Featured Post

Friday, June 12, 2020

" නෝනා මට අත වනනවා " ලිව්වෙ කවුද ?

ලෝකෙ සමහර සින්දු තියනව කොයිතරං කල් ගියත් නොමැරෙන.ලංකාවෙත් තියනව.ඒවට අපි කියනව අමරණීය නිර්මාණ කියල.ඒවා ඉතිං ගලේ ගහලවත් මරන්න බෑ.ඒවා එවර්ග්‍රීන් හිට්ස්.

මේ කියන්න යන නිර්මාණෙත් එහෙම එකක්.කාලයක් තිස්සෙ මේ නිර්මාණයෙ රචකයා කවුද කියල හොයාගන්න ඕන උනත් ඒකට මට ටිකක් කල් ගියා.

දවසක් මං මගෙ අතිශය හිතවත් දිලීප මංගලගෙන් අහනව.

" අයියෙ ? සුනිල් අයිය කියන නෝනා මට අත වනනව කියන සින්දුවෙ මියුසික් කාගෙද ? සුනිල් අයියගෙමද ?

ඕක මං හෙන ආසම සින්දුවක්.( මට විතරක් නෙමේ බහුතරයකට එහෙමයි ) පැල් බැඳං නැටුවැකි.යන්තං ඇහුණත් නිකම්ම නැටවෙනව.ඉතිං ඕක දිලිප අයියගෙන් මං ඔහොම ඇහුවෙ එයා ෆෝම ජිප්සීස් කීබෝඩිස්ට් නේ.

අනික ජිප්සීස්ලගෙ ගොඩක් සින්දුවල තනු , සංගීතය එයාලගෙම ඒවා.හැබැයි මේ සින්දුවෙ සික්ස් එයිට් ඇරුණු කොට පොඩ්ඩක් අර ජිප්සීස් කලර් එක අඩුයි.ඒම ඩෞට්ටෙකක් තියාගන තමා මං එයාගෙන් එහෙම ඇහුවෙ.

" නෑ බං සුනිල් අයිය නෙමේ.වෙන කවුරු හරි ඒක කලේ.මට මතක නෑ."

" එතකොට ලිව්වෙ කවුද ?"

" ලිව්වෙ බං මට මතක විදියට ඩබ්ලිවු.ජයසිරි.. !"

" හෑං ! .. අනෙප්පලයං බං යන්න.. ඩබ්ලිවු ජයසිරි ලියයිද ඔය වගෙ බයිල සින්දුවක්..වෙන්න බෑ. ! "

ඩබ්ලිවු ජයසිරි සින්දු ලියනව කියල දැනං හිටියට ඒ ලිව්ව සම්භාව්‍ය මට්ටමේ ඒවත් එක්ක මේ වගෙ එකක් ලියයි කියල හිතන්න මට හිත දෙන්නෙම නෑ.හැබැයි ඉතිං කිව්ව කෙනා සුවර් හින්ද එහෙම නොහිතත් බෑ.

" නෑ බං... එයා වෙන්නෝන.මට ලාවට මතකයි.හරියටම මං හොයල බලල කියන්නං. "

" හා "

ඉතිං ඒ කතාව එතනිං ඉවරයි.අහන්නං කිව්වට එයාට තියෙන වැඩවල හැටියට ඕක අමතකයි.සුවර් !

හැබැයි දැන් මට පොඩි හරි ක්ලූ එකක් තියෙනව සින්දුව ලිව්ව කෙනා ගැන.ඩබ්ලිවු ජයසිරි !

-------------------------------

කාලය ඔහොම ගෙවිල ගිහින් මෑත දවසක සන්නස්ගල සර්ගෙ තැප්‍රොබේනියන් ගිය වෙලාවක ගෙනාව පොත් ගොඩක් අස්සෙ තිබිල මං ගන්නව කෙටි කතා පොතක් කියවන්න.

" දේශද්‍රෝහි බල්ලා "

ටොප් භාණ්ඩයක්.මරු කෙටි කතා හත අටක එකතුවක්.ලියල තියෙන්නෙ ඩබ්ලිවු.ජයසිරි.!
යකඩෝ මේ මනුස්සය රඟපානව, සින්දු ලියනව, ඇසිස්ටන් ඩිරෙක්ටිං කරනව, පොත් ලියනව තව මොන මොනවා කරනවද දන්නෑ.. මට හිතෙනව.අම්මප මාර පොරක්නෙ.බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්.

