Featured Post

Sunday, January 14, 2018

කොටහේන


කාලෙකට කලිං ඒ කියන්නෙ මීට වසර එකහමාරකට විතර කලින් සේවාස්ථානයේ විතැන් වීමකට අනුව මම කොටහේනට යනව.කොළඹට ඉතා ආසන්නයේම පිහිටා ඇති නාගරික නගරයක් උනත් සේවාස්ථානය විතැන්වීමට කලින් කොටහේනට මං ගිහින් තියෙන්නෙ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.ඉස්කෝලේ ගිය කාලෙත් රස්සාව කරන කාලෙත් එක්කහු කරල බැලුවම සෑහෙන කාලයක් කොළඹ ඇසුරු කරගෙන හිටපු මට ඒක නිකං මදිකමක් වගේ කියලත් වෙලාවකට හිතෙනව.

කලින් කිව්ව විතැන්වීම අනුව අපේ කන්තෝරුවෙ සියළුම දෙනාටම කොටහේනට යන්න වෙනව.මම උණත් කොටහේනට යන්නෙ කැමැත්තකින් නෙවේ.නොයා බැරිකමට.

අතීතයේ මෙය ගමක අසිරියට නතුවුනත් කොළඹ ආශ්‍රිතව සිදුවූ අසීමිත නාගරීකරණය හමුවේ තම ගමේ සිරියාව අතහැර නගරයේ පැටන් එකට හැඩ ගැහෙන්නට කොටහේනට සිද්ධ වුණු බව කියන සාධක, අතීත නෂ්ටාවශේෂ තවමත් කොටහේන අවට නිහඬවම වැජඹෙනව.අදවෙනකොට කොටහේන කියන්නෙ නාගරිකත්වය ඉහවහා ගිය ප්‍රදේශයක්.

මගේ සේවාස්ථානය තිබ්බ ජෝර්ජ් ආර්.ඩි.සිල්වා මාවතේ දවසේ වැඩි හරියක්ම ගමන් කරන්නෙ කන්ටේනර් රථ.එහෙම කන්ටේනර් රථ යන පාරක් මම මීට කලින් දැකල තිබ්බෙම නෑ. කොළඹ වරායේ ප්‍රවේශ දොරටු , වරාය ගුදම්, ව්‍යාපාරික තොග ගබඩා, යකඩ වෙළදාමේ මර්මස්ථානයක් වන ගල්වල හා පරණ යොන් වීදිය වැනි ස්ථාන නිසා ඉතා විශාල කන්ටේනර් රථ ප්‍රමාණයක් කොටහේන අවට නිරන්තරයෙන් දක්නට ලැබෙනව.ඒ නිසාම උදේ සහ සවස් කාලයේ අධික වාහන තදබදයක් දකින්න ලැබෙනව.

කන්ටේනර් ඇරුණම කොටහේනේ වැඩියෙන්ම දකින්න තිබ්බෙ වාහන ලර්නර්ස්.එහෙම ලර්නර්ස් කන්දරාවක් උපන්තේකට වෙන කොහෙවත් දැකලම නෑ.නිකමට හරි පාර පනින්න බලන් හිටියොත් එල් බෝඩ් එකක් ගහගත්ත කාර් එකක්, වෑන් එකක්, තුන්සක රියක් ආය වරදින්නෙ නම් නෑ.එක පැත්තකට මංතීරු තුන බැගින් මං තීරු හයක් තියෙන මේ පාරේ එහාටයි මෙහාටයි උදේ ඉඳං රෑ වෙනකම්ම එල් බෝඩ් ගහගත්ත වාහන අතොරක් නැතිව ගමන් කරනව.මේකේ අමුතුවෙන් පුදුම වෙන්න කාරණාවක් නෑ.මොකද ,කොටහේන අවට රිය පැදවීම පුහුණු කිරීමේ ආයතනත් වැහි වැහැල.ඒ පාරක රිය පදවන්න පුහුණු වුනා කියන්නෙ කිසිම කචල් එකක් නැතිව ලංකාවෙ වෙන ඕන පාරක වාහනයක් පදවන්න පුළුවන්.අධික වාහන තදබදය, දිගැති කන්ටේනර් රථ, රේස් යන පුද්ගලික බස් රථ, එහෙන් මෙහෙන් දාං යන තුන්සක රිය සහ මෝටර් බයිසිකල්, වගේ වගක් නැතුව උන් හිටි ගමන් පාර පනින මිනිස්සු අතරෙ වාහනයක් පදවන්න පුහුණු වෙන එකත් මටනං පේන්නෙම අති දැවැන්ත අභියෝගයක් විදියට.ඒ කොහොම උනත් මේ මාවත් අධික තදබදයට ලක්වෙන්නෙ රැකියා වේලාවන්ට පමණයි.

