Featured Post

Thursday, March 23, 2017

- අපෙන් සමුගත් විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරයෙක් -


විවාහ වූ අළුත මෙරීනා සමරු පොතක් (ඔටෝග්‍රාෆයක්) සිය සැමියා අත තබා පැවසූයේ ඔහුට හමුවන කළාකරුවන්ගේ අත්සන් එහි ලබා  දෙන්නැයි කියමිනි.ඔහු කලාකරුවන් හා නිතර ඇසුරු කිරීම ඊට හේතුවය.එහි දෙවන පිටුවේ ඇගේ සැමියා විසින් තැබූ අපූරු සටහනකි.

" Musician is born to live,entertain & die."

ඇගේ සැමියා අන් කවරෙකුත් නොව මෙරට සංගීත ක්ෂෙත්‍රයේ තමන්ගේම අනන්‍යතාවක් සනිටුහන් කළ පැට්‍රික් දෙනිපිටියයන්ය.

1934 අගෝස්තු මස 11 වනදා කොළඹ කොටහේනෙ කරොනේලිස් දෙනිපිටියගේ බිරිඳ වූ මේරි සිමෝනාට දාව උපත ලැබූ පැට්‍රික් දෙනිපිටිය අධ්‍යාපනය හැදැරුවේ කොටහේනේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙනි.පසුකලෙක ඔහු සුනිල් සාන්තයන්ගෙන් පවා සංගීතය හදාළ අයෙකි.ඒ බැව් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියූ "සුනිල් සාන්ත අධ්‍යනය" නම් කෘතියේ සඳහන් වෙයි.

"කොළඹ විශ්වවිද්‍යාලය,කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය,බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාව,මරදානේ නිව්ටන් ගොඩනැඟිල්ලේ පිහිටි ෆෝවර්ඩ් ඇකඩමිය සුනිලුන්ගේ ගායන හා වාදන පංති පැවැත්වූ ස්ථාන කීපයකි.එම පන්තිවල අයිවෝ ඩ්ව්නිස්,කාන්ති වක්වැල්ල,පැට්‍රික් දෙනිපිටිය,ක්‍රිස්ටෝපර් පෝල්,රෝහිත ජයසිංහ, චිත්‍රා සෝමපාල ආදීහුද වූහ."

වාද්‍ය භාණ්ඩ බොහෝමයක් වාදනය කිරීමේ ලා ඔහුට පැවතියේ විශේෂ හැකියාවකි.මෙරට සංගීතයට ඉලෙක්ට්‍රික් හවායින් ගිටාරය හඳුන්වාදීමේ පුරෝගාමියා ඔහුය.වේගවත්ම ස්වර ප්‍රස්ථාර රචකයෙකු ලෙස එකළ ඔහු ප්‍රසිද්ධියක් ඉසිලූ අතර එකී කර්තව්‍යය කිසිඳු සංගීත භාණ්ඩයක් උපයෝගී කරනොගෙන සිදු කිරීමද ඔහු සතු වූ විශේෂ හැකියාවකි.ලේක්හවුස්  ආයතනයේ රාජකාරි කරන අතරතුර සංගීත අධ්‍යක්ෂණ කටයුතුවලද නියැලුණු හෙතෙම  අද මෙන් තාක්ෂණය, අන්තර්ජාල පහසුකම් නොතිබූ ඒ යුගයේ බටහිර සංගීතයේ ආභාෂය මෙරට සංගීත නිර්මාණවල තවරා ඇති ආකාරය විස්මය සහගතය.

ඔහුගේ නිර්මාණයක් වන "මා හා එදා ප්‍රිය සාදයේ" යන ගීතයේ තාලය (Beat) එක බටහිර ආලිංගන (Ballroom ) නැටුම්වලදී යොදාගැනෙන Jive නම් තාලයට සමානය.Jive තාලය 1930 දී පමණ ඇෆ්‍රිකන් ඇමෙරිකානු හඳුන්වා දීමකි. Fast Jive හා Slow Jive වශයෙන් මූලික කොටස් දෙකකි.එල්විස් ප්‍රෙස්ලි ගයන Julie නම් ගීතයේ තාලයද මෙවැනිමය.

ගීතයෙන් කියවෙන්නේ ප්‍රිය සාදයක නැටුමකදී හමුවූ තරුණියක් ගැනය.නැටුමකට ගැලපෙනම තාලයක් දෙනිපිටියයන් විසින් මෙහිදී යොදාගැනීමෙන්ම එකළ 70, 80 දශකයන්වල්දී මෙරට සංගීතය තිබුණේ කොතැනදීද යන්න සනාත කෙරේ.තවද මෙයට ආරම්භක සංගීත කණ්ඩයේදීම සැක්සෆෝනය භාවිතා කිරීමෙන් ගීතයට ජෑස් සංගීතයේ (Jazz Colour )වර්ණය ආලේප කර ඇත.සැක්සසෝනය ජෑස් සංගීතයේ බහුලව භාවිතාවන සංගීත භාණ්ඩයකි.(Brass Instrument ) එය විරහව,ශෝකය,ආලිංගනය,රෝමාන්තික බව,ලිංඟිකත්වය වැනි ඕනෑම හැඟීමක් උද්දීපනය වන අයුරින් යොදාගත හැකි සංගීත භාණ්ඩයකි.

මිල්ටන්ගේම තවත් ගීයක් වන " ඉවුරු තලා" හි තිස්ස කුමාරපතිරණ විසින් වාදනය කළ බේස් ගිටාර් වාදනය අදටත් කලාතුරකින්වත් දක්නට නොලැබෙන වාදනයකි.Funk Groove ආරේ බේස් ගිටාර් වාදනයක් එකළ එම නිර්මාණයට පැට්‍රික් දෙනිපිටියන් විසින් යොදාගැනීම ඔහුගේ යාවත්කාලීන නිර්මාණශීලිත්වයට කදිම නිදසුනකි.

Samba ශෛලියට බර ගීතයක් වන සී.ටී.ප්‍රනාන්දු ගයන"රන්වන් රන් කෙඳි පිරාලා"  ගීයද තව උදාහරණයකි.තව එවන් නිර්මාණ බොහෝමෙකි.

මිල්ටන්ගේ මා නිසා ඔබ,රන්මසු නෑ කියා,සයුරු තෙරේදී, සී.ටී ප්‍රනාන්දුගේ සිහින ලොවේ මිහිර මැවූ මාලි,ඈත කඳු රැලි සිඹ සිඹ,එම්.එස් ප්‍රනාන්දුගේ මලක් කඩා කොණ්ඩෙ ගසාලා,නෙළුම් මලේ පෙති කඩලා,සී.ඩී.ෆොන්සේකාගේ උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ වැනි නිර්මාණ ඔහු කළ නිර්මාණවලින් අතළොස්සක් පමණි.තව ලිවිය හැකි නිර්මාණ විශාල ප්‍රමාණයකි.

ගහේ කටු මොනවට උල්කල යුතුදැයි අසන්නා සේ වත්මනේ  ඔහුගේ එක් පුත්‍රරත්නයක් වන මහේෂ් දෙනිපිටියයන් මෙරට සංගීත කලාවට නවමං සොයමින් ඔහු ගිය මගම ගමන් කරයි.

මෙරට සංගීත කලාවට තම නිර්මාණශීලිත්වයේ උපරිමය මුදාහල පැට්‍රික් දෙනිපිටිය නම් වූ විශිෂ්ට  සංගීත අදියුරා කැනඩාවේදී මෙලොවින් සමුගෙන අදට සිවු වසරකි.

නිර්මාලයා
Nirmal Ranasinghe Bmd
23.03.2017