Featured Post

Saturday, September 10, 2016

මේරියන්ස් එකෝස්ටිකා (Marians Acoustica) සැබැවින්ම අන්තර්ජාතික තලයේ ප්‍රසංගයක්ද..?


ඔවුහු ලංකාවට Un-plugged සංගීත ශෛලිය හඳුන්වා දීමේ පුරෝගාමියෝය.පසුකාලීන මෙරට බොහෝ අය Unlplugged ශෛලියට නතු වන්නේ එකී ආභාෂයෙනි.පස්විසි වසරක් කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ දුක සතුට නින්දා පැසසුම් සමඟින් කට්ට කා නමක් හදාගත් නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායම සිය විසිපස්වන සංවත්සර නිමිති කරගෙන පවත්වන්නේ Marians Acoustica නම් සංගීත ප්‍රසංගයකි.එය Unplugged වලම වඩා වැඩිදියුණු කළ ප්‍රභේදයක්/දිගුවක් ලෙස හැඳින්වීමට මා කැමැත්තෙමි.

ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව Accoustic යන වදනේ සංගීතමය පැත්තෙන් ගත් කළ අරුත් මෙසේය.

"Not having Electrical Amplification"
"Relating to sound or the sense of Hearing".

මෙය ග්‍රීක වදනින් බිදී ආවක් ලෙස සැලකේ.
Origin Greek -> Greek
Akouein         ->    Akoustikos- > Acoustic

මෙහිදී භාවිතා වන සංගීත භාණ්ඩ ඉලෙක්ට්‍රොනික නොවන අතර වාදනය කරන්නේ අමුවෙනි.අමුවෙන් යැයි මා පවසන්නේ සංගීත භාණ්ඩයේ නියම (Original) හඬ අදාළ සංගීත භාණ්ඩයම වාදනය කිරීමෙන්ම උකහා ගන්නා බැවිනි.Synthesizer හරහා කිසිදු අපහසුවකින් තොරව ඕනෑම සංගීත භාණ්ඩයක හඬක් වත්මනේ ලබාගත හැකි වුවත් ඒ හඬවල් (Tones) කෘතිමය.එය කිසිඳු සංගීත භාණ්ඩයක නියම හඬ හා 100% කිසිදින ගැලපෙන්නේ නැත.එමෙන්ම නියම සංගීත භාණ්ඩයක් වාදනයේදී වාදකයාට දැනෙන හැඟීම,අඳාල සංගීත භාණ්ඩය වාදනය හා ඇතිවන බද්ධ වීම කෘතිමකරණයේදී දැනෙන්නේ නැත.

එකෝස්ටික් සහ ක්ලැසිකල් ගිටාර්,වයලීන්,ට්‍රම්පට්,ඩ්‍රම්ස්,තාල වාද්‍ය භාණ්ඩ(Percussion ) මීට උදාහරණ කීපයකි.නමුත් ප්‍රායෝගිකව භාවිතා කිරීමේ/හැසිරවීමේ  පහසුව උදෙසා ඇතැම් සංගීත භාණ්ඩ වෙනුවට මෙහිදී ඉලෙක්ට්‍රොනික භාණ්ඩ යොදා ගන්නා අවස්ථාද ඇත.(පියානෝ වෙනුවට Keyboards)

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නොතිබූ අතීතයේ  විශාල වාදකයින් පිරිසක් සහභාගි සංගීත භාණ්ඩ වාදනය කර සංගීත සංධ්ව්නි පවත්වා ඇත.අර කලින් කිවූ Sence of Hearing ඇත්තේ මෙතැනය.එකිනෙකට වෙනස් සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් කෘතිම නොවන ශබ්ද මඟින් උපදවා ගත් නාදරටා ශ්‍රවණයේදී ඇසීමේ සංවේදි බවක් බිහිකර ඇත. අවාසනාවට වත්මනේ නැත්තේද එයයි.නමුත් කාලයාගෙ ඇවෑමෙන් වත්මනේ ප්‍රේක්ෂකයාට වඩා හොඳ කර්ණ රසායනයක් දීමේ අරමුණින් මෙකී සංගීත භාණ්ඩ වාදනයේදී බිහිවන නාද මයික්‍රෆෝන මාර්ගයෙන් ශබ්දවාහිනි යන්ත්‍ර හරහා වර්ධනය කර අසන්නට සලස්වන්නේ තාක්ෂණයේ දියුණුව සමඟිනි.එවිට එකෝස්ටික් නාද රසය තවත් සුපැහැදිලිය.

