පනහ දශකය අග භාගයේ බුලත් අතක් රැඟෙන බයිසිකලයක් පැදගෙන හොරණ ශ්‍රී පාලිය වෙත එන තරුණයෙකි. ශ්‍රී පාලියෙ තියෙන නාට්‍ය, නැටුම්, සංගීතය නිතර දකින ඒ ළඟ අහලපහලම උන් මේ ගැටවරයාගෙ සිත එකී කලා කටයුතුවලින් උත්තේජනයක් ලැබීම මේ බයිසිකල් ගමනට හේතුවය.
" මොකටද මේ ළමයා ආවේ ? "
ඒ සංගීත අංශයෙ ගුරුවරයෙකි.
" සර් මට සංගීතය ඉගෙන ගන්න ආසවක් තියෙනව."
" අදනං අපි වැඩ කරන්නෙ නැහැ.අපේ ගුරුවරයා එඩ්වින් සමරදිවාකර මහත්තයගේ ආදාහනය අද.ඒ හින්දා සංගීත අංශය අද වහල."
" මං කරන්න යන හැමදේම අසාර්ථක වෙනව." ඉච්ඡාභංගත්වයට පත් කොලුවා සිතයි. ඒ, ඉගෙනීමේ දක්සයෙකු නොවූ ඔහු කුමක් හෝ රැකියාවක් කිරීමේ අරමුණින් වඩුවකු, ගරාජ් මිකැනික්වරයෙකු, රේඩියෝ රෙපයාර් කරන්නෙකු, වශයෙන් ලැබූ පූර්ව අත්දැකීම් මතය.
බයිසිකලය ආපසු හරවාගෙන යළි ගේට්ටුව තෙක් යන කොලුවාට අත්පුඩි හඬක් ඇසේ.
යළි ඉහතකී ගුරුවරයා වෙත යන කොලුවාට
ලැබෙන්නෙ සතුටුදායක පිළිතුරකි.
" අපේ ගුරුවරයාට කරන ගෞරවයක් හැටියට මං ඔහේට අද ඉඳන් සංගීතය උගන්වන්නම්." ඒ සංගීත අංශයේ ගුරුවරයෙකුව හුන් හේවහේ ප්‍රේමදාස මහතාගෙ පිළිතුරය.
" මොකක්ද ඉගෙනගන්න ආසම සංගීත භාණ්ඩය ?"
" අන්නර ගෙඩිය තියෙන එක. " කිසිඳු සංගීත භාණ්ඩයක නමක් නොදත් කොලුවා පවසයි.මිශ්‍රාෆය ඇඟිල්ලට දැමූ ගුරුවරයා එහි මුල් පාඩම ගෝලයාට උගන්වයි.එතැන් පටන් පාඩම සෑම දිනකටම පැය අටකි.
---------------------------------
1942 අගෝස්තු මස 13 වනදා දීපා මිල්ටන් සරත් දසනායකය උපදින්නේ ලීබඩුවලට පරසිඳු මොරටුව කටුකුරුන්ද ග්‍රාමයේය.ඔහුගේ පියා වෙළඳ ව්‍යාපාරිකයෙක් වනතර මව ගුරුවරියකි.සරත් දෙවනි දරුවාය.පිරිමි දරුවන් සිව්දෙනෙක් ගැහැනු දරුවන් දෙදෙනෙකුගෙන් පවුල පොහොසත්ය.
----------------------------------
1961 ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුසාමිගේ වාදක මණ්ඩලයට බැඳුණු සරත් දසනායකයන් , එහි සිතාර් වාදකයෙකු ලෙස කටයුතු කරයි.මුත්තුසාමි මාස්ටර්ගේ සංගීතයට ඔහු සිතාර් වාදනයෙන් දායක වූ පළමු චිත්‍රපටය 1963 තිරගතවූ " උඩරට මැණිකේ " චිත්‍රපටයය.
1966 බිබිල මධ්‍ය මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලබන හෙතෙම පසුකලෙක සංගීත පරීක්ෂකවරයෙකු ලෙස අනුරාධපුර , පොළොන්නරුව , වවුනියාව, ත්‍රිකුණාමලය හා යාපනය වැනි ප්‍රදේෂවලද සේවය කරයි.