ඉතිං ඒක කියවල ඉවර වෙලා එහෙ මෙහෙ පෙරලනකොට පොතේ ඉස්සරහ පිටුවක තියෙනව ජයසිරි මහත්තයගෙ හෑන්ඩ්ෆෝන් නම්බරේ.

ඔන්න කාලයක් යට ගහල තිබ්බ රබර්බෝලෙ ආයම උඩ එනවා.

"නෝනා මටාත වනනවා. ! "

ජයලත් මනෝරත්න මහත්තයගෙ වේදිකා නාට්‍යය සංවිධානය කරපු අවස්තා කීපයකදිම මට එතුමව හම්බෙල තියනව.කවදත් ඔහු අමුතුම චරිත රඟපෑ අමුතුම චරිතයක්.මං දැක්ක ඉහල කැලිබර් එහෙක ඉන්න, පොඩි ආඩම්බරකමක් තේජසකුත් එක්ක විකල්ප ධාරාවට බරවෙලා ඉන්න මං ආස අයිකොනික් නළුවෙක්.ඒ හින්දම මොකක්දෝ බය පක්සපාතකමක් තියන හින්ද හම්බුන කිසිම දවසක කතාවට ගිහිල්ලත් නෑ.

ඉතිං දැං නොම්බරේ දැක්කම හිතෙනව කතා කරලම අහන්න.දවසක් දෙකක් ගියා.ඇහුවෙ නෑ.ඔන්නොහෙ කමක් නෑ සින්දුව ලිව්වෙ ඔබද කියල අහනව කියල ගත්තා කෝල්ලෙකක්.

එක රිං එකයි.එහා පැත්තෙන් ෆෝන්නෙක ඉස්සෙනව.අර සිනමාවෙ, වේදිකා නාට්‍යවල මට ඇහිල පුරුදු කටහඬ අනික් පැත්තෙන් ගලා එනව.
මං කවුද කින්ද මන්ද කියල කාලාන්තරයක් තිස්සෙ මට වදදීපු ප්‍රස්නෙ මං ඔහුගෙන් අහනව.

" ජයසිරි මහත්මය අර ජිප්සීස්ල කියන නෝනා මට අත වනනවා කියන සින්දුව ලිව්වෙ ඔබතුමාද ?"

මේ එතැන් සිට ඔහු මට කළ විස්තරය.

" ඔව් ! ඒක මං තමා ලිව්වෙ.සොමී රත්නායක කළානෙ ෆිල්ම්මෙකක් " චිට්ටී " කියල.ඒක කමෂල් ෆිල්මෙකක්.ඒක එහෙමට සක්සස් උනේ නෑ.කොටිම්ම මට බලන්න හම්බුනෙත් නෑ. !

ඉතිං ඕකට සින්දු දෙකක් ඕනය කියල ඒක ඩිරෙක්ට් කරපු සරත් ගුණරත්න මට කිව්ව.එකක් ලිව්ව සරත් ගුණරත්න.ඒක රූකාන්තයි ලතායි කියන " සියුමැලී .. සියුමැලි රෝස මලේ.. " සින්දුව.

තව එකක් ඕනයි කිව්ව කපිරිඤ්ඤ ස්ටයිල් එකට එන.ඒකට තමා " නෝනා මට අත වනනව " කියන සින්දුව මම  ලිව්වෙ.ඒක ටිකක් දේශපාලන පැත්තට බර සින්දුවක්.සොමී තමා ඒකෙ පොලිටීෂන්ගෙ චරිතෙ කලේ.එයා පෙරහැරේ එනකොට ඔය සින්දුව කිය කිය, පපර බෑන්ඩ් ගගහ, ඩාන්ස් කර කර එන්න තිබ්බෙ.මම තමා එයාගෙ සපෝටර් විදියට රඟපාලා ළඟින්ම හිටියේ. ( මේ වීඩියෝ එකේ තියෙන්නෙ ෆිල්මෙකේ ඒ කොටස )

