Featured Post

Wednesday, April 20, 2016

- කරු අයියා නොහොත් කරුණාරත්න අබේසේකර



බ්‍රිල් ක්‍රීම් ගා හොඳින් පස්සට පීරු කලුවන් කෙස්වැටිය දිස්නය දෙයි.එකළ ඉතා ජනප්‍රිය මෝස්තරයක්ව තිබූ ගිනි කූරු කට් එකට කැපූ උඩු රැවුළකින් යුතු හේ බුෂ් ෂර්ට් එකක් ජැන්ඩියට හැඳ තමා ඉදිරියේ වූ පැඟිරි නිවේදකයාට උපදෙසක් දෙයි.

" තමුසෙ සින්දු කියන්නෙත් නෑනෙ.සතියකට අඩුගානේ පිටපතක් අරගෙන කියවන්න පුරුදු වෙනවා."

එසේ කියූ ඔහු මුද්දරේ ගැන ලියපු ලමා පිටියට ආ ලියමනක් පැඟිරා අත තබයි.ඔහු එය රටටම ඇසෙන්න කියවයි.

" මට හරි ආඩම්බරයි.කාර්යාලයෙන් එළියට බැහැලා යනකොට මං බැලුවා කාර්‍යාල භූමියේ හිටවල තියෙන ඒරියල් කණුව දිහා.මට හිතුණා මගේ කටහඬ මේකෙන් මුළු රටටම ගියා නේද කියල.මං හරි සන්තෝසෙන් එදා ගෙදර ගියා.එදා තමයි මගේ කළා ජීවිතේ ආරම්භ වුණු මුල්ම දවස." පසු කළෙක මෙසේ කියමින් අතීතකාමී වූයේ මෙරටින් බිහිවූ විශිෂ්ට නිවේදකයෙකු,ගීතරචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස්ය.එදා ඔහුට ඉහත කී ලෙස උපදෙස් දුන්නේ කරු අයියා නොහොත් කරුණාරත්න අබේසෙකරයන්ය.හේ ප්‍රේමකීර්තියන්ගේ ගුවන් විදුලි මාධ්‍යයේ මුල් ගුරුය.කරුණාරත්න අබේසේකරයන් ගුවන්විදුලිය හරහා මෙරට කලාවට රෝපණය කළ චරිත බොහෝමෙකි.අජන්තා රණසිංහ,සුනිල් සරත් පෙරේරා,නන්දා මාලිනී,චන්ද්‍රානි ගුණවර්ධන හා මල්කාන්ති නන්දසිරි ඉන් කීපපොලකි.ළමාපිටිය ඊට කදිම තෝතැන්නක් වීය.

එකළ අද මෙන් පඳුරකට පයින් ගැසූ පමාවෙන් ගුවනට එක්වුණු එෆ්.එම් නාළිකා මෙරට තිබුණේ නැත.ගුවන්විදුලිය නැත්නම් සිලෝන් රේඩියෝවට එහි ඒකාධිපතිත්වය උරුමව තිබූ අතර එනිසාවෙන්ම නිවේදකයන්,ගායකයන්,ගීත රචකයන් ඇතුලු කලා අංකුර රැසකට එයැම තිඹිරිගෙය විය.

මේ සටහනේ කතා නායක කරුණාරත්න අබේසෙකරයන් ගුවන්විදුලියට බැඳෙන්නේ 1950 දීය.ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයක් වූ 1960 ,70 දශකවල කරු අයියා ගුවන්විදුලියට නැතිවම බැරි නිවේදකයෙක්,වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක් බවට පත්ව තිබිණි.

කවුරුත් එතරම් නොදනිතත් සිංහල බසින් ක්‍රිකට් විස්තර විචාරයක් මුලින්ම ඉදිරිපත් කළ නිවේදකයාද ඔහුය.එංගලන්තය,ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟින් ලංකාව සහභාගි වූ තරඟ ඒ අතර විය.ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන පාලිත පෙරේරා විසින් රචිත අමරණීය ක්‍රිකට් අන්දර නම් පොතේ පෙරවදනේ මෙසේ සඳහනකි.

"2011 ලෝක කුසලාන තරඟාවලියට මාස දෙකක් පමණ තිබියදී දිලීප අබේසේකර පුතණුවන් මා අමතා ' ක්‍රිකට් අපේ කරගත් හැටි' මැයෙන් ගුවන්විදුලි කතා පෙළක් ලියන ලෙස ඇරියුම් කර සිටියේය.දිලීප මගේ ගුවන්විදුලි ගුරු දේවයාණන් වූ දිවංගත කරුණාරත්න අබේසේකරයන්ගේ එකම පුතණුවන්ය."
අරුමෙකි.පාලිත පෙරේරා ද කරු අයියාගෙ ගෝලයෙකි.

ක්ලැරන්ස්ගේ පළමු ඒකල ගීතය ලෙස සැලකෙන "දිලීප පොඩි පුතු" ගීතය අබේසේකරයන් ලීවේ ඉහතින් කී සිය එකම පුතු දිලීප වෙනුවෙනි.නිවේදකයෙකු හැරුණු විට හේ ගීත රචකයෙකු විය.නිකම් නොව අසහාය අග්‍රගණ්‍ය ගේයපද රචකයෙක් විය.ඒවා බොහෝ අගනා සාහිත්‍ය වදන්වලින් සමන්විත විය.බෙහෙවින් මටසිලිටි විය.
ඔහු ලිවූ ප්‍රථම ගීතය ගැන සඳහනක් නැතත් ප්‍රථමයෙන් පටිගත කරන ලද ගීත වශයෙන් සැලකෙනුයේ නළුවෙකු හා ගායකයෙකු වූ රවීන්ද්‍ර රූපසේන ගැයූ සකුන්තලා නම් ගීයකි.

අනතුරුව එච්.ආර් ජෝතිපාල,මිල්ටන් මල්ලවාරච්චි,මිල්ටන් පෙරේරා,සුජාතා අත්තනායක,එම්.එස්.,නිහාල් ජයවර්ධන ,අබේවර්ධන බාලසූරිය සහ තවත් ගායක ගායිකා ගොන්නකගේ ගේයපද වෙනුවෙන් ඔහු තම පන්හිඳ මෙහයවා තිබුණි.

ඔබ නිදන්න,දුරකථනයකින්,පෙම් අප්සරවෝ,කියන්න කවුද ඔබ කියා,සුරැකීමට හෝ,වළාකුළක් පළා අම්බරේ,මධුර යාමේ,සුළඟේ පාවී,ඈත එපිට දුර ආකාසේ,සංසාර සෙවනැල්ල,මා නෙත් කැදැල්ලේ,මධුමල,ගමනේ ගිම්,නෙළුම් මලේ පෙති කඩලා,මල් යහනාවකි ලෝකෙ,සැතපෙන කළ විඳ,ආදරේ මන්දිරේ,පුතුනේ මේ අහගන්න,මගෙ දෑසම පියවී යන්නේ වැනි ගීත ඔහුගේ පන්හිඳ සතුය.

දැන් මේ සටහන කියවන විට මේකත් එයාද? මේකත් එයාගෙද ? ආනේ මේකත් එයාගෙනෙ..සිතමින් කියවන්නා සිය දෙබැම ඉහළ තබාගෙන නළල රැළි ගන්වාගෙන සිටින බව මට ස්ථිරය.

තවද මෙහි දක්නට ලැබෙන විශේෂ ලකුණක් වූයේ බොහෝ ගායක ගායිකාවන්ගේ පළමු ගීතය කරුණාරත්න අබේසේකරයන් අතින් ලියැවීමය.

මිල්ටන්ගේ ඔරුවක පාවෙන,අබේවර්ධන බාලසූරියගේ කවුරුදෝ කවුරුදෝ ,නිහාල් ජයවර්ධන ගැයූ රොනට ඇදෙන සමනළිය මීට උදාහරණයන්ය.

සැබවින්ම ඒ ගීපද සාහිත්‍ය රසයෙන් අනූනය.කරු අයියාහෙ ගුරු සිරි අයියා ඔහුට එතරම් හොඳින් සාහිත්‍ය තෙල බෙදා තිබුණි.නිකමට අහල බලන්න.

"රුසිරු කොමළ රුව රසඳුන් උළයි මගෙ නෙතේ..ඉසුරුමුණියෙ පෙම් යුවළද කියා මට සිතේ."

"මගෙ දෑසම පියවී යන්නේ..ඔබෙ රූපයමයි දිස් වන්නේ.."

"සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා..ගෘංගාර රස දෙන්න කලතා පෙරාලා.."

"අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ..පුරවා දිය හැකි ඔබටයි.."

මෙවන් වදන් අබේසේකරයන්ගේ පන්හිඳට කොහෙන් ගලා ආවේදැයි විටෙක මට ඇතිවන්නෙ විමතියකි.පුදුමාකාර වදන් ඇමිණීමකි.ලාලිත්‍යයෙන් අනූනය.

තවද චිත්‍රපට සඳහා ලියූ ගීතද බොහෝමෙකි.1974 තිරගත වූ සැණකෙළිය චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි හා ඉන්ද්‍රානි ගයන පැට්‍රික් දෙනිපිටියන් සංගීතවත් කළ 'සමනළ රෑනක් සේ' ගීය,1978 තිරගත කළ ශ්‍රී පතුල චිත්‍රපටයේ එම්.කේ රොක්සාමි සංගීතය සැපයූ 'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ' ගීතය උදාහරණ අල්පයක් පමණි.තවත් උදාහරණ ඇතත් එය සටහන් කළ නොහැක්කේ අබේසේකරයන් ගීත 2000 කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති බැවිනි.ඉතින් තව කවර කතාද.?එය වාර්තාවකි.

1930 මාතර දී උපත ලබා නාලන්දාවෙන් සිප්සතර හදාරා මෙරට කලාවට බොහෝ දේ දායාද කර 53 වසරක් ආයුෂ ලැබූ කරු අයියා නොහොත් කරුණාරත්න අබේසේකරයන් 1983 අප්‍රේල් විසිවනදා දැයෙන් සමුගත්තේය.

" යන නොසිතු වෙලාවක වියැකී..
ජීවය තණ අඟ පිණි බිඳකී.."

මේ සටහන මා ආරම්භ කලේ ගුරා සහ ගෝලයා සම්බන්ධ සිදුවීමකි.අවසාන කරන්න යන මොහොතේ තවත් එවන් සිදුවීමක් මට සිහියට නැඟේ.

සිය අග්‍රගණ්‍ය ගුරාට ප්‍රේමකීර්ති මහත් සේ ආදරය කළේය.ගරු කළේය.කරුණාරත්න අබේසෙකරයන් එවකට විසුවේ පුංචි බොරැල්ලේ සැලැස්කි පෙදෙසේය.ඔහුගේ ගෘහයේ නම "සීගිරි"ය.දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ සංකල්පයක් වූ ගම්උදාවේ නිවේදන කටයුතු සිදු කළේ ප්‍රේමකීර්ති අල්විස් අතිනි.වරක් ගම් උදා උළෙලක් නිමා වී තරමක ප්‍රීති ප්‍රමෝදයෙන් සිටි ජනපති රණසිංහ ප්‍රේමදාසයන් ප්‍රේමකීර්ති මෙසේ විමසීය.

"ප්‍රේමකීර්ති තමුන් හැමදාම මගේ උත්සවවල නිවේදන කටයුතු කරනවනෙ.තමුන්ට මගෙන් මොනවහරි දෙයක් සිද්ධවෙන්න තියෙනවද?"

"සර් මගේ ගුරුතුමා තමයි කරුණාරත්න අබේසේකර මහත්මයා.එතුමා පදිංචි වෙලා හිටියේ පුංචි බොරැල්ලේ සැලැස්කි පෙදෙසේ.ඒ පෙදෙස කරුණාරත්න අබේසේකර පෙදෙස කියලා නම් කරලා දුන්නොත් ඒක මට කරන ලොකු උපකාරයක්." ඒ ප්‍රේමකීර්තිගේ එකම ඉල්ලීමය.

අද කාලෙ මෙවැනි දෙයක් දේසපාලකයෙකු කාට හෝ කිව්වේ නම් ඉල්ලන්නේ මොනවාද ලබාගන්න තනන ප්‍රතිලාභ කවරේද කියා මා ඔබට නොකිවමනාය.!
එසැණින් ක්‍රියාත්මක වූ එතුමන් වගකිව යුතු තැන්වලට දන්වා ප්‍රේමකීර්තිගේ ඉල්ලීම ඉටු කරලීය.එවන් වූ උපහාරයක් දක්වන්නට තරම් කරු අයියාගේ ගෝල රත්නය සංවේදීය.භක්තිමත්ය.කරු අයියා වන් විසල් රුකක් යට වැඩෙන්න තරම් එකී ගෝල පිරිසද වාසනාවන්තය.නමුත් වත්මනේ එවැනි ගුරුගෝල සබඳකමක් දැකීමද දුර්ලභය.උගහටය.

වසර 53 ක තරම් කාලයක් තුළදී කරුඅයියා නිවේදකයෙකු,වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු,ගීත රචක,දෙබස් රචක,කිවියර,කතුවර යනාදී පුළුල් වපසරියක ඔහුගේ නිර්මාණශීලි හැකියාව වපුරා තිබිණි.එයින් ලත් අස්වැන්නෙන් මෙරට කලාකෙත තවමත් ප්‍රතිලාභ ලබයි.ඉදිරියෙදිත් ලබයි.පුරන් නොවෙයි.

අදටත් අඩුම තරමේ දවසකට එක වතාවක්වත් ඔහු ලියූ ගීයක් ගුවනින් රැව් දීම නිත්‍යයකි.එය ඉදිරියටත් එසේමය.ඒවා එතරම් රසවත්ය.අරුත්බරය.කනට මී බිඳු වක්කරන්නාක් වැනිය.

මේ අසහාය කලාකරුවා අපෙන් සමුගෙන අදට හරියටම තිස්තුන් වසරකි.මේ හුදෙක් ඒ වෙනුවෙන් තැබූ උපහාර අකුරු ඇමුණුමකි.

මූලාශ්‍ර -
 "සසර සැරි සරන තෙක්-ප්‍රේමකීර්ති යළි කියවමු" ග්‍රන්ථය - ගීතනාත් කුඩලිගම
"අමරණීය ක්‍රිකට් අන්දර" ග්‍රන්ථය - පාලිත පෙරේරා
දිලීප අබේසේකර පුත්‍ර තෙම
අන්තර්ජාලය

No comments:

Post a Comment