තමන්ගේම යැයි කිවහැකි ස්වතන්ත්‍ර  ගීත ගොන්නකට උරුමකම් කියන මේරියන්ස් සංගීත කණ්ඩායම එකෝස්ටිකා ප්‍රසංගයට ගීත තෝරාගෙන ඇත්තේ බොහෝ සැලසුම්සහගතව බව පැහැදිලිය.එහි සංගීත කණ්ඩායමේ ස්වතන්ත්‍ර  ගීත ඇත්තේ ටිකකි.

මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත "කණ්ඩායම් සංගීතය" නම් පොතේ ඇති මේරියන්ස් ස්වතන්ත්‍ර ගීත අරබයාඅ වූ රෙකමදාරුවකි.

"මේ වනවිට සංගීත කණ්ඩායම් රාශියක් බිහිවී ඇතත් ඔවුන් අතින් ස්වතන්ත්‍ර ගීයක් බිහිවී ඇත්තේත් ඉතා කළාතුරකිනි.මේරියන්ස් වෙනුවෙන් නලින් පෙරේරා ගැයූ "අංජලිකා" එබඳු එක් ජනප්‍රිය ගීයකි."

නමුත් එය නලින් හා ප්‍රසන්න රෝසාට අනුව නම් කණ්ඩායමේ වැඩිම දුක් වින්ද ගීතයය.!හේතුව නොයෙක් අවස්ථාවලදී අනේකවිධ ශෛලීන්වලට මේ ගීතය ගයා ඇති බැවිනි.
යළිත් ප්‍රධාන මාතෘකාවට..

එකෝස්ටික් සංගීත ශෛලියට අනුගත වීමේදි අතට අහුවෙන හැම ගීයම එකෝස්ටික් ආකෘතියට බලෙන් ඔබන්න බැරිය.එය ප්‍රායෝගිකව අපහසුය.නීරස වීමටද ඉඩ ඇත.ඒ නිසා වඩා ගැලපෙන ගී පමණක් තෝරා බේරා ගැනීමෙන් එකෝස්ටික් නාද වර්ණ (Tone Colour) හා කර්ණ රසය නිර්මාණය කරගැනීමට ඔවුන් සමත් වී ඇත.

විශ්ලේෂණාත්මකව බැලුවොත් තෝරාගත් ගීත පහත පරිදි වෙන් කළ හැක.

1. කණ්ඩායමේ පැරණි ගීත
2. නලීන් පෙරේරාගෙ ඒක පුද්ගල (Solo) ගීත
3.මින් පෙර නෑසූ නවතම ගීත ( ලයිලා,සේරා හා ජීවිතේ විඳගන්න)
4. අන් අය ගැයූ ගීත (පුද්ගල හෝ කණ්ඩායම් ලෙස)
5. බටහිර ගීත
සහ තව එක් හින්දි ගීයක් ඇතුළත්ය.

ප්‍රසංගයේ ආරම්භයේ ගායනා කරන "මේ ජීවිතේ" ගීතය මේරියන්ස් සංගීත කණ්ඩායමේ පැරණි ගීයකි.පැරණි සංගීත සංරචනය (Music Arrangements) වෙනස් කර එකෝස්ටික් ආරට ගැලපෙන පරිදි නව වර්ණ ගැන්වීමක් කර ඇත. එහි හැඳින්වීම (Introduction) කොටසේ එකෝස්ටික් ගිටාර් වාදන කොටස Scorpions නම් ජර්මානු රොක් සංගීත කණ්ඩායම ඉදිරිපත් කළ  Loving You Sunday Morning ගීතයේ හැඳින්වීමේ (Intro) කොටසට මඳ සමාන බවක් දක්වන බව මගේ හැඟීමයි.Interlude කොටස් සඳහා එකෝස්ටික් ගිටාරයෙන් සහ ඕගනයෙන් නව කොටස් එකෝස්ටික් රසයෙන් නිර්මාණාත්මකව හැඩ ගන්වා ඇත.සැලසුම් සහගතව ආරම්භක ගීය හොඳ ජවයකින් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසංගයට නැවුම් ප්‍රබෝධයක් සේම හොඳ අඩිතාලමක්ද එක් කරයි.