කොළඹට මොනතරම් ආසන්නයේ තිබ්බත් කොටහේනෙ ඉඳන් කොටුව හරියට යනව කියන්නෙත් තරමක් වෙලාව ගතවෙන වැඩක්.ඉහත කිව්ව මාර්ග තදබදය, කොටහේනට ඇති ප්‍රවේශ මාර්ගවල ඇති අඩුපාඩු සහ අවහිරතා, පොදු ප්‍රවාහන සේවාවල ඇති මදභාවය සහ අලසබව මීට හේතුවෙන දේවල්.168 නුගේගොඩ කොටහේන, 112 කොටහේන මහරගම , 176 නුගේගොඩ හෙට්ටියාවත්ත, 107 ඇලකන්ද කොටුව වගේ බස් මාර්ග කොටහේනට යන්න ඕනනම් භාවිතා කරන්න වෙන බස් රථ.කොටහේනෙං ආරම්භ වෙන 168 සහ 112 යන මාර්ග අංක සහිත බස්රියක යනවනං ඔය කලින් කිව්ව අත්දැකීම හොඳට විඳගන්න පුලුවන්.බස් එක ගමන පටන් ගන්නෙම බොහොම හෙමින්.වගේ වගක් නෑ හිමින් හිමින් ඇද ඇද කොටුව පැත්තට යනව.කොච්චිකඩේ පල්ලිය ගාව , පරණ මාළු කඩේ ගාව නතර කර කර කොටුවට එන්න සෑහෙන වෙලාවක් යනව.ඉතිං මේකක නැග්ග කියන්නෙ හරියට නිකං සිටි ටුවර් එකක් ගියා වගේ එක්ස්පීරියන්ස්සෙකක්. !කොළඹ අවට ප්‍රදේශයෙ සිරි නරඹල හෝ ගාණපොකුණ එහෙම බලල සෑහෙන දැනුමක් හෙම ගන්න පුළුවන්.කොටුවෙ ඉඳන් එනකොට නම් මීට වඩා පොඩ්ඩක් වේගවත්.හැබැයි ඉතිං බස් එකක් එනකං ටිකක් කල්මරන්න ඕන.කල්මරන්නෝන වෙලාව නං ඉතිං තමන්ගෙ ලක් එක අනුව ඩිපෙන්ඩ් වෙනව.අනික්කාරණේ හවස හයෙන් පස්සෙ 168, 112 බස් මාර්ගවල බස් නෑ. ! උපරිම හයාමාර.ඊට පස්සෙ ඉතිං කොළඹට හරි මරදානට හරි යනානං ත්‍රීවීල් පිහිට තමා.තුන්සක ඕනතරං තියෙන නිසා ගැටළුවක් නෑ.

ඉතිං මොනතරං නාගරික වුණත් ජනීජනයා වෙසුවත් උනත් වෙලාවකට මට හිතෙනව කොටහේන කියන්නෙ හරිම අයිසොලේට් වෙච්ච පළාතක් කියල.වෙලාවකට හරිම හුදෙකලාවක් රජයනව.හැබැයි ෆුඩ් සිටි ,කීල්ස්, පීසාට්, කේඑෆ්සී, ඩයනමෝ, වයින් ස්ටෝස්, රා තැබෑරුම්, ප්‍රධාන පෙලේ බැංකු රක්ෂණ ආයතන, ප්‍රධාන පෙලේ පාසල්, ආගමික ආයතන මේ හැමේකක්ම කොටහේනට නොඅඩුව තියෙනව. ඒකට මූලික හේතුවත් මෙහි වසන අධික ජනගහනය.මහල් නිවාස, ප්‍රභූ නිවාස, වතු නිවාස ,පැල්පත් නිවාස , කඩකාමර වන් බෝඩිම්වලින් කොටහේනට කිසිම අඩුවක් නෑ.

