Featured Post

Friday, August 18, 2017

මෙහි කංසා භාවිතය සපුරා තහනම්.

මෙහි කංසා භාවිතය සපුරා තහනම්.
------------------------------------------------------------

හේතු ත්‍රෛලෝක්‍යවිජයාගෙං අසා දැනගන්න.

කංසා..එහෙමත් නැත්නං ගංජා.. සාමාන්‍යයෙන් අපේ රටේ ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලි වෙන සෑහෙන පස්ස ගහන මාතෘකාවක්.අපේ රටේ ඇති තහනම නිසාම අඩුවෙන්, නමුත් හොර රහසේ කතාබහට ලක්වෙන වෙනමම විෂය පථයක්.
බහුතරයක් අය කංසා කිව්ව ගමං දන්නේ අර ලෝක ප්‍රසිද්ධ රෙගේ ගායක බොබ් මාලේ මත්වෙන්න බොන දුම විදියට.
මෑතකාලීනව මේ මාතෘකාව යළිත් කරළියට එන්නෙ ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ලියපු "ත්‍රෛලෝක්‍යවිජයා" නම් පොතෙන්.

"ත්‍රෛලෝක්‍යවිජයා" .. ඒක සමහරකුට හුරු නමක් වෙන්න හැකි වුවත් සමහරෙකුට නුහුරු නමක්.නමුත් ත්‍රෛලෝක්‍යවිජයා කියන්නෙ කංසාවලට සංස්කෘත බසින් කියන නමක්.කංසා ගැන අත්දැකීම ලබන්න ඒ ගැන දැනුවත් වෙන්න, නිවැරදි විස්තර හොයන්න නිරන්තරයෙන් මා පෙලූ කුතුහලය නිසාම මම මේ පොත කියෙව්ව.

කතුවරයා කැළණිය විශ්වවිද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව පිළිබඳ තම මූලික උපාධිය හදාරා පසුව දර්ශනපති උපාධියත් ආචාර්ය උපාධියත් හිමිකරගත්තෙක්.2003 දී විද්‍යා පර්යේෂණ ලිපි සඳහා ජනාධිපති සම්මානය හිමිකර ගත්තෙක්.

මේ කෘතියත් ඔහු විසින් ලියූ පර්යේෂණාත්මක කෘතියක්.සත්‍ය සොයා ගැනීමේ ආසාවෙන් මඩිනා ලදුව විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ සිදුකරමින් වසර 17 ක් තිස්සේ ලැබූ අත්දැකීම් මේ ග්‍රන්ථ සම්පාදනයට ඇතුළත්.පොත අවසානයේ පිටු හත අටකින් සමන්විත මූලාශ්‍ර කියන කොටස බැලුව නම් මේ පොත ආවට ගියාට නොලියූ පොතක් බව දෙස් දෙනව.සිංහල හා ඉංග්‍රීසි බසින් ලියූ පොත්,පර්යේෂණ පත්‍රිකා,වාර්තා චිත්‍රපට වැනි මූලාශ්‍ර ඇසුරු කර තවත් කෙනෙකුට තේරෙන බසකින් ලියන එකත් වෙහෙසෙකර ව්‍යායාමයක් යැයි පොත අවසානයේදී ඒත්තු ගැන්වෙනව.

සමස්ත පුස්තකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතයි.ඊටත් ප්‍රථමයෙන් මේ කෘතියෙ " අවතීර්ණය" නම් කොටසේ කංසා අරභයා ඔහුගේ අතීතකාමී අත්දැකීම් එනම් ළමාවිය ,පාසල් විය , විශ්වවිද්‍යාලය අවධිය , ආචාර්ය උපාධි පර්යෙෂණ අවධිය හා සබැඳුණු ස්මරණයන් පිළිබඳ කෙටි පූර්විකාවක් ඇතුළත්.ඉන්පසුව මේ විෂය අලලා පොත ලිවීමට පදනම් වූ හේතුපාඨයක් , රූප සටහන්, හා සංක්ෂේපණියක් අන්තර්ගතයි.

