Featured Post

Friday, June 12, 2020

" නෝනා මට අත වනනවා " ලිව්වෙ කවුද ?

ලෝකෙ සමහර සින්දු තියනව කොයිතරං කල් ගියත් නොමැරෙන.ලංකාවෙත් තියනව.ඒවට අපි කියනව අමරණීය නිර්මාණ කියල.ඒවා ඉතිං ගලේ ගහලවත් මරන්න බෑ.ඒවා එවර්ග්‍රීන් හිට්ස්.

මේ කියන්න යන නිර්මාණෙත් එහෙම එකක්.කාලයක් තිස්සෙ මේ නිර්මාණයෙ රචකයා කවුද කියල හොයාගන්න ඕන උනත් ඒකට මට ටිකක් කල් ගියා.

දවසක් මං මගෙ අතිශය හිතවත් දිලීප මංගලගෙන් අහනව.

" අයියෙ ? සුනිල් අයිය කියන නෝනා මට අත වනනව කියන සින්දුවෙ මියුසික් කාගෙද ? සුනිල් අයියගෙමද ?

ඕක මං හෙන ආසම සින්දුවක්.( මට විතරක් නෙමේ බහුතරයකට එහෙමයි ) පැල් බැඳං නැටුවැකි.යන්තං ඇහුණත් නිකම්ම නැටවෙනව.ඉතිං ඕක දිලිප අයියගෙන් මං ඔහොම ඇහුවෙ එයා ෆෝම ජිප්සීස් කීබෝඩිස්ට් නේ.

අනික ජිප්සීස්ලගෙ ගොඩක් සින්දුවල තනු , සංගීතය එයාලගෙම ඒවා.හැබැයි මේ සින්දුවෙ සික්ස් එයිට් ඇරුණු කොට පොඩ්ඩක් අර ජිප්සීස් කලර් එක අඩුයි.ඒම ඩෞට්ටෙකක් තියාගන තමා මං එයාගෙන් එහෙම ඇහුවෙ.

" නෑ බං සුනිල් අයිය නෙමේ.වෙන කවුරු හරි ඒක කලේ.මට මතක නෑ."

" එතකොට ලිව්වෙ කවුද ?"

" ලිව්වෙ බං මට මතක විදියට ඩබ්ලිවු.ජයසිරි.. !"

" හෑං ! .. අනෙප්පලයං බං යන්න.. ඩබ්ලිවු ජයසිරි ලියයිද ඔය වගෙ බයිල සින්දුවක්..වෙන්න බෑ. ! "

ඩබ්ලිවු ජයසිරි සින්දු ලියනව කියල දැනං හිටියට ඒ ලිව්ව සම්භාව්‍ය මට්ටමේ ඒවත් එක්ක මේ වගෙ එකක් ලියයි කියල හිතන්න මට හිත දෙන්නෙම නෑ.හැබැයි ඉතිං කිව්ව කෙනා සුවර් හින්ද එහෙම නොහිතත් බෑ.

" නෑ බං... එයා වෙන්නෝන.මට ලාවට මතකයි.හරියටම මං හොයල බලල කියන්නං. "

" හා "

ඉතිං ඒ කතාව එතනිං ඉවරයි.අහන්නං කිව්වට එයාට තියෙන වැඩවල හැටියට ඕක අමතකයි.සුවර් !

හැබැයි දැන් මට පොඩි හරි ක්ලූ එකක් තියෙනව සින්දුව ලිව්ව කෙනා ගැන.ඩබ්ලිවු ජයසිරි !

-------------------------------

කාලය ඔහොම ගෙවිල ගිහින් මෑත දවසක සන්නස්ගල සර්ගෙ තැප්‍රොබේනියන් ගිය වෙලාවක ගෙනාව පොත් ගොඩක් අස්සෙ තිබිල මං ගන්නව කෙටි කතා පොතක් කියවන්න.

" දේශද්‍රෝහි බල්ලා "

ටොප් භාණ්ඩයක්.මරු කෙටි කතා හත අටක එකතුවක්.ලියල තියෙන්නෙ ඩබ්ලිවු.ජයසිරි.!
යකඩෝ මේ මනුස්සය රඟපානව, සින්දු ලියනව, ඇසිස්ටන් ඩිරෙක්ටිං කරනව, පොත් ලියනව තව මොන මොනවා කරනවද දන්නෑ.. මට හිතෙනව.අම්මප මාර පොරක්නෙ.බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක්.

ඉතිං ඒක කියවල ඉවර වෙලා එහෙ මෙහෙ පෙරලනකොට පොතේ ඉස්සරහ පිටුවක තියෙනව ජයසිරි මහත්තයගෙ හෑන්ඩ්ෆෝන් නම්බරේ.

ඔන්න කාලයක් යට ගහල තිබ්බ රබර්බෝලෙ ආයම උඩ එනවා.

