ආවා මෙතන රට රස්තියාදුවෙ ගිහින් බෝල ගහල දහජාරාව පිටින් මේවට අත දාන්න."
ඔය කොහොම උනත් එකක් හරි ඩැහැ ගන්නව ආච්චිගෙ ඇස් වහල.සමහර වෙලාවට මං ගැන අනුකම්පා හිතිල ආච්චම කජු කෑලි ටිකක් දෙනව.

" ආ ඔන්න ඔච්චරයි.වෙන නෑ.ආයෙ එන්නෙ නෑ මේ පැත්ත පළාතක."
ඒ කිව්වට අළුව හදල බන්දේසියට බානවෙලාවට මම එතැන.මොකද බන්දේසියෙ තුනී කරල හතරැස් කෑලි කපනකොට මුලුවලින් ඉතුරුවෙන අහුකොන් කෑලි කන්න.ඒව කන එකටනම් වැඩි තහනමක් තිබ්බෙ නෑ.ඒත් බුද්ධ පූජාවට අයින්කරනකම් ඉන්න ඕන.උණු උණුවෙ ඒ අයින් කෑලි කනකොට පුදුම රහක් තිබ්බෙ.තාමත් කටට රහ දැනෙනව වගේ.

ඔන්න ඔය වගේ දවස් දෙක තුනක්ම ආච්චිගෙ වැඩේ කැවිලි හදපු එක.මුං කැවුම්,අලුවා,කොකිස්,හැලප,සව් දොදොල්,කිරි ටොපි වගේ කැවිලි හතරක් පහක්වත් හැදුවෙ නැත්නම් ආච්චිගෙ හිතට හරි නෑ.නින්ද යන්නෙ නෑ.ආච්චිගෙ අවසාන කාලෙ වෙනකම් මේව කළා කොහොමහරි.හදපු ගොඩක් කෑම වටේට බෙදන එකයි එයාගෙ ලොකුම රාජකාරිය.එයාගෙ කැවිලි කන ඕන කෙනෙක් තව කෑල්ලක් කනවාමයි.ඒකෙන් එයා පුදුම සතුටක් ලැබුවේ.

මොකද නියම පැණි උණු කරල හදන ඒ කැවිලිවල තිබ්බ රස සීනි උණු කරල හදන කැවිලිවල තිබුනෙ නෑ.ඒක හරි අද්විතීය රහක්.කොච්චර හැදුවත් ආච්චිටත් පදම වැරදුනු වෙලාවල් තිබ්බ.පැණි උණුවෙන පදම අල්ලගන්න එක ලේසි නෑ.පොඩ්ඩ එහා මෙහා උණොත් ගල් වෙනව.හයි වෙලා කෑලි කපන්නවත් බැරුව යනව.දර ලිපේ ගින්දර ආං බාං කරගෙන මේවා කරන එකත් හරි අමාරු වැඩක්.
ඒත් රූබන් ආච්චි තමයි එයාගෙ ලොකුම සහායිකාව.එයා ඉන්නකම් අපේ ආච්චිට කිසිම බයක් නෑ.එයත් මේ සාස්තරේ ආච්චිගෙන්ම ඉගෙන ගෙන තිබුණා.
සමහර වෙලාවට බෝල ගැහිල්ල පැත්තක දාල මේව හදන හැටි බලං හිටපු වෙලාවලුත් තිබ්බා.

ඒත් වැඩිවෙලා ඉන්න බෑ අප්පා ලිප ළඟ.රත් වෙනවා.ආච්චි කොහොම ඉන්නවද මන්දා.කැවිලිවල රහ පිටිපස්සෙ හදන්න සෑහෙන මහන්සියක් ගන්න ඕන කියල මට තේරුනේ මාත් එහෙන් මෙහෙන් අහගෙන කැවිල්ලක් දෙකක් හදනකොට.අද ආච්චි අපි ගාව නෑ.මීට සිව්වසරකට විතර කලින් ආච්චි මියපරලොව ගියා.හැබැයි අර කලින් කිව්ව වගේ බඩු උස්සන් එන්න ගිහින් ,පිටි කොටාගෙන එන්න ගිහින් සමහර ඒවට ප්‍රායෝගිකව සම්බන්ධ වෙලාව ආච්චි අම්ම නිසා මං ඉගෙනගත්ත දේවල් බොහෝමයි.ඒව කොයිතරම් වටිනවද කියල තේරෙන්නෙ දැන්.මහා ලොකු අධ්‍යාපනයක් ලබල නොතිබ්බට ආච්චිගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිට තිබ්බ.අපේකම,සිරිත් විරිත් ඇගයීම,චාරිත්‍ර වාරිත්‍ර,අනික් අයට බෙදාදීම වගෙ දේවල්.
ඉතින් මේවා දිහා ඉඳල හිටල හරි බලාගෙන ඉඳළම මටත් පොඩි අයිඩියා එකක් තියෙනව කැවිලි හදන එක ගැන.මේ සැරෙත් හැදුවා.මේව අපෙන් ගිලිහෙන දේවල්.ආච්චි අම්මෙ ගොඩක් පිං මේවගෙ අපෙන් නැතිවෙලා යන සංස්කෘතික වටිනාකම් අනියමින් හරි මගේ ඔළුවට දැම්මට.ඒක මට දැනුයි තේරෙන්නෙ.

" මේ ළමයො මේ කැවිලි ටික අර පල්ලෙහා ගෙදරට දීල එනවද හොඳ ලමයා වගේ.ගිහින් ඉක්මනට එන්න තව කැවිලි ටිකක් තියෙනව බෙදන්න." ඔන්න ආයෙත් ට්‍රාන්ස්පෝට් කෝස් එක.

" අනේ මේ මට බෑ ආච්චි මං දැන් සෙල්ලං කරන්න යන්න ඕන."
" උඹට කොයිවෙලෙත් බෝල ගැහිල්ල.මහ අමාරුවක්යැ.ඔය අඩි දෙක තුන ගිහින් ඉක්මනට මේක දීල එන්න එහෙනං.ඉතුරු ටික හවස හරි බෙදන්න."

- නිරා -
Nirmal Ranasinghe Bmd
16.04.2016