----------------------------------
වාදකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට මුලින්ම පැමිණෙන ඔහුගේ භූමිකාව පසුකාලිනව සංගීත අදියුරෙකුගේ භූමිකාවට මාරුවන්නේ " සිතිජය" චිත්‍රපටයෙනි. නමුත් අදියුරෙකු ලෙස ඔහු සිය " සරත් දසනායක " යන නාමය ක්ෂේත්‍රයේ බෞතීස්ම කරන්නේ 1973 තිරගත වූ " සඳහටම ඔබ මගේ " සිනමා සිත්තමෙනි.
ඒ සඳහා ජෝති සමඟ ඇන්ජලීන් ගැයූ " අමර පෙම් ලතාවේ " ගීය අද වනතුරුම අමරණීය ගීයකි.
අද මෙන් රූපවාහිනිය නොතිබූ ඒ යුගයේ පොදු ජනතාවගේ ඇස් කන් පිනවූ මාධ්‍ය වූයේ සිනමාවය.උදේ දහයයි තිහේ දර්ශනයෙන් පටන් ගෙන රාත්‍රී දොළහමාරට පමණ අවසන් වන අන්තිම දර්ශනය දක්වාද අතුරු සිදුරු නැතිව සිනමාශාලා රසික රසිකාවියන්ගෙන් පැවතුණ යුගයකි එය. එය ලාංකීය සිනමාවේද ස්වර්ණමය යුගය නම් වූ යුගයය.
චිත්‍රපට බොහෝ නිපැයූ එකල සරත් දසනායකයන් හටද වැඩවලින් අඩුවක් නොවූ යුගයකි. 1974 තිරගත වූ " කස්තුරි සුවඳ " සහ දිනුම් කණුව චිත්‍රපටය ඔහුගේ මියුරු නිර්මාණ ඇතුළත් තවත් චිත්‍රපටයකි.
පාට පොදක් තිලකලා" , " හද විමන් දොරින්" , " පෙම්වතියන්නේ මහා සාගරේ " , " ලස්සන ලෝකෙක " සහ දිණුම් කණුව චිත්‍රපටයේ වික්‍ටර් රත්නායකයන් ගයන " මියුරු කල්පනා " , ඉන්දානි ගයන " ඉරට අකීකරු" වැනි ගීත තවමත් අමරණීයය.
1975 සංගීතා චිත්‍රපටයේ " සල් සපුනා" , " ඉර සඳ වැඳලා", " මී පිරුණ සුවඳ මල් වනේ" , " පෙම් ලොව නින්දෙදි" 1976 දුහුළු මලක් චිත්‍රපටයේ " බොඳ මීදුම්" , රන් කෙන්ඳෙන් බැඳ" වැනි ගීත අදද නොඇසූ කෙනෙක් වේද?
" යෞවන උයනේ පියුම් තටාකේ", " නිල්ල නඟන", " මියුරු පෙම් මදිරාවේ" , වැනි ගීත 76 දී නිල්ල සොයා සිනමා සිතුවමේ ඇතුළත් ගීතයන්ය.
" දසේ මට අමුතු ගීතයක් ඕන.නිකන් ඇදි ඇදී කැඩි කැඩී යන ගීතයක් මට ඕන.බෙංගාලි ඔරු ගීතයක් වගේ කෑගහල කියන ගැඹුරු , ඒත් පාළු ගීතයක් ඕන." ඒ සසර චේතනා චිත්‍රපටයේ අධ්‍යක්ෂ මාලිනී ෆොන්සේකාය.
ෂෙල්ටන් පෙරේරා ගයන " බුදුනේ " ගීය බිහිවෙන්නේ එලෙසය.එය සම්මානිතය.
හාමොනිකාවක ශෝකී ස්වරය ඇසෙන " මිහිඳුම් සිහින" චිත්‍රපටයට ජෝති ගැයූ " සරා සඳේ" ගීයත් 84 වසරේ " ඈතින් ඈතට" චිත්‍රපටයේ මිල්ටන් ගැයු " කැන්දන් යන්නං " ගීයත් " බෝධියේ විහාරයේ " ගීයත් සම්මානිත ගීතවලට ඇතුළත්ය.
"මා දන්නා තරමට ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ නම පෙරට සඳහන් කොට, චිත්‍රපටයක් තිරයට ගෙන ඒමේදී ප්‍රචාරක කටයුතු සඳහා කටවුට් ඉදි කෙරුණේ සරත් දසනායක නමිනි."මේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ දසනායකයන්ගේ පළමු ගුණ සමරුවට ලියූ ලිපියක අන්තර්ගත වූ කොටසකි.
දේශීය සිනමාවේ ඔහුගේ සංගීතයෙන් වර්ණ ගැන්වූ සිනමා සිත්තම් ගණන 126 කි.එය වාර්තාවකි. සුවිශාල වාද්‍ය මඬුල්ලක් නිර්මාණ කටයුතු සඳහා යොදාගැනීම , ගීතවල ආමුඛ සංගීත ඛණ්ඩ මධුර මනෝහර වීම, අති සුමියුරු ගී තනු ඔහුගේ නිර්මාණවල ඇති ජීවගුණයට ඇති සාධකයෝය.
" යනවිට පාරේ උකුළ නටන" , " ලස්සන නම් නෑ පෙනෙන්නේ." , " උසී දිසී නෝනේ" , " මුව මද හාසේ සීපද රාවේ" , " උන්මාද සිතුවම්" , " කීන දං මිටක්", " අම්මලා දුක් ගන්නේ" , " හිම කඳු යහනේ", " හිතුමතේ ජීවිතේ" " රැල්ලෙන් රැල්ලට " , " හිම රේණු වැටෙනා", " දුහුල් වලා කුමාරියේ" වැනි ගීත මේකත් සරත් දසනායකගේද කියා, කියවන විටත් ඇහිබැම ඉහළ නැංවෙන නිර්මාණයෝය.
ඒ හැරුණු කළ මෙය ලියන මට දැනෙන විදියට මෙකළ සියළු නාලිකාවල ට්‍රෙන්ඩ් එකක් වන රියැලිටි තරඟවල තාරකාවන් ගයන ගීතයන්ය.සරත් දසනායකයන් දේශීය සිනමාවේ කොටසකටද වග කීවේය.එතැනින් නොනැවතී මේ දක්වාම රියැලිටි තරඟවලින් කොටසකටද වත්මනේද වගකියයි. ඉහත මා කියූ ගීතවලින් එකක් හෝ නොගැයූ රියැලිටි තරු තරඟයක් සෙවීම නොමළ ගෙයකින් අබැටක් සොයනවාටත් වඩා අසීරු කරුණකි.
ඔහුගේ ගීතවලින් තොර රියැලිටියක් ඇත්තෙන්ම තිබේද ?
ඒ හැරුණු කළ වසරකට වතාවක්ද, මංගලෝත්සවවල්දී අවසානයේදීද සරත් දසනායකයන් කරළියට එයි.
මිල්ටන් මල්ලවආරච්චි සහ නීලා වික්‍රමසිංහ ගයන " මී අඹ අත්තේ " සෑම අවුරුදු සමයකදීද , සුජාතා අත්තනායකයන් ගයන ජයමංගල ගාථා ඇසුරු කරගෙන තැනූ මංගලෝත්සවය අහවරව කුළගෙට යනවිට, වාදනය වනවිටත් හැඬෙන මනාළිය සිය පියාණන්ගේ කරේ එල්ලී අඬන " පුංචි දවස්වල නින්දට යද්දී" ගීත යුග්මය තව වසර ගණනාවක් යනතුරු ඒ ඒ නිර්මාණයන්ට අයත් යුග මෙහෙවරේ යෙදෙනු ඇත.
සරත් දසනායකයෙනි , මට ඔබගේ සුමියුරු නොමියෙන නිර්මාණ, ඔබතුමන්ගේ රසභාවයන් පිළිබඳව තවමත් ඇත්තේ විමතියකි. ආහ්ලාදයකි.භක්ත්‍යාදරයකි.අදින් දහඅට වසරකට පෙර අපෙන් සමුගත් ඔබ, අප කර්ණ රසායනයන් පිනවීමට ඉතිරි කර ගිය දායාදයන්ට මගේ නොවක් ස්තූතිය.
නිර්මාලයා
18.11.2017
No comments:
Post a Comment