" ඉතිං ඕක ලියද්දි කපිරිඤ්ඤ ස්ටයිල් එක ගැන ඔලුවෙ තියං ලිව්වෙ.මොකද කපිරිඤ්ඤවල ලක්ෂණයක් තමා සින්දුවක් ගත්තම එකිනෙකට අසම්බන්ධිත ගී පද ලියවෙන එක.නමුත් අවසානයේ, සේරම එකට දාගත්තම එක් අර්ථයකට එකිනෙකට ගැලපිලා සමෝධානය වෙනව.අන්තිමට ගත්තම කපිරිඤ්ඤ සින්දුවල තනි අයිඩියා එකක් එනව.කපිරිඤ්ඤ පැටන් එකට කියල ඉල්ලුවම මං පොඩ්ඩක් ඒව ගැනත් ඔලුවෙ තියන් ලිව්වෙ."

ඔහු බොහොම නිරවුල්ව හරබර වචන සහිතව කතාව කියනව.

මනුස්සයෙක්ට මේතරම් ප්‍රතිභාවක්, ටැලන්ට් එකක් තියනවද ?

සන්තානම් මෑණියනේ මේ මාත් එක්ක කතා කරන්නෙ පතී මහත්තය අධ්‍යක්ෂණය කළ " බඹරු ඇවිත් " ෆිල්මෙකේ කේමදාස මාස්ටර් සංගීතවත් කරපු උදුම්බරා කියන හෙන සම්භාව්‍ය ගණයේ ගීතයේ පද රචකයා.සින්දුව කොයිතරම් හොඳට ලියවුනාද කිව්වොත් මාස්ටර් ඒ ලිරික්ස්වල එක වචනයක් එහෙ මෙහෙ කරල නෑලු.ඒ ඇරුණම ඩබ්ලිවු.ජයසිරි අතින් ලියවුණු මේ ගණයටම වැටෙන අමුතුම සින්දු ටිකක් තියෙනව.

ලංකාවෙ ෆිල්ම් මියුසික් වල මාස්ට පීස් එකක් උන "උදුම්බරා හිනැහෙනවා" කියන සෝන්ග් එක ලිව්ව මේ පුද්ගලයා, " නෝනා මට අත වනනවා " කියල ඕනම පාටියක්, ඕනම ෆෝරම් එකක් එක මොහොතින් අනික් පැත්ත ගහල නටෝල ගන්න පුලුවන් බජව් සින්දුවක් ලියනව.අරක සම්භාවය මේක පීචං ! ( සමහරක් අය ඒ කාලෙ ජිප්සීස් සින්දුවලට කිව්වෙත් එහෙම !)

මනුස්සයෙක්ගෙ ප්‍රතිභාව මේ වගෙ සහමුලින් වෙනස් අන්ත දෙකක් අතරෙ සැරිසරනවද ? ඒ වගෙ වපසරියක පැතිරෙනවද ? සාමාන්‍යෙන් ගීත රචකයො පවා ඒ ඒ ජොන්‍රාස්වලට කැඩිලනෙ ඉන්නෙ.හැබැයි මෙතන කතාව වෙනස්.ඔහුට මේ හැම සබ්ජෙක්ට් එකක් ගැනම පුදුම බහුශ්‍රැතකමක්නෙ තියෙන්නෙ.

මට කේමදාස මාස්ටර්ව මතක් උනා.ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියෙ කොයිතරම් සම්භාව්‍ය ගණයේ මාස්ට පීස් කොයිතරං ප්‍රමාණයක් හැදුවත් මාස්ටර් ඒ කාලෙ එච්.ආර්. ජෝතිපාලයන්ටත් ගී තනු හැදුව.මොකද අද උදේ වෙනකොට හවා ඔහු වනමින් ඔහුගෙ සින්දු ඇහුනට ඔහුව වන්දනාමාන කලාට එදවස ඔහුව සැලකුවෙ පීචං තුට්ටු දෙකේ ගායකයෙක් විදියට.

" ආදර මල් පවනේ " , " උණට කොත්තමල්ලි දුන්න රෝසා ( ජෝති/ එම්.එස් ) " මාස්ටර් හදපු එච් ආර් ජෝතිපාල කිව්ව ඒව.බැලුවම මේත් එහෙම්මයි.අමුතුම අන්ත දෙහෙක සින්දු දෙකක් ලියල.