ඊළඟට ගැයෙන නලින් පෙරේරා ගේ "කිරිකැටි යෞවනයේ" ගීතය 2004 වසරේ නිකුත් වූ "බඹරිඳු" නම් තනි පුද්ගල (Solo) ඇල්බමයේ ගීතයකි.ප්‍රසන්න රෝසාගෙ එකෝස්ටික් ගිටාර වාදනයෙන් ගීතයට හොඳ කළඑලියක් ලබාදෙන අතර ශිවන්තගේ සුසංවාද (Harmony) ගායනය එහි හැඟීම් තවත් තීව්‍ර කරයි.

සඳළුතලේ,නාරිලතා මලේ වැනි ගීත සඳහාද ශිවන්ත සුසංවාද (Harmony - එකම තනුව හඬ තල කීපයකින් එකට ගැයීම ) ගායනයෙන් දක්වන දායකත්වය විශේෂය.ඒ සඳහාම විශේෂිත වූ (Specialzed) කටහඬක් ඔහු සතුය.

බඹරිඳු ගීතයට Alto Sax,Tenor Sax දායකත්වයෙන් වැයෙන කොටස් හා එකෝස්ටික් ගිටාර් වාදනයද මේ ගීත එකී ආකෘතියටම ඔබින ගීත බව පසක් කරයි.නලින් පෙරේරාගෙ ඒක පුද්ගල (Solo) ගීතවල මුල් සංගීත සංරචනය ඒ ආකාරයෙන්ම භාවිතා කර ඇති අතර ඒවා එකෝස්ටික් ආකෘතියට විශේෂයෙන් වෙනස් කර නොමැති වීම මෙහි ඇති විශේෂත්වයකි.මීට හේතු වන්නේ අතීතයේ මුල් සංගීත සංරචනය (Music Arrangements )(උදා: බඹරිදු ගීතයේ සැක්සෆෝන් හා ගිටාර් වාදන කොටස්) වත්මන් එකෝස්ටික් ආකෘතියට බෙහෙවින් සමාන වීමය.

1995 වසරේ "Don Juan DeMarco" නම් චිත්‍රපටයට රොක් සංගීතඥ Bryan Adams ගැයූ "Have You Ever Really Loved a Woman?" නම් ගීතය මේ ප්‍රසංගයේ ගායනා කළ සහය ගායක ශිවන්ත ෆර්නැන්ඩෝ එම ගීතයට උපරිම සාධාරණයක් ඉටු කර ඇති අතර Latin Rock සංගීත ශෛලියට (Genre) නෑකම් කියන මේ ගීය පුරාවට පිරිමැදෙන චමින්ද සිල්වාගේ Classical ගිටාර වාදනය මුල් ගීයේ තරමට විශිෂ්ටය.මනස්කාන්තය.ප්‍රසංගයේ අවසාන භාගයේ ඔහු වාදනය කරන ඒක පුද්ගල (Solo) ගිටාර් වාදනයත්, Extreme නම්  ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමේ "More than Words" නම් ගීතයට Acoustic ගිටාරය වාදනය කරන ආකාරය අති විශිෂ්ට මට්ටමක පවතී.මුල් ගී වාදනයන් හා සසඳා බලන කළ මෙම ප්‍රසංගයේ  වාදනයන් කිසිදු වෙනසක් නැති අතර ඊට සමාන මට්ටමකට ගෙන ඒමට තරම් ඔහුගේ ශිල්පීය දක්ෂතාවය ප්‍රබලය.හේ එහි නිපුණයෙකි.

ශිවන්ත,දිලීප හා චමින්ද යන තුන්කට්ටුව එක්ව "More than Words" ගීතය  ඉදිරිපත් කරන ආකාරයෙන් නියම එකෝස්ටික් රසය නම් මේ යැයි විඳගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව ලැබී ඇත.

තවද ශිවන්ත ගැයූ යෞවනේ,Mariya(Ricky Martin),අභිමාන් චිත්‍රපටයේ Meetha Na වැනි ගීතවලට කන් යොමන විට ඔහුගේ කටහඬේ පාලනය,එහි වපසරිය ඇත්තේ කොතැනද යන්න සිතා ගත හැක.එය හොඳින් කට ඇර ගායනා ඉදිරිපත් කළ හැකි පෞරුෂයක් සහිත කටහඬකි.ගායනයෙන් නොනැවතී හාමොනිකාව( Harmonica),මෙලෝඩිකාව (Melodica) වැනි සංගීත භාණ්ඩ වාදනයෙන්ද ඔහු තම දස්කම් විදහා දක්වයි.

විශිෂ්ට ගණයේ ජෑස් සංගීතඥයෙකු වන ලුවී ආම්ස්ට්‍රෝන් (Louis Armstrong ) 1967 ගැයූ What a Wonderful World නම් ගීතය ප්‍රසංගය අලංකාර කළ තවත් ගීයකි.මංගල පෙරේරා ගැයූ ඒ ගීයට මෙරට කණ්ඩායම් සංගීත වේදිකාවක විරලව යොදාගන්නා ඩබල් බේස් ගිටාරයක් (Double Bass) යොදාගෙන ඇත.ඉතා පහත් (Low)ස්වර වාදනය සඳහා මෙය භාවිතා කරන අතර මෙය Contra Bass ලෙසද හඳුන්වයි.

එම ගීතයේ පසුබිමින් ඇහෙන පියානෝ වාදනය සහ කැලතී එන French Horn නම් සංගීත භාණ්ඩය වාදනයද ගීතයට එක් කරන්නේ කන්කළු රසයකි.වයලීන් වාදනයත් ඊටම එකතු වූ විට මැවෙන්නේ බොහොම  අපූරු සංගීත සංයෝජනයකි.ආම්ස්ට්‍රෝන් Jazz සංගීතයට සුවිශේෂී මෙහෙවරක් කළ පුද්ගලයෙක් ලෙස සැලකෙන අතර මේ ගීය ඔහු ගැයූ ජනප්‍රියම ගීවලින් එකකි.

Al Jarreau නම් ජෑස් ගායන ශිල්පියා විසින් ගායනා කරනු ලැබූ Spain නම් ගීතය මෙහි ඉදිරිපත් කළ තවත් වැදගත් ගීයකි.එය වාදනයට හා ගායනයට ලේසි පහසු නැති අභියෝගකාරී ගීයක් වන නමුත් පූර්ව අත්දැකීම්, වාද්‍ය ශිල්පයේ නිපුණත්වය,සතතාභ්‍යාසය හා පරිණත බව යන සාධක මත එකී අභියෝගය ජයගන්නට මේරියන්ස් සංගීත කණ්ඩායම සමත් වෙයි.සුප්‍රකට ඇමෙරිකානු ජෑස් (ෆියුෂන්)පියානෝ වාදකයෙක් වන ග්‍රැමී සම්මාන ලාභි Chick Corea විසින් 1971 දී මෙහි සංගීත අධ්‍යක්ෂණය කර ඇති මේ ගීය ඔහුගේ විශිෂ්ටතම සංගීත රචනාවලින් එකක් ලෙස සැලකේ.දිලීප මංගලගේ (ගීතය මැද වාදනය වන Solo වාදනය ඇතුළුව) කීබෝඩ් වාදනයත් සුභාෂ් හා ජයන්තගේ ඩ්‍රම්ස් හා පර්කෂන් වාදනයත් චමින්ද සිල්වාගේ බේස් ගිටාර් වාදනයත් එක්ව මංගල පෙරේරාගෙ ගායනයෙන් මේ ගීයට සාධාරණත්වය ඉටු කිරීමට ඔවුන් සමත් වෙයි.

ජෑස් සංගීත ශෛලියට නතුව සංගීතවත් කළ "දුරකථනයකින්" ගීතයද ප්‍රසංගයට ගෙන දෙන්නේ නැවුම් අත්දැකීමකි.සරල තනුවක් මත වැයෙන නිතර ඒකාකාරි ස්වරූපයකින් ඇසුණු "දුරකථනයකින්" ගීතයට එකෝස්ටික් සංගීතයෙන් කර ඇත්තේ නව වර්ණ ගැන්වීමකි. Selmer සැක්සෆෝන් වාදනය,පියානෝ වාදනය හා Brushes මගින් වාදනය වන ඩ්‍රම්ස් කට්ටලය ජෑස් ශෛලියේ නාද වර්ණයන් මේ ගීයට එක් කරන්නට සමත්ව තිබේ.Double Bass වාදනයද ගීතයට අපූරු රිද්මයක් එකතු කරයි.එය බොහෝ අපූරු නිර්මාණයකි.

ප්‍රසන්න රෝසා ගයන "ලයිලා" නම් නව ගීය, පද රචනයටම ගැලපෙන සංගීතයක් විමල් කුරුප්පු නම් සංගීතවේදියා විසින් භාවිතා කර ඇත.B Melodic Minor ස්වර පරාසයේ වැයෙන මේ ගීය මැද පෙරදිග සංගීත ඌරුවක් සහිතය.ඉරගින්න ඇති සහරාවේ ලයිලා නම් කාන්තාවක් ගැන කියවෙන මේ ගීය වාදනයට සංගීත භාණ්ඩ බොහොමයක් එක්කර ඇත.

ප්‍රාරම්භක සංගීතයට (introduction) සේම අන්තර් සංගිත (Interlude)ඛණ්ඩවලටද Trumpets ,trombune,හා Saxophones භාවිතා කර ඇති අතර දෙවන අන්තර් සංගීත ඛණ්ඩයේදී වැයෙන දර්බක් (Darbuka -මැද පෙරදිග නිජබිම සේ සැලකෙන තාල වාද්‍ය භාණ්ඩයකි) වාදනයත් Accordion වාදනයත් ගීතයට එක් කරන්නේ වෙනස්ම අපූර්වත්වයකි.

එමෙන්ම ප්‍රසන්න රෝසාගේ "සේරා" (A Melodic Minor) නම් ගීයද වෙනස්ම රසයක් ඇති  ලතින් ඇමෙරිකානු රිද්මයක් සහිත ගීයකි.මේ ගී යුග්මයම මේ ප්‍රසංගයට එක් කර ඇත්තේ නව කළඑළියකි.

තවද කණ්ඩායම් සංගීතයේ පුරෝගාමීන් වූ නෙවිල් ෆනැන්ඩු (ලොස් කබය්යෙරෝස්), ලොස් ෆ්ලෙමින්කෝස්,ලා බම්බාස් වැනි සංගීත කණ්ඩායම්වල පැරණි ගීත පහක් එක්කර තැනූ අවිරාම ගීත කීපයද අපූරුවට ගලා යයි.එහි "සමුදුරු දේවි" ගීතය ආරම්භයේදී තාල වාද්‍ය භාණ්ඩ මඟින්,මුවින් නිකුත් කරන විවිධ හඬ මඟින් දුම්රියක් වේදිකාවකින් පිටත්වන අන්දම සිත් තුළ අපූරුවට විචිත්‍රණය කරයි.

ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පී සුභාෂ්ගේ සහ තාල වාද්‍ය ශිල්පී ජයන්ත කන්ඳබඩගේ හැකියාවන් අතිශය විශිෂ්ට මට්ටමක ඇති අතර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කරන තාල වාද්‍ය වාදනය ප්‍රසංගයේ සුවිශේෂී අංගයකි.දෙදෙනාගේම ශිල්පීය දක්ෂතාව ඉතා ඉහළය.යුග වාදනයේදී ඔවුන් දෙදෙනා සිය වාදනයන් ඉදිරිපත් කරන්නේ දෙදෙනෙකු අතර ඇතිවන සංවාදයක ස්වරූපයෙනි.තාල වාද්‍ය භාණ්ඩ වාදනයේදී ඔවුන් දෙදෙනා අතර පවතින්නේ අපූර්ව අනොන්‍ය සම්බන්ධතාවයකි.Spain ගීතයට කළ සුභාෂ්ගේ ඩ්‍රම්ස් වාදනය ඔහු එහි කෙළ පැමිණියකු ලෙස සැලකීමට තරම් තවත් අටුවා ටීක අවැසි නැති සාධකයකි.

ජයන්ත සියළු අවනද්ධ භාණ්ඩවලින් සන්නද්ධ වන අතර එකී තාල වාද්‍ය භාණ්ඩ මහද්වීපික කීපයක එකතුවක් සේ සැලකිය හැක.ලතින් ඇමෙරිකානු,අප්‍රිකානු,ආසියා වැනි මහද්වීප නිජබිම කරගත් කොන්ගා(Conga),බොන්ගා (Bonga),කහෝන්(Cajon),ටිම්බාල්(Timbal),Talking Drum,Djembe,Wood Cabin,Darbuka,Cowbell,Maracas,Shakers,Kabasha, Chimes වැනි එකිනෙකට වෙනස් තාල වාද්‍ය භාණ්ඩ එකතුවකි.මේ සියලු භාණ්ඩ යොදාගෙන ඇත්තේ වත්මනේ නොඇසෙන නියම සංගීත නාද රටා උපදවා ගැනීමේ අරමුණින් බව පැහැදිලිය.සැබවින්ම ජයන්ත කඳබඩගේ යනු කලට වේලාවට යාවත්කාලීන වූ තාල වාද්‍ය ශිල්පියෙකු ලෙස හැඳින්වීමට මා කැමතිය.

අතීතයේ එළිමහන් ප්‍රසංග වේදිකාවේ සිටම සිය ප්‍රේක්ෂකයන් තමාට නතු කරගැනීමේ  ආකර්ෂණීය කටහඬක් හිමි නලින් පෙරේරා මෙහිදීත් ප්‍රසංගය පුරාවටම ප්‍රේක්ෂකයන් තමන් වෙත වසඟ කර තබා ගැනීමට සමත් වෙයි.නමුත් එය එළිමහන් වේදිකාවට වඩා මඳක් සංයමයෙන්, මෙවැනි ප්‍රසංගයකට ගැලපෙන ශෛලියකින් සිදු කිරීමට ඔහු වග බලා ගනී.නායකයා වශයෙන් ඔහු තම කණ්ඩායම ප්‍රසංගය පුරාවටම පිළිවෙලට මෙහෙයවයි.

නවමු ප්‍රාසාංගීක අත්දැකීම් රැසකින් හෙබි Accoustica ප්‍රසංගයේ සාම්ප්‍රදායික සංගීත කණ්ඩායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් කළ පැහැදිලි  වෙනස්කම් කීපයක් දැක ගත හැක.නිත්‍ය සාමාජිකයන්ට අතිරේකව වයලීන් වාදකයින්(String Section) හා පිත්තල ශුෂිර භාණ්ඩ වාදකයින් (Brass Section) යොදා ගැනීම ඉන් එකකි. පිත්තල ශුෂිර භාණ්ඩ  (Brass Section)සඳහා ට්‍රම්පට් (Trumpet) වාදකයින් දෙදෙනෙක් ට්‍රොම්බූන් (Trombune) වාදකයෙක් යොදාගෙන ඇත.අවස්ථානෝචිතව ගීතයට French Horn නම් වාද්‍යය භාණ්ඩයද යොදාගෙන ඇත.වයලීන් අංශය සඳහා චෙලෝ (Chello) වාදකයෙක් එකතු කරගත්තා නම්  ඇතැම් සංගීත කොටස්වල නිර්මාණාත්මක බව තවත් වැඩි දියුණු කිරීමට හැකිව තිබූ බව මගේ පෞද්ගලික අදහසයි.

කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයන් වූ මංගල සහ දිලීපගේ Alto හා Tenor (Woodwind Instruments) සැක්සසෝන් වාදනය මඟින් එයට තවත් අතිරේක අලංකාරයක් එකතු කරයි.

තවද ප්‍රසංගයට නියම එකෝස්ටික් සංගීත රසය (Original Tone) මතු කරගැනීමේ අරමුණින් යොදාගත් සංගීත භාණ්ඩද බොහොමයකි.හාමොනිකාව (Harmonica),එකෝඩියනය,(Accodian),ඩබල් බේස්(Double Bass),මෙලෝඩිකාව,දොළොස් තත් ගිටාරය,(12 Strings Guitar),ඉන් කීපයකි.