එකී රූපසටහන්වල මුලින්ම ඇති විවිධ යුග ගැන සඳහන් "යුග චක්‍රය"නම් රූප සටහන විශේෂයෙන්ම අධ්‍යනය කළ යුත්තක්.ඉලිප්සියාකාර ධාවන පථයක ගමන් කරන අපගේ සෞරග්‍රහ මණ්ඩලය හා සූර්යයා අතර ඇති සම්බන්ධය නිසා මිනිසාගෙ ප්‍රඥාව යුග හතරක් පසුකරමින් ගමන් කරන ආකාරය මෙහි ඇතුළත්.වැඩිදුර අධ්‍යනය සඳහා පහත යූටියුබ් සබැඳිය බලන්න.

https://www.youtube.com/watch?v=DhyzKzx03VU

ඉතින් පොතේ පලමු කොටස " විශ්වය".

පළමු පරිච්ඡේදය " පෘථිවිය, ජීවය සහ එන්ඩොකැනබිනොයිඩ".

වසර බිලියන 13.7 කට ඉහතදී විශ්වය ආරම්භ වූ ආකාරය, ජීවය බිහිවී විකාශනය වූ අයුරු ඔහු පියවරෙන් පියවර විස්තර කරනව.
ඇරඹුම, සෞරග්‍රහ මණ්ඩලය, ක්ෂීරපථය, පෘථිවිය සහ හඳ, සාගර ජලය වැනි අනුමාතෘකා යටතේ කතුවරයා කර තිබෙන විස්තරය අතිශය නිරවුල්.ඉතාම පැහැදිලි ඕනම තරාතිරමක කෙනෙකුට තේරුම් ගත හැකි විදියට ඔහු මේ කොටස ලියා තියෙන ශෛලිය හරිම අපූරුයි.ඒ වගේම රසවත්.නිර්මාණාත්මකයි.

ඉහත මාතෘකාව යටතේ වසර බිලියන 3.9, වසර බිලියන 3.5 , වසර මිලියන 750 , 600 යනාදී වශයෙන් අවරෝහණය වෙමින් ඔහු කර ඇති මේ විස්තරය නිසා මම මේ කියවන්නෙ " කංසා" පිලිබඳ ලියැවුණු පොතක්ද පවා කියන කාරණය මට මොහොතකට අමතක වෙනව.එහි තියෙන අපූර්වත්වය නිසාම " කංසා" නම් ප්‍රධාන මාතෘකාව යටපත් කර පාඨකයාව වෙනත් ඉසව්වකට ඇදගෙන යන්න තරම් පළමු කොටස අපූර්වත්වයකින් යුක්තයි.

කංසා ගැන කතාකරන්න යනවානම් ලෝකේ පටං ගත්ත තැනටම යන්න ඕනද? කෙනෙක්ට සාධාරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්.නමුත් අර කලින් කිවූ හේතුපාඨය නම් කොටසෙ, අවසන් භාගයේ, ඔහු එය සාධාරණීකරණය කරන්නෙ " සියල්ල සාපේක්ෂව තිබිය යුතු යැයි සිතුණු බැවින් කංසා පිළිබඳ ලියන මෙම ග්‍රන්ථය ආරම්භ කරන්නේ විශ්වයේ ආරම්භය සනිටුහන් කරමින් බව " කියමින්.තෙවන පරිච්ඡේදයේ ඇති " මිනිසාගේ ව්‍යාප්තිය" ත් අර කලින් කොටස වගේම අපූරු විස්තරයක්.

රුහුණේ මීකිරි කිව්ව වගේ ලංකාවේ තණමල්විල කිව්වම බොහෝ අයට මතක් වෙන්නෙ කංසා.මල් කියලත් කියනව.ඒ පළාත්වල හොරෙන් වවන කංසා හේන්, පොලිසියෙන් අල්ලපු කංසා,ඒ සම්බන්ධ නඩු අද දිනපතා පුවත්පත්වල ඇති සුලභ පුවත්.ප්‍රසිද්ධියේ , හොර රහසේ කතාවෙන මේ ශාකයේ උත්පත්තිය අදින් වසර මිලියන 35 කට ඉහතදී මධ්‍යම ආසියාවේ හිමාල කඳුවැටියෙන් උතුරට වන්නට තිබූ අල්තායි කඳුවැටියෙන් ගලා බසින ගංගා මිටියාවතක බිහිවූ බවයි මේ පොතේ සඳහන් වන්නෙ.එය එතරම් ඈතට දිවයන ඉතිහාසයක්.ක්‍රමයෙන් නැඟෙනහිර ආසියාවෙ ගංගා නිම්න කරා සංක්‍රමණය වන මිනිසා කංසා ශාකයෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය තියෙන්නේ පොතේ දෙවන කොටසේ ආරම්භයත් සමඟ.එය පරිච්ඡේද 18 කින් සමන්විත සවිස්තරාත්මක කොටසක්.

කතුවරයා එහිදී පුරාවිද්‍යාත්මක , ඓතිහාසික, ආයුර්වේද, බටහිර විද්‍යාත්මක පර්යේෂණ යන පුළුල් මානයන් ඔස්සේ මේ ගැන විස්තර ඉදිරිපත් කරනව.එමඟින් හෙළිදරව් වන මිනිසා සහ කංසා අතර ගසට පොත්ත මෙන් තිබූ සහසම්බන්ධතාව ඔහු දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරනව.ක්‍රි.පූ 10,000 න් පටන්ගෙන වර්තමානය තෙක් විස්තර එහි ඇතුළත්.නමුත් බොහොම සරලව.

පොත කියවන විට දැනෙන තව දෙයක් තමයි විශේෂ සිදුවීම් ඇතුළත් දිනපොතක් පරිශීලනය කරනව වගේ හැඟීමක් එන එක.විශේෂ අනුමාතෘකා යටතේ ඒ ඒ කාලපරිච්ඡේදයන්වල සිදුවූ විවිධ සිදුවීම් මේ සඳහා ඇතුළත්.බොහෝ සිදුවීම් කංසා හා බැඳුණු ඒවා.තවත් සිදුවීම් කංසා හා සම්බන්ධයක් නැතිවූත් ඒ ඒ කාලයන්හි සිදුවූ වැදගත්කමක් ඇතැයි සැලකිය සිදුවීම්.

උදා.

ක්‍රි.ව. 700

ප්‍රංශයේ වැල් පාලම්
------------------
මේ අතර ප්‍රංශයේ සිටි ඉංජිනේරුවන් දැවැන්ත කඹ භාවිතා කර වැල් පාලම් ගොඩ නැගූහ.ඒ සඳහා ශක්තිමත් බවෙන් සහ කල්පවත්නා ගුණයෙන් යුත් කංසා තන්තුවලින් ඇඹරූ කඹ භාවිතා කෙරිණි.

118 පිටුව

ක්‍රි.ව. 1882

නිව්යෝර්ක් නුවරට විදුලිය
------------------------
තෝමස් අල්වා එඩිසන්ගේ විදුලි බුබුල සහ විදුලි බලාගාර තව දුරටත් වර්ධනය විය.වසර 1882 දී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය විදුලි බුබුළුවලින් ඒකාලෝක විය.

207 පිටුව

ක්‍රි.ව.1898

පිටගැස්මට කංසා හොඳයි
------------------------
වසර 1897 දී ඊ.ජේ.වොරින්ග් නැමති වෛද්‍යවරයා සිදුකළ පර්යේෂණවලින් හෙළි වූයේ කංසා දුම් බීමෙන් පිටගැස්ම සුව කර ගත හැකි බවය.

216 පිටුව

සාමාන්‍යයෙන් පර්යේෂණ කෘතියක් කියවනවිට දැනෙන වෙහෙසකර බව , නීරස බව එපා වෙන සුළු ස්වභාවය මේ කෘතියේ නොදැනෙන්නේ කතුවරයා විසින් භාවිතා කර ඇති ඉහත ව්‍යුහය වීමට පුළුවන්.කරුණු පාඨකයාට ඉදිරිපත් වෙන්නේ ඉතිහාසයේ පටන් වත්මන දක්වා සරලව පිළිවෙළක් ඇතුව.නැත්නම් A4 ප්‍රමාණයේ පිටු 350 ක් ඇති මේ පර්යේෂණාතමක කෘතිය කියවා අහවර වෙනවිට හෙම්බත් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.

හරිහමන් පැහැදිලි කිරීමක් සොයාගත නොහැකිව මම කවදත් පැටලී සිටි හෂීස් සහ මරිජුවානා යන මත්ද්‍රව්‍ය වල වෙනස මම දැනගත්තෙ මේ පොතෙන්.

හෂීස් කියන්නේ කංසා ශාකයේම මැලියම ආශ්‍රයෙන් නිපද වන්නක්.මරිජුවානා කියන්නෙ මේරූ කංසා කරටි වියළා කුඩු කර දුම්කොළ හා මිශ්‍ර කර බොන බීමක්.මෙක්සිකෝවේ පාරම්පරික ගොවීන් මෙහි නිර්මාතෲවරුන්.මරිහුවානා (Marihuana)ලෙස මෙක්සිකෝව පුරා ව්‍යප්ත වුණු මෙය ඇමෙරිකාවේදී නම්වර ලබන්නෙ මරිජුවානා (Marijuana)ලෙස.

මේ දෙකම කංසා හා සෘජුවම බැඳුණු දෑ.ඒ සඳහා නිරවුල් පැහැදිලි කිරීම් සහිත වෙනම පරිච්ඡේදයන් දෙකක් පොතේ ඇතුළත්.

ඉතින් පසුකාලීනව මිනිසාගේ ව්‍යප්තියත් එක්කම කංසා ශාකයත් ලෝකේ හැමතැනටම ව්‍යප්ත වෙනව.එය කොයිතරම් විවිධ රටවල් , ඒ ඒ රටවල සංස්කෘතීන්, ඒවායේ ජනජීවිත සමඟ බැඳුණද කියන කාරණයට හොඳම උදාහරණය වන්නේ කංසා ශාකය ඒ ඒ රටවල හැඳින්වීමට යොදාගන්නා ලබන නාමයන්.

අරාබි වෙදැදුරන් " කනාබ්" ලෙසත්, යුදෙව්වන් " කනෙහ්බොසම්" ලෙසත්, ආධ්‍යාත්මය ගවේෂණය කළ ඉන්දියානුවන් " ගන්ජා,මෝහිනී,බන්ගා,විජයා,වීරපත්‍ර,ගංජාකිනි" ලෙසත් නවීන නම් ලෙස "රීෆර්,වීඩ්,සින්සිමිල්ලා,ජොයින්ට්,කේජී" ලෙසත් නම් ලැබීමෙන්ම මේ ශාකය පුළුල් වපසරියක ව්‍යප්ත වූ ශාකයක් බව තේරුම් ගන්න වෙනත් අටුවා ටීකා අනවශ්‍යයි.

වත්මනේ ඇමෙරිකාවෙ ඇතැම් ප්‍රාන්තවල නීතිගත කලත් අතීතයේ ඇමෙරිකාව විසින් පැතිර වූ අසත්‍ය හා භයානක තොරතුරු පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කංසා තහනම් කර ඇතත් මෙකී ශාකය හරහා ලබාගත හැකි ප්‍රයෝජන බොහොමයක්.අප විසින් කප්රුක යැයි සලකන පොල් ගසේ මෙන් මෙම ශාකයේත් සෑම කොටසක් පාහේම කුමක් හෝ ප්‍රයෝජනයට ගත හැකි මට්ටමේ පවතිනව.