සින්දුව ගැන ඔහු බොහොම නිරවුල්ව දක්වපු අදහස්වලට ඔන්නොය වගෙ ප්‍රශ්න ටිකක් එක්ක පොරබදල මාව කැරකිල අතෑරියා වගෙ උනා.මේක කියවන අයටත් එහෙම හිතෙනව ඇති.

" සින්දුවට තනුව දාල මියුසික් කලේ කාලෝ විජේසිරි.ඔහු අපිට හිටපු දක්ෂ සංගීතවේදියෙක්.ඔහු ජීවත් උනේ කළුතර පැත්තෙ..ඔහු වැඩිය කොළඹ පැත්තෙ වැඩකටයුතු වලට සම්බන්ධ උනේ නෑ.අපෙ අය සම්බන්ධ කරගත්තෙත් නෑ වැඩිය.ආත්ම ලියනගේගෙ සින්දු පවා තියනව එයා කරපු." දැන් එයා නෑ.බීලමයි මලේ.සිරොසිස් හැදිල.නොසෑහෙන්න බිව්ව.බයිට් එකට ගත්‍තෙ වේලිච්ච මිරිස්.හරිම දක්ෂ සංගීතවේදියෙක්. "

" හැබැයි ඉතිං ෆිල්මෙක සක්සස් උනෙත් නෑ.සොමී රත්නායක ඇමරිකාවට යනකොට ඔය සින්දු දෙකම ජිප්සීස් සුනිල්ට වික්කා."

කතාලතා අවසන් වේගෙන එද්දි මම කිව්වෙම මට තාමත් ඔබ වගෙ කෙනෙක් මේ වගෙ සින්දුවක් ලිව්ව කිව්ව එක හිතාගන්න බැරි බව.අදහගන්න අමාරු බව.ඔහු මුකුත් කිව්වෙ නෑ.යාන්තං හිනාඋනා ඇහුන.

ඒ උනාට ඒක එහෙමයි." නෝනා මට අත වනනවා " කියන සින්දුව ලිව්වෙ ඩබ්ලිවු ජයසිරි.දැන් මට ඒක කන්ෆම්.

සින්දුවෙ බයිල කපිරිඤ්ඤ රිදම් එක පොඩ්ඩක් අමතක කරල ඩබ්ලිවු ජයසිරි ලිව්ව මේ වචන ටික අරං බැලුවොත් ඒකට යටින් පේන පොලිටික්ස් යටිපෙලක් තියෙනව.

මට අනුව නම් " ලෝරෙන්සෝ ඩි අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා " කියන තැනින්ම තමා මේ පොලිටික්ස් කෑලි පටන් ගන්නෙ.

නිකමට හිතන්න මෙන්න මේ පද ටික.

" රට වටේට ණය වෙනවා .. සුදිය මිසක් වෙන වැඩ නෑ..පියානෝ, ටැමරිං , බැන්ජො , මැන්ඩලිං ( ඒ කිව්වෙ ආතල් පමණයි ! ) " ඕක ලංකාවට ආදේශ කලාම කොහොමද ! ඒ කාලෙ හිටපු පොලිටික්ස් වැඩ කල නෝනලට ආදේශ කලොත් කොහොමද ! ගී පද ගැන පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කලාම නිකං මගෙ ඔලුවට ආව දේවල්.

"බ්‍රැන්ඩි බීල නොන්ඩි ගහල අම්බානක ගුස්ති දාල !" ....

අරින්න්නෙපා.. " එයා ඉඳන් කම් කම් කියනවා.. අපි ඔක්කොම නෝ නෝ කියනවාහ්හ්... නෝනා මටාත වනනවා.. "

ඔව්.. සුනිල් තාමත් " නෝනා මට අත වනනවා " සින්දුව ස්ටේජ්වල කියනව මං දකිනව.ඒක හැමෝම අතරෙ හරිම ජනප්‍රිය සින්දුවක් ඒක.

සමුගන්න කලින් ඔහු අන්තිමට කිව්වෙක ටිකත් හරිම වැදගත්.

" තාමත් සුනිල් ( ජිප්සීස් ) මට හැම අවුරුද්දෙම මගෙ රෝයල්ටි ෆී එක මට එවනවා." ❤❤

"බොහොම ස්තූතියි ජයසිරි මහත්තය මේ විස්තර නිහතමානීව මා එක්ක කිව්වට. " කියල මං සංවාදය අවසන් කළා.

නිර්මාලයා

https://youtu.be/Ypa8nduNO8o

#Gypsies
#nona

Saturday, February 22, 2020

ඔගස්ට් ලෑන්ඩ්මෙස, දොළහක් සහ දේවානි ජයතිලක





අපි සාමාන්‍යෙන් නෑ කියන්න බෑ කියන්න වගෙ වචන කටින් එලියට දාන්න හරි බයයි.ඒවයෙ බර අඩුකරන්න වෙන මොකක් හරි ෂේප්මන්ට් එකක් දාන වචනයක් දාන්න තමයි බහුතරයක් ආස.ඉතිං ඔය වචනෙ එලියට දාන්න පස්මහ බැලුම් බලනව.කෙලිම්ම ප්‍රතික්ෂේප කරන වැඩේ අපේ ජානවල හරි අඩුයි.කොහෙන් හරි නවන්න තමා බලන්නෙ.

පවතින ක්‍රමයට, පාලනයට, එක එකාව තුටු පහටු කරන්න , තමන්ට වාසියක් සලසගන්න, කොටිම්ම කිව්වොත් බයට... වගෙ කරුණු කාරණා ගොඩක් මත ඔය නෑ බෑ කියනෙක ඩිපෙන්ඩ් වෙනව.ඔය අතරෙ යකාටවත් බය නැති තමන්ට කෙලවිලාම ගියත් කමක් නෑ කියල ගත් කටටම නෑ කියන බෑ කියන වානේ වගෙ සවිමත් කොඳු නාරටි තියෙන අයත් ඉන්නව.

1936 හිට්ලර් සමයේ ජර්මනියේ හැම්බර්ග් නුවර නැවක් දියත් කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙනව.ඒ සඳහා සහභාගි වෙන ක්‍රව්ඩ් එක අතරෙ ඉන්න එක මනුස්සයෙක් එවකට පැවැති ඇඩොල්ෆ් හිට්ලර්ගෙ ආඥාදායක පාලන ක්‍රමය හිට්ලර්ට ආචාර කිරීමේ ක්‍රමයක් විදියට හඳුන්වා දුන් සුප්‍රසිද්ධ නාසි සැලියුට් එක රිෆියුස් කරනව.ඔහු ඔගස්ට් ලෑන්ඩ්මෙස.

ඔහු තම රජයට එරෙහි වන්නෙ මෙන්න මේ පහත සිදුවීම හරහා.ජර්මානුවෙක් වෙන ඔගස්ට් විවාහ වෙන්නෙ යුදෙව් ජාතික කාන්තාවක් වන ඉර්මා එක්ලර් හා දැඩි ප්‍රේමයකින් අනතුරුව.යුදෙව්වෙක් නයාට අඳුකොල වෙන සමයක ඔගස්ට් ඈ හා විවාහවීමෙන් තමන්ගේ ජාතියට, හිට්ලර්ගෙ රෙජීමයට නිගරු කලා කියන ඒ කාලෙ හැටියට අති බරපතල චෝදනා මත බරපතල වැඩ සහිතව වසර දෙකක් සිරබත් කෑමට නියමිත වෙනව.පලි ගැනීම එතකින් ඉවර වෙන්නෙ නෑ...දුවණියන් දෙදෙනෙකුට පියකු වන ඔගස්ට් පසුකාලීනව 999 වෙනි පාබල හමුදාව යටතේ යුද පෙරමුණට යැවෙන ඔහු ක්‍රොඒෂියාවෙදි අතුරුදන් වූවෙක් හැටියට සැලකෙනව.ඔහු ඝාතනයට ලක් වූවා කියාත් කියනව.ඔගස්ට්ගෙ පවුලටම සෑහෙන ඛේදාන්තවලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.

ඒ කාලෙ හැටියට හිට්ලර්ට එරෙහි වෙනව කියන්නෙ වහ කනව වගේ වැඩක්.තමන් සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක බව දැන දැනම ඔහු හිට්ලර්ට පෙන්නන්න බැරි වූ ජාතියක් වූ යුදෙව් ජාතික කාන්තාවක් හා විවාහ වෙනව.තමන් අනේක අඩන්තේට්ටම්වලට ලක් වෙද්දිත් ඉදිරියටත් ඒ දුක් දොම්නස් ශුවර් බව දැන දැනත් තමන් හා එකට සිටි අය නාසි සැලියුට් එක ගසද්දිත් ඔහු නාසි සැලියුට් එක ගැසීම ප්‍රතික්ෂේප කරනව.පසුකාලීනව ලොව චිර ප්‍රසිද්ධියට පත් මේ අද්විතීය ජායාරූපය දිහා බැලුවොත් තමන් වටා සිටින සමූහය අතරෙ ඔගස්ට් ඉන්නෙ මොන කුලකෙද කියන එක තිතට පෙන්නනව.

හිට්ලර් කියන්නෙ සත පහක අණක් ගුණක් නැති එකෙක් බව දැන දැනත් ඔහුට තමන්ට පුලුවන් ආකාරයෙන් විරෝධය පාන්න තරං ඔගස්ට්ට මොනතරං හයිය කොන්දක් තියෙන්න ඇද්ද.

මේ සේයාරුව මගේ ඇස ගැටෙන්නෙ ඇමරිකානු තිර රචක රෙජිනෝල්ඩ් රෝස්ගෙ " Twelve Angry Men " නාට්‍ය අනුසාරයෙන් සිංහලට අනුවර්තනය අතුල පතිරණගේ " දොළහක් " වේදිකා නාට්‍ය පිටපත් පොතෙන්.ඒකෙ මේ සේයාරුව තියෙන්නෙ මෙහෙම.

" Courage to Say No "

" දොලහක් " මං බැලුව ක්ලාස් ස්ටේජ් ඩ්‍රාම එකක්.අවාසනාවට දැන් මේක රඟදැක්වෙන්නෙ නෑ.රෙජිනෝල්ඩ් රෝස්ට මේ තිර රචනය ලියන්න අනුප්‍රාණය සැපයෙන්නෙ නාට්‍යයට සමාන ආකාරයේම නඩුවක ජූරි සභාවකට ඔහුත් සම්බන්ධ වීම හරහා.

කෙටියෙන් කිව්වොත් කතාවෙ ජූරි සභාවෙ ඉන්න ජූරි සභිකයො දොලොස්දෙනාගෙන් එකොලහක්ම එදා ජූරියට වාඩිවෙන්නෙ පුදුම තදියමකින්.ඒ.. ජූරිය ඉවරවෙලා නොයෙකුත් වැඩවලට යන්න ඇරේන්ජ්මන්ට්ස් දාගෙන.සමහර අය ජූරි සභාවක පලමු වතාවට පෙනී ඉන්නෙ. !

දොලොස්දෙනාගෙම තීන්දුව ඒකමතික වෙන්න ඕන.එකොලොස්දෙනෙක්ම චූදිතයව වැරදිකරු කරල ඉවරයි.නමුත් අටවෙනි ජූරි සභිකය කියනව චූදිතය නිවැරදී කියල.වාද විවාද තර්ක විතර්ක මැද එතැන් පටන් මුලු ජූරියම ටිකෙන් ටික අනික් පැත්තට හැරවෙන්න ගන්නව.වැරදී කිව්ව අය චූදිතය නිවැරදි කියන තත්ත්වයට තර්කානූකූලව ගෙන එන්න අටවෙනි ජූරි සභිකය කටයුතු කරනව.

මේ පොතේ එක තැනක අධ්‍යක්ෂගේ සටහන යටතේ අතුල පතිරණයන් මෙන්න මෙහෙම කියනව.

" මෙහි එකඟතාවයකට පැමිණීමේ ක්‍රියාදාමය සහ පුද්ගලයෙකුගේ පෞරුෂත්වය තුළින් නැගෙන අවිධිමත් අධිකාරිය ප්‍රබල ලෙස සාකච්ඡාවට භාජනය කරයි."