මේරියන්ස් සාමාජිකයන් හැමකෙක්ම බහු සංගීත භාණ්ඩ වාදකයින් (Multi Instrumentalist) වීම මෙහි දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි.ඔවුන් එක් සංගීත භාණ්ඩයකට සීමා නොවී එකිනෙකට වෙනස් භාණ්ඩ වයමින් ශිල්ප දැක්වයි.දිලීප මංගල,චමින්ද සිල්වා,ප්‍රසන්න රෝසා,ජයන්ත,ශිවන්ත,රුවන්,සුභාෂ්  එසේ කැපී පෙනෙන වාදකයින්ය. එයිනුත් දිලීප මංගලගේ බහු වාදන හැකියාවන් සුවිශේෂීය.එමෙන්ම ඔවුන්ගේ වාද්‍ය විලාසය,වාද්‍ය ශිල්ප ක්‍රමවල නිපුණත්වය (Techniques)නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් (Creative Performance) ඉතාමත් ඉහළය.

කණ්ඩායමේ සාමාජිකයන් සතු සෑම දස්කමක්ම අන්තර්ජාතික මට්ටමේ වාද්‍ය වෘන්දයක් හා කරට කර සිටීමට තරම් ප්‍රබලය. ප්‍රසංගය සඳහා ඔවුන් භාවිතා කර ඇති ශබ්ද තාක්ෂණික ක්‍රමවේදයන් වත්මනේ භාවිතා වන අති නවීන පහසුකම්ය. නාද රටා බොහෝ සුපැහැදිලිය.මේවා ඕනෑම සංගීතමය භාවිතාවක ගුණාත්මක බව (Quality) සහ තත්ත්වය (Standards) කෙරෙහි ඉවහල් වන කරුණුය.එමෙන්ම වත්මනේ බහුතරයක් අය නොසිතන දෑය.

සැබැවින්ම කිසිම පැකිලීමකින් තොරව මෙය අන්තර්ජාතික මට්ටමේ ප්‍රසංගයක් හා සමතැන්හි ලා සැලකිය හැකි ප්‍රසංගයක් සේ සැලකීමට පසුබට විය යුතු නැත.ඩීවීඩී පටය නැරඹීමෙන්ම මෙකී කරුණුවල සත්‍යතාවය පහසුවෙන් අවබෝධ කර ගත හැක.අන්තර්ජාතික මට්ටමකදී මෙම ප්‍රසංගය ඉදිරිපත් කළේ නම් ඊට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබාගත හැකි වනු බව සක්සුදක් සේ පැහැදිලිය.

එමෙන්ම සෑම සාමාජිකයෙක්ම කාලානුරූපීව යාවත්කාලීනය.ගතානුගතිකව එකතැන පල් නොවෙමින් සංගීතමය නව්‍යකරණයේ අළුත් දෑ සොයා යන්නට, වෙනස් දෑ ඉදිරිපත් කිරීමට නිරන්තරයෙන් ඔවුන් උත්සුක වේ.විය යුත්තේද එයයි.එක් ශෛලියකට කොටු නොවී විවිධ දෑ අත්හදා බැලීමෙන් විවිධ ශෛලීන් භාවිතා කිරීමෙන් නව සංගීත ඉසව් සොයා යාමෙන් නව්‍යතාවෙන් යුතු සංගීත නිර්මාණ බිහිවිය යුතුය.

ප්‍රසංගයේ ගැයූ හැම ගීයකම පදරචනය,සංගීතය,ඇතැම් විට මුල් ගායනය කාගේද යන්න සෑම ගීයක්ම ගායනා කිරීමට පෙර ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම පැසසිය යුතු කරුණකි.

මෙකි ප්‍රසංගය සජීවීව නැරඹීමෙන් මා මහත් ආස්වාදයක් ලද අතර එය තවමත් මතකයෙන් නොගිලිහෙන අත්දැකීමකි.විසිපස්වසරකට ආසන්න කාලයක් සාමාජිකයන් ලෙස කණ්ඩායමේ රැඳී සිටි රුවන් ප්‍රනාන්දු හා ප්‍රසන්න රෝසාගෙ මෙහෙවරද සුලුපටු නැත. ඇතැම් විට සොයා බැලුවහොත් එය මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ වාර්තාවක්ද විය හැක. නලින් පෙරේරා කියා සිටියේ ප්‍රසංගයේ බොහෝ සංගීත සංරචනයන් (Music Arrangements ) ප්‍රසන්න රෝසාගේ බවත් ඒ සඳහා ඔහු සතු දැනුම, නිර්මාණශීලිත්වය (Creativity )ඉතා ඉහළ බවත්ය.ඔහුගේ හා නලින් පෙරේරාගෙ එක පන්තියේ සඟයා වූ රුවන් ප්‍රනාන්දුගේ නිහඬ මෙහෙවර උදෙසා ඔවුන් ඇගයීමට ලක්කිරීම අගය කළ යුතු කරුණකි.

අවුරුදු දෙකකට වඩා ගතවීත් එහිදී ප්‍රසන්න රෝසා ප්‍රේක්ෂකාගාරය අමතා බොහෝ නිරහංකාරව කී කථාව මට අද මෙන් මතකය.(එය මෙකී ඩීවීඩි පටයේ අන්තර්ගත නැත.)

"මම ඇවිල්ල ප්‍රසන්න.රෝසා කියල කෑල්ලක් මට තිබුනෙ නෑ.මාව රෝසෙක් කළේ උඹ.මගේ මොකක් හරි දක්ෂකමක් තියෙන්න ඇති.ඒත් දක්සකමක් තිබුන පලියට තැනකට එන්න අමාරුයි...නිකම් බෑ.ඒකට වාරුවක් ඕනෙ..ඒ වාරුව උඹ.නලින් තමයි මගෙ වාරුව."

කතාව ඇත්තය.90  දශකයේ මැද භාගයේ දවසක ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවැත්වූ සිරස කඩමණ්ඩිය ප්‍රසංගයක් අහම්බෙන් රේඩියෝවෙන් ඇසූ මොහොතේ පටන් උමතුවෙන් මෙන් මේරියන්ස් ශ්‍රාවකයෙකු/ප්‍රේක්ෂකයකු වූ මා පසුගිය විසි අවුරුද්ද පුරාවටම කාලානුරූපීව එළිමහන් ප්‍රසංග වේදිකාවේ සිට ගෘහස්ථ වේදිකාවේ අන්ප්ලග්,එකෝස්ටිකා සංකල්පය තෙක් ඔවුන් කළ වෙනස්කම් පැහැදිලිව අත්දුටුවෙමි.සජීවීව විඳ ගතිමි.ඔවුහු නිසි කළට නිසි වෙලාවට විනයක් සහිතව අවශ්‍ය වෙනස්කම් සිදුකළහ. අඩුත් නැති වැඩි නැති රසයෙන් පිරිපුන් තෙහෝරාවකට සිය ප්‍රසංග සීමා කළහ.වැල යන අතට මැස්ස නොගසා අළුත් වෙනසක් සහිතව උඩුගං බලා පිහිනූහ.

ඉතින් ප්‍රසන්න රෝසා කිව් ඒ කතාවම ටිකක් එහා මෙහා කර  කිව්වොත් මට කියන්න ඇත්තේ අද අපේ රටේ මියුසික් අළුත් මාවතකට හැරී ඇති බවය.එකී සංගීත රසය නිරන්තරයෙන් සොයන රසභාවයෙන් යුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩ නඟා ඇති බවය.තුට්ටු දෙකේ කසිකබල් සංගීතයෙන් සුවහසක් රසිකයන් මුදවාගෙන කර්ණ රසායනයෙන් යුත්, ගුණාත්මක හා නිර්මාණශීලීබවින් ඉහළ සංගීතමය වෙනසක් අත්දැකිය හැකි මඟකට  ඔවුන් යොමු කළ බවය.එහි පෙරගමන්කරුවෝ මේරියන්ස් සංගීත කණ්ඩායම බවය.මෙරට සංගීත ක්ෂෙත්‍රයට ප්‍රබල බලපෑමක් කළ තත්ත්වයෙන් උසස් අන්තර්ජාතික මට්ටමේ ගුණාත්මක සංගීතයේ වාරුව නලින් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස් බවය.

නිරා/නිර්මාලයා
Nirmal Ranasinghe Bmd.
10.09.2016