"නෝනා මටාත වනනවා. ! "

ජයලත් මනෝරත්න මහත්තයගෙ වේදිකා නාට්‍යය සංවිධානය කරපු අවස්තා කීපයකදිම මට එතුමව හම්බෙල තියනව.කවදත් ඔහු අමුතුම චරිත රඟපෑ අමුතුම චරිතයක්.මං දැක්ක ඉහල කැලිබර් එහෙක ඉන්න, පොඩි ආඩම්බරකමක් තේජසකුත් එක්ක විකල්ප ධාරාවට බරවෙලා ඉන්න මං ආස අයිකොනික් නළුවෙක්.ඒ හින්දම මොකක්දෝ බය පක්සපාතකමක් තියන හින්ද හම්බුන කිසිම දවසක කතාවට ගිහිල්ලත් නෑ.

ඉතිං දැං නොම්බරේ දැක්කම හිතෙනව කතා කරලම අහන්න.දවසක් දෙකක් ගියා.ඇහුවෙ නෑ.ඔන්නොහෙ කමක් නෑ සින්දුව ලිව්වෙ ඔබද කියල අහනව කියල ගත්තා කෝල්ලෙකක්.

එක රිං එකයි.එහා පැත්තෙන් ෆෝන්නෙක ඉස්සෙනව.අර සිනමාවෙ, වේදිකා නාට්‍යවල මට ඇහිල පුරුදු කටහඬ අනික් පැත්තෙන් ගලා එනව.
මං කවුද කින්ද මන්ද කියල කාලාන්තරයක් තිස්සෙ මට වදදීපු ප්‍රස්නෙ මං ඔහුගෙන් අහනව.

" ජයසිරි මහත්මය අර ජිප්සීස්ල කියන නෝනා මට අත වනනවා කියන සින්දුව ලිව්වෙ ඔබතුමාද ?"

මේ එතැන් සිට ඔහු මට කළ විස්තරය.

" ඔව් ! ඒක මං තමා ලිව්වෙ.සොමී රත්නායක කළානෙ ෆිල්ම්මෙකක් " චිට්ටී " කියල.ඒක කමෂල් ෆිල්මෙකක්.ඒක එහෙමට සක්සස් උනේ නෑ.කොටිම්ම මට බලන්න හම්බුනෙත් නෑ. !

ඉතිං ඕකට සින්දු දෙකක් ඕනය කියල ඒක ඩිරෙක්ට් කරපු සරත් ගුණරත්න මට කිව්ව.එකක් ලිව්ව සරත් ගුණරත්න.ඒක රූකාන්තයි ලතායි කියන " සියුමැලී .. සියුමැලි රෝස මලේ.. " සින්දුව.

තව එකක් ඕනයි කිව්ව කපිරිඤ්ඤ ස්ටයිල් එකට එන.ඒකට තමා " නෝනා මට අත වනනව " කියන සින්දුව මම  ලිව්වෙ.ඒක ටිකක් දේශපාලන පැත්තට බර සින්දුවක්.සොමී තමා ඒකෙ පොලිටීෂන්ගෙ චරිතෙ කලේ.එයා පෙරහැරේ එනකොට ඔය සින්දුව කිය කිය, පපර බෑන්ඩ් ගගහ, ඩාන්ස් කර කර එන්න තිබ්බෙ.මම තමා එයාගෙ සපෝටර් විදියට රඟපාලා ළඟින්ම හිටියේ. ( මේ වීඩියෝ එකේ තියෙන්නෙ ෆිල්මෙකේ ඒ කොටස )

" ඉතිං ඕක ලියද්දි කපිරිඤ්ඤ ස්ටයිල් එක ගැන ඔලුවෙ තියං ලිව්වෙ.මොකද කපිරිඤ්ඤවල ලක්ෂණයක් තමා සින්දුවක් ගත්තම එකිනෙකට අසම්බන්ධිත ගී පද ලියවෙන එක.නමුත් අවසානයේ, සේරම එකට දාගත්තම එක් අර්ථයකට එකිනෙකට ගැලපිලා සමෝධානය වෙනව.අන්තිමට ගත්තම කපිරිඤ්ඤ සින්දුවල තනි අයිඩියා එකක් එනව.කපිරිඤ්ඤ පැටන් එකට කියල ඉල්ලුවම මං පොඩ්ඩක් ඒව ගැනත් ඔලුවෙ තියන් ලිව්වෙ."

ඔහු බොහොම නිරවුල්ව හරබර වචන සහිතව කතාව කියනව.

මනුස්සයෙක්ට මේතරම් ප්‍රතිභාවක්, ටැලන්ට් එකක් තියනවද ?

සන්තානම් මෑණියනේ මේ මාත් එක්ක කතා කරන්නෙ පතී මහත්තය අධ්‍යක්ෂණය කළ " බඹරු ඇවිත් " ෆිල්මෙකේ කේමදාස මාස්ටර් සංගීතවත් කරපු උදුම්බරා කියන හෙන සම්භාව්‍ය ගණයේ ගීතයේ පද රචකයා.සින්දුව කොයිතරම් හොඳට ලