අනෝරා වැහිදවසක
මහ හඬින් සිනාසී
උණුසුමින්
මා සිප වැළඳගත්
ගිනිකන එළියක්
රහසෙන් මිමිණුව මට
"උඹ හරි උස ගිහින්"
ටිකෙන් ටික
උනා මා ඇදිවත
කලක් යනකං
බලාසිටියෙමි නිරුවත්ව
හිස් අහස් කුස දෙස
යළිත් එනකම්
ගිනිකන එළියක්
ඔය අල්ලපනල්ලේ
ගිරවෙක් පෙම් බඳියි
අනියමින්
උමතුවෙන්
අවලස්සන මට
"කණක් ඇහෙන්න
නෑ ගෙදර ගෑනිගෙන්
හොයාගන්නකං ගෙයක්"
"මා ගෙදර නැති වෙලේ
කලුකුමාර ගැරඬියෙක්
හෙලයි උගෙ
තක්කඩි බැල්ම"
"කලින් වතාවේ මෙන්
ගිලගන්න බිජු"
දන් දුන්න මං
බවුන් වැඩිය හැකි
දිරාගිය මා හද ගැබ
සින්නක්කරයට
"එහෙනං හාරගෙන
පැලපදියං වෙයං"
මැයි මහේ නැකතක
ගෙවැදුනා යුවල ගෙට
තිඹිරිගෙය මා විය
ගැබ්බර ගිරවියට
කණාටු මා වතින් දැන්
මිහිරියි ඇහෙන
ගිරා පෝතක නද
"කෑම හරි අමාරුයි
හොයන්නට පැටවුන්ට
ඔයානම් කියයි.. හැමදේම ගිනිගනන්"
"මගේ හොඳ පන ගිහින්
පළතුරක් හොයලම
කපල ගස් දැන් සේරම"
ආයෙ ටික කාලෙකින්
"යන්න වෙයි හෙට අනිද්දම
මෙහෙන්"
"හොයාගෙන කුළියටවත්
වෙලාවක් නෑ
හදන්න අළුතෙන්වත්"
පටන් හෙන ආයෙ
පුරුදු කන්කෙඳිරියම
"ඇයි අනේ ඇහුන් නැද්ද
ළඟ ගෙදර ගෑනිගෙ
සර්ව රාත්‍රික කන්කෙඳිරිය"
ඊයෙ රෑත් මං අහං
"නරකද කපල දැම්මොත්
පාත්වෙන්න කලියෙන්
වහලෙට"
"හෙන වැදුනු මේ කප..!"
"මූසලයි ගෙදරටත්"
ගලක පහසින් මුසපත්
පොරෝ තලයක් දිලිහෙමින්
සිපගති අවසන්වරට
කණාටු මා වත
ගිරා දෙමහල්ලන්
ගෙදර නැති වෙලාවක
"සතපහක වැඩක් නෑ
දරටවත් ගමු මේ
හෙන වැදුණු කප"
අවසන් වතාවට
වීසි වී යනු
දුටුව මතකයි
ගිරා කුටුම්බයෙ
පෝතක දෙබෑයන්
ජාතක කථාවක් මතක් කර..
-නිරා-
Nirmal Ranasinghe Bmd
03.08.2016
No comments:
Post a Comment