කංසා ඇටවලින් ආහාර පිසින තෙල්, සබන්, මුද්‍රණ තීන්ත,ඉන්ධනද කංසා පියළි ධාන්‍ය හෝ පිටි ලෙස බේකරි ආහාර, අයිස්ක්‍රීම්, කේක් සෑදීමටද , ගසේ පොත්ත නූල්, ලණු, කඹ රෙදි, කැන්වස් සඳහාද අරටුව කැන්වස්, බුමුතුරුණු ,දැල් සඳහාද මුල් ඖෂධ සඳහාද භාවිතා වෙනව.නමුත් අපේ බහුතරයකගේ හණමිටි අදහස වන්නේ කංසා යනු ආතල් එකට මත්වන්නට ගන්නා ලබන භයානක මත්ද්‍රව්‍යක් කියන කාරණය.

කැනබිනොයිඩ පර්යේෂණ නම් පරිච්ඡේදයේ කංසා ශාකයට ආවේණික රසායන සහ මිනිස් සිරුර අතර ඇති සම්බන්ධතාව පිලිබඳ තොරතුරු ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගොන්නක් ඇතුළත්.කංසා පර්යේෂණ ,පිළිකා නිවාරණයට කංසා,කැනබිනොයිඩ හා රසායන අගුලු, මොළයේ හැසිරීම වගේ අනුමාතෘකා යටතේ.විද්‍යාත්මක හැදෑරීමක් කරන අයෙකුට මේ කොටසේ කරුණු ඉතා වැදගත් ඒව ලෙස සලකන්න පුළුවන්.විශේෂයෙන් සිංහලෙන් මේ වගේ පැහැදිලි කිරීම් සුලභ නොවන නිසා.

තවත් කාරණයක් කියන්නම ඕන.
පොතේ කතුවරයා සඳහන් කරන විදියට 1958 අගෝස්තු 10 වනදා සිළුමිණ පත්‍රයෙ කංසා පිලිබද ලිපියක් පලවෙනව.ලිපිය ලියන්නෙ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්.බොහොම වැදගත් කරුණු ටිකක් තියෙන්නෙ.

" කංසා පැළය ගැන දැන ගැනීම හා එයින් ප්‍රයෝජන ගැනීම පෙරදිග ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමග ඇති වූවකි.ඉතිහාසයට පෙර විසූ මනුෂ්‍යයෝ ජලය, ගින්න, සුළඟ මෙන්ම කංසා පැළය ද දේවත්වයෙහි ලා සැලකූහ.මෙසේ සලකන ලද්දේ ජලය, ගින්න, සුළඟ මෙන්ම කංසා පැළයෙන්ද මානව සමාජයට සිදුවන යහපත සළකාගෙනය.එකී වස්තූන් මෙන්ම කංසා පැළයද වැරදි ලෙස පාවිච්චි කරන්නට ගියහොත් සිදුවන්නේ හානියක්මය.එහෙත් ජලය,ගින්න, හා වාතය අන්තරාදායක යැයි සිතා ප්‍රතික්ෂේප කළ කිසිවෙකු මේ මිහිපිට ජීවත් වූයේ නැත.මනුෂ්‍ය ජීවිතයක ස්වාභාවික ජීවන බලය රඳා සිටීමේ ලා විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි කංසා පැළයද වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් අනතුරු සිදුවිය හැකිය.එසේ වන හෙයින් කංසා භාවිතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ සිහි බුද්ධිය ඇති කිසිවෙකුද මේ තාක් අප අතර නැත.කංසා වැවීම, වෙළඳාම , හා පාවිච්චිය මේ රටේ සම්පූර්ණයෙන්ම තහනම්ය.එහෙත් මේ රටේ කංසා වැවීම, වෙලදාම , හා පාවිච්චිය යම් ප්‍රමාණයකින් හෝ අඩුවක් වෙනසක් සිදුවී නැත.