" සුළුතරයේ බලපෑම් සහගත හැසිරීම් පැතිකඩ උපක්‍රමශීලී ලෙස යොදාගනිමින් ජූරි සභාවෙ එක් සභිකයෙක් ( සුළුතර මතය) අනික් සභිකයන් සියල්ලගේම මතයට ( බහුතර මතය ) එරෙහිව සාර්ථක ලෙස එකඟතාවයකට පැමිණ අවසානයේ සිය මතය බහුතරයේ අදහසට එල්ල කිරීමට සමත් වන ආකාරය මෙම පෙළෙහි මනාව පැහැදිලි කරයි."

ඉතින් සමරි එක ගත්තොත් විනාඩි දෙකට තුනට හදිසියට ගන්න තිබ්බ ජූරි සභා තීන්දුවකින් වැරදිකරුවෙක් වෙලා අනිවාර්යය මරණ දණ්ඩනයට ලක්වෙන්න හිටපු අයෙක් සාධාරණ සැක මත පැය දෙක තුනක තර්ක විතර්ක මැද්දෙ නිවැරදිකරුවෙක් වෙලා මරණ දඬුවමෙන් නිදහස් වෙනව.

කෙලිම්ම නෑ බෑ කියන්න පුලුවන් හොඳ කශේරුකාවක් තියන තනි පුද්ගලයෙක්ගෙ සාධාරණ බලපෑමක් මත බහුතරයකගෙ මතයට බලපෑමක් කරන්න පුලුවන් කියනෙක තමා මේ කතාවෙ මම ගත්ත හරය.අපි වැඩිය නොහිතුවට එහෙම දේවල් උනත් කරන්න පුලුවන්.බැරිකමක් නෑ.

ඔය කතා දෙකම මට මතක් උනේ පහුගිය දවසක ගම්පහ ප්‍රදේශයේ දිසා වන නිලධාරිණිය වන දේවානි මහත්මියගෙ නීතියට අවනත තීරණයකට එරෙහිව එල්ල කල මරිමෝඩ අදහස් මතවාද , ඔක්සිජන් එපා වැනි ගොන් බූරු අදහස් පලකල අමන රැලකට එරෙහිව තමන්ගෙ පැත්තෙන් නිර්භයව පලකල අදහස් දැක්කම.හරි සවි ශක්තිමත් වානේ වගෙ කොන්දක් තිබ්බ කාන්තාවක්.ඇය ඉදිරිපත් කරන්න පුලුවන් ෆැක්ට්ස් ඇන් ෆිගස් තිතට ඉදිරිපත් කලා කාගෙ කාගෙත් ඇස් ඇරෙන්න.කටවල් වැහෙන්න.ඒ වගේම කිසිම බයක් හැකක් නැතිව තමන්ගෙ ජීවීතේ පවා පරදුවට තියල එතුමිය එහෙම කලේ අර කලින් කතාවෙ හිට්ලර්ගෙ වගේ කිසිම බුද්ධියක් නැති, චාරයක් නැති ,පරිසර අගයක් දන්නැති, අත්තනෝමතිකව තමන්ගෙ මතය විතරක් හරි කියන සමූහයක් ඉදිරිපිට.ඒ වගෙ යල්පැනගිය අදහස් මතවාද තියන සමාජ වටපිටාවක.හරිම බ්‍රේව් ගැහැණියක්.

" දේවානි මහත්මියනි.. මතු පරපුර වෙනුවෙන් ඔක්සිජන් ටික, පරිසරය රැකගන්න විසිකරපු ඒ වානේ වදන් ටිකට හැට්ස් ඕෆ් ! ඔබ හරිම බ්‍රේව් ලේඩි කෙනෙක් "

ඉහත කතා තුනේ සියලුම දෑ එහෙම පිටින්ම එක සමාන නොවුනත් ඔය කතා තුනේම තියන නිර්භය තනිපුද්ගල පෙනී සිටීම්, ඔවුන්ගෙ සවිමත් කොඳුනාරටි , බෙල්ල ගහල ගියත් පවතින ගතානුගතික සිස්ටම් එකට එරෙහිවීම් , ඊට එරෙහිව නැගීසිටීම් වගේ ඇතැම් පොදු කරුණු ගත්තම ඒව සමාන කුලකයකට දාන්න පුලුවන්.ඉතිං මේ කතා ටික කියෙව්වම ඔයාලට ඒවයෙන් ගන්න දෙයක් ඇති.ඒ ටික අරගන්න.

නිර්මාලයා