වැස්ස දවසට නං කොටහේන කියන්නෙ අනාත සාගරයක්.වෙලාවකට මිහිපිට අපායක් වගේ. ගොඩක් තැන්වලට ක්‍රමවත් වතුර බැස්මක් නෑ.ඒ හින්දම පොඩ්ඩක් වැස්සත් සමහර පැති යටවෙනව.එදාටනං ත්‍රීවීල්ලෙකක් හොයනව කියන්නෙ කළුනික හොයනව වගේ වැඩක්.යන්න එකක් සෙට් වුණත් ඉල්ලුමට සරිලන සැපයුමේ මදිකමක් ඇති බව දන්න නිසාවෙන්ම තුන්සක රිය අයියලත් ගණං උස්සනව.ගොඩක් ඒව යන්නත් කලින්ම බෑ කියනව.පවත්නා වර්සාව අනුව මීටරේ වැඩ කරන නොකරන බවත් තීරණය වෙනව.

" වැස්සට මීටරේ වැඩකරන්නෑ.."

" ඒක වැඩ කරන්නෙ නෑ.. "

" මීටර් දාල යනේක පාඩුයි.. ඒක දාන්න බෑ දෙසීය පනාක්කත්තෝන ."

" කොටුවට නෙහ්... දෙසීයක් දෙන්න.. "

" ඒ පැත්තට මේ වැස්සෙ යන්න බෑ බොස්.. යනානං එකසිය පනාක්කත්තෝන.. "

වෙනදට රුපියල් සීයෙන් යන ගමනට එයාල තමන්ගෙ හයර් එක වැඩිකරන්නෙ එහෙම.සැපයුම අඩු වෙලා ඉල්ලුම වැඩිවෙලා වෙන කිසිම විකල්පයක් නෑ කියන ආර්ථික සිද්ධාන්තය එයාල ගානට ෆලෝ කන්නව.මෙව්ව මාර තියරීස්. !

නානාප්‍රකාර ජනවර්ගවලට අයත් ජනකොටස්වලින් කොටහේනට කිසිම අඩුවක් නෑ.උපන්දා සිට බෞද්ධ බහුතරයක් වෙසෙන ඉන්න පළාතක ඉන්න මට මේ විවිධ ජනකොටස් ගෙනාවෙ හරි අමුතුම අපූර්වත්වයක්. වෛවාරන්න පාට කලවම් වෙච්ච අපූරු සිතුවමක්. බෞද්ධ ,කතෝලික, හින්දු දෙමළ,මුස්ලිම් විතරක් නෙමෙයි මැලේ, චෙට්ටි, වගේ ජනකොටස් පවා කොටහේනේ දකින්න පුළුවන්.ඔය මික්ස් කමියුනිටි කියනෙකේ උපරිම.ඉතිං වසර පුරාම ඒ ඒ ජනකොටස්වලට අදාල උත්සව සංස්කෘතිකාංග කොටහේනට අඩුපාඩුවක් නැතුව තියෙනව.මේ ජන කොටස්වලට වන්දනාමාන කරන්න තියෙන ආගමික ස්ථාන ප්‍රමාණයත් අසීමිතයි.කොටහේන දීපදුත්තාරාමය, සාන්ත ලුසියා දෙව්මැඳුර, කොච්චිකඩේ පල්ලිය, ශ්‍රී පොන්නම්බලවනේෂ හින්දු පන්සල , වුල්ෆෙන්ඩාල් පල්ලිය මේ අවට දකින්න ලැබෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථාන.

අවුරුද්දෙ මුලම තෛපොංගල්වලින් පටන් ගත්තම සිංහල හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, රාමසාන්, දීපවාලි, නත්තල් යනාදී ආගමික උත්සව හැම එකකටම ඊට අදාල සැරසිලිවලින් මේ පළාත සැරෙසෙනව. ඒවට අමතරව ඒ ඒ ආගම්වලට අදාල සිද්ධස්ථාන ආශ්‍රිතව පවත්වන කාලීනව පැවැත්වෙන උත්සවත් මේවට එකතු වෙනව.හොඳම උදාහරණය කොච්චිකඩේ පල්ලියේ මංගල්ලෙ.ලංකාවෙ හතර දිග්භාගෙන්ම ආගමික භේදයකින් තොරව වැල නොකැඩි මහා ජන ගංගාවක් කොටහේන පැත්තට ගලන්න ගන්නව.මගෙ අම්මේ එහෙමත් සෙනඟක්. !කොටින්ම පාරක තොටක යන්න බැරි තරමට සෙනඟ.

මං දවසක් මංගල්ලෙ දවසෙ හවසක කොටුවට එන්න හිතං ත්‍රීවීල්ලෙහෙක නැඟල අමු කට්ටක් කෑව.එදා තමයි කොච්චිකඩේ පල්ලියට තියෙන භක්තියෙ තරම දැනගත්තෙ.කොහෙටවත් යන්න එන්න බැරිවෙන්න අතුරු පාරවල් පවා වහල දාල.හරි අමාරුවෙන් කොටුවට ආවෙ.ඒ වගෙම කෝවිල්වල වේල් කරත්ත පෙරහැරවල් මාසෙකට හමාරකට සැරයක්වත් දකින්න තියෙනව.විශේෂයෙන් දමිළ උදවියගෙ උත්සව සෑහෙන වර්ණවත්.අඳින පලඳින ඇඳුමේ ඉඳන් තියෙන අනෙක් හැම සංස්කෘතිකාංගයක්ම ඒ අයගෙ වෛවාරන්න පාටවලින් සමන්විතයි.

ඔය කිව්ව ජාතීන් සම්මිශ්‍රණය හොඳට දකින්න පුලුවන් හොඳම තැනක් තමයි කොටහේනේ ජම්පටා වීදිය.හරිම විචිත්‍රවත් වීදියක්.කොච්චිකඩේ පල්ලිය ඉස්සරහ තුන්මංසලින් පටන්ගත්තම මල් මාල ගොතන අය, තමන්ගෙ උසටත් වඩා උස ඉටිපන්දම්, අරුමෝසම් බඩු, ඇඳුම් සාප්පු, කෑම කඩ, එළවලු බක්කි, කරත්ත, තෝසෙ කඩ,පොල් විකුණන කඩ, පොල් ගාන තැන් , ග්‍රොසරි, කොමියුනිකේෂන් ,රසකැවිලි කඩ, පළතුරු කඩ, පොඩි පොඩි වතු නිවාස, පෙට්ටි කඩ, මාළු ලෑලි යනාදී වශයෙන් නිමක් නැති කඩසාප්පු තොගයක් මේ වීදියට ඇතුළත්.දමිළ උත්සව කාලෙට ඒ අයගෙ කඩ ඉදිරිපිට කෙසෙල් කැන් පිටින් ඇති ගස්, තැඹිලි ගස් එහෙම දකින්න පුලුවන්.ඉතිං අර කලින් කිව්ව විවිධ ජන කොටස් මේවට කලවම් උනාම අමුතුම හැඩතල ටිකක් මැවෙනව.ජායාරූප ශිල්පයට නං ආයෙ කියාපු පරිසරයක්.ඒ වගෙම මේ හැමකෙනෙක්ම සහජීවනෙන් ඉන්න වගත් පේනව.ඒත් මතුපිටින් මට එහෙම පෙනුනත් ඇතුලාන්තයෙන් කවර විදියට ඒ දේවල් ඇතිද කියන එක ගැනනම් මං දන්නෙ නෑ.කොටින්ම මං ඒ ගැන හොයන්න බලන්නවත් ගිහින් නෑ.මේ විදියට ඉන්න එකමත් මොනතරම් අපූරුද කියන එකමයි මට ගොඩක් වෙලාවට හිතිල තියෙන්නෙ.මතුපිටින් පේන විදියටම ඇතුළාන්තයෙනුත් ඒ සහජීවනේ ඒ විදියටම තියෙනවනම් හොඳයි.නමුත් ඒක එහෙමම නෑ කියන සාධකත් නැතුවාම නොවෙයි.

කොටහේන ජනජීවිතේ ජම්පටා වීදීයට උදේක ගියානම් හොඳට බලාගන්න පුලුවන්.කොටහේනෙ ගොඩක් නිවැසියන්ට තියෙන්නෙ එදා වේල ටුවර්ස් එකක්.සාමාන්‍යෙයෙන් උදේට ගෙවල්වල ඉන්න ගෘහණියො වීදියට ඇවිල්ල එදාට උවමනා කලමනා ගන්න ක්‍රමයක් තමයි මෙහෙ තියෙන්නෙ.පොල් ගාන මැසින් තියෙන කඩේකින් පොල් ගාගෙන එලවලු බක්කියකින් දවසකට සෑහෙන එලවලු දෙක තුනක් අරගෙන මාළු ලෑල්ලකින් මාළු ටිකක් අරන් එදාවේල උයාපිහාගන්න ක්‍රමයක් තමයි මේ පැත්තෙ තියෙන්නෙ.ඒ කඩවලත් පරිභෝජනයට උවමනාවෙන ඕනදෙයක් ගන්න තියෙනව.නිතරම සෙනඟ පිරෙන මේ වීදිය රැයේ වගේම දාවාලෙත් වෙනසක් නැතුව ජනාකීර්ණයි.මේ පාරේ වාහනේක යනව කියනෙකත් ලේසි පාසු නෑ.මොකද උන්හිටිගමන් පාර මාරුවෙන මිනිස්සු මේ වීදියෙ හරිම සුළභයි.අනිත්තෙක වාහන ආවය කියල ඒ අයට කිසිම කලබලයකුත් නෑ. තමන්ගෙ පාඩුවෙ උපරිම වෙලා අරන් හිමින් සැරේ පාර මාරු වෙනව.මේ හැම අතුරුපාරකම අඩුම ගානේ පාර හරහා ගැටි ( බම්පර්) දෙකක්වත් තියෙනව.ඉතිං එන යන හැම වාහනයකම වේගය මේ ගැටි නිසා අඩාල වෙනව.ඒ බව දන්න නිසාම පාරෙ යන මිනිස්සු යන්නෙ තමන්ගෙ ගෙදර දොරේ ඇවිදිනව වගේ කිසිම වගේ වගක් නැතුව.මහල්ලගෙ සිට පොඩි එකා දක්වා අය හැදිල තියෙන්නෙ ඒ විදියට. ! ඒකත් මේ පැත්තට අදාළව මං දැක්ක ආවේණික ලක්ෂණයක්.

අර කලින් කිව්ව විදියට මේ පැත්තට රැකියාවේ විතැන්වීමත් එක්ක මං යනවිට බලපු තව දෙයක් තමයි හදිසියකට ගෙදරින් කෑම නොගෙනාවොත් හදිසියකට කන්න කඩයක් තියෙනවද කියනෙක.ගියාම තමයි තේරුණේ ඒකෙ රඟ.කෑම කඩවලින්නං කිසිම අඩුවක් නෑ.කේඑෆ්සී, පීසාට්වල ඉඳං පෙට්ටි කඩේ දක්වා ඕනතරං කඩ මෙහෙ තියෙනව.පෙට්ටි කඩනං වැහි වැහැල.රාමසාන් කාලෙට නං වීදුරු පෙට්ට්වල දාගෙන අඟලෙන් අඟලට ඔය පොඩි පොඩි රෝල්ස් ,පැටිස්, කට්ලට්, පොල් රොටි විකුණන කඩ ඕනතරං.පෙට්ට් කඩවලට වහවැටිච්ච එකෙක් වෙන මට නං ඒක නිකං ඉබ්බ දියේ දැම්ම වගේ වැඩක්.ඇයි තෝසෙ කඩ, ඒවත් එහෙම්මයි.කොයි හැටි වෙතත් තමන්ගෙ බඩත් මේ කෑමවලට පදම්වෙලා තෙම්පරාදු වෙලා තියෙන්නත් ඕන.මොකද මං කෑවට සමහර අයට ඒව දිරවන්නැති වෙලාවලුත් තිබිල තියෙනව.කොහොම උනත් ඒ කඩ ගැන වෙනම කතාවක් ලියන්න හිතන් ඉන්නව.බලමු.

ඉතින් කාලයාගේ ඇවෑමෙන් කොටහේනෙන් සමුගන්න කාලෙත් මට ආව.මුලින් අකමැති උනත් පසුකාලීනව මං කොටහේනට පුදුම විදියට ආදරය කරන්න පටන් ගත්ත.අර කලින් කිව්ව ජාතීන්ගේ අපූරු විචිත්‍රවත් බව, නොයෙකුත් ජාතීන්ගේ උත්සව සැමරුම් හා සංස්කෘතීන් සහ කෑම කඩ වැනිදේ මතින් අමුතුම ඈන්ගල් එහෙකින් කොටහේන තරම් මගෙ ඇස පිනවූ වෙන පළාතක් නැති තරම්.නමුත් ගිහින් අත්දැකීම් ලබන්න කැමති කෙනෙක්ට කොටහේනට දවසක් ගිහිල්ල විතරක් මේ කිව්ව අත්දැකීම ලබන්න බෑ.මංවත් ගිහින් නැති පැති තියෙනව.කොහොම උනත් කොටහේන කියන්නෙ දවස් තුන හතරක්වත් කරක් ගහල ලබන්න ඕන වටිනා අත්දැකීමක් කියලමයි මට හිතෙන්නෙ.ජීවිතේට එක වතාවක් හරි.හැබැයි ඉතින් ඒක විඳින්නත් රසවත් ඇහැක්, හිතක් සහ කටක් තියෙන්නත් ඕනමයි.

ඉතිං ...කොටහේනට මං තාමත් හරි ආදරෙයි. !

නිර්මාලයා.

No comments:

Post a Comment