දීර්ඝායුෂ බලාපොරොත්තු වන ජීවිතයේ මැදිවියෙහි සිටින අය කංසා මිශ්‍ර බෙහෙත් පාවිච්චි කරති.පණුගාය, උණ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හා බඩේ ගාය ආදි හදිසි සුලු අසනීපවලදී බාල මහලු කවුරුත් කංසා මිශ්‍ර ගුලි-කල්ක ආදියෙන් ප්‍රයෝජන ගනිති.ශරීර සැපය බලාපොරොත්තු වන හින්දු හා ඉස්ලාම් ලබ්ධිකයෝද කංසා මිශ්‍ර ආහාර වර්ග සහ පාන වර්ග සාදාගෙන කති බොති.විනෝදය බලාපොරොත්තු වන අය කංසා මිශ්‍ර දුම්වැටි සාදාගෙන උරති.

පරීක්ෂාකාරී ලෙස සොයා බැලුවොත් කංසා නීතිය ක්‍රියාවේ යොදවන අයත් එයින් දඬුවම් ලබන අයත් එකසේ ම කංසාවලින් ප්‍රයෝජන ගනිති.කංසා මිශ්‍රණයක් පාවිච්චි නොකළ , එයින් ප්‍රයෝජන නොගත් කිසිවකු මේ දිවයිනෙන් සොයා ගැනීම දුෂ්කර කාරියකි.එහෙත් මේ රටේ කංසා සම්පූර්ණයෙන්ම තහනම් ද්‍රව්‍යයකි."

පණ්ඩිත හිමියන් මෙම ලිපිය අදින් වසර 59 කට පෙර ලියූවත් අදටත් අප රටට වලංගු වන්නේ මෙහි ඇති කරුණු කාරණාම නොවේද.?

අවසානයේ කතුවරයා පවසන පරිදි කංසා පිළිබඳ බටහිර ජාතීන් අවබෝධය ලබන්නේ විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීමෙනි.අවිද්‍යාව නිසා කලකට පෙර ඔවුන්ම මත්ද්‍රව්‍යයක් ලෙස තහනම් කළත් අද වන විට ඔවුන් තම වැරැද්ද නිවැරදි කරගැනීමට තරම් නිහතමානී වී ඇත.ඒ, ලෝකයේ රටවල් 30ක් පමණ කංසා වගාකර හරිත ආර්ථික විප්ලවයට අවතීර්ණ වීමෙන් වාසි ප්‍රයෝජන ලබා ගැනීමෙනි.

කතාව සහතික ඇත්තය.ආචාර්ය වසන්ත වැලිඅංගයන් කියන යුග චක්‍රයේ පරිදිම අප තවමත් සිටින්නේ කලියුගයේ බහින කලාවට ඔබින මානසික තත්වයේය.කංසා නැතත් අපේ දිවයිනේ වෙනත් බොහෝ කරුණු සම්බන්ධයෙන් පවා අපට ඇත්තේ අවිද්‍යාව පෙරදැරි කරගත් ආකල්පයන්ය.එනයින් බලනකල කංසා සම්බන්ධයෙන් මෙසේ සත්‍ය අසත්‍ය හරිහැටි අවබෝධ කරනොගෙන වැරදි මතිමතාන්තර ඇතිවීම ගැන පුදුම විය යුතුද නැත.

තවත් බොහෝ විස්තර කරුණු කාරණා දැනගෙන සත්‍ය ගවේෂණය කර ප්‍රඥාව පහළ කරගැනීමට " ත්‍රෛලෝක්‍යවිජයා" සිහි බුද්ධියෙන් කියවා අවබෝධයක් ලබාගන්න.

පොතේ ඇති හැමදේම කියන්න යාමෙන් එහි ඇති රසය අඩුවිය හැකියැයි මට දැන් සිතේ.එය මෙය කියවන්න බලාපොරොත්තුවෙන් සිටින පාඨකයාටද කරන අසාධාරණයකි.කවදත් සිදුවනවා සේ කංසා ගැන කුහුලක් ඔබට ඉතිරි කළ යුතුය.කුතුහලයක්ද නොතිබ්බොත් වැඩක් නැත.සර්ප්‍රයිස් වෙන්නේ එතකොටය.තහනමට අදාළ වැඩි විස්තර සඳහා "ත්‍රෛලෝක්‍යවිජයා" කියවන්න.

නිර්මාලයා
Nirmal Ranasinghe Bmd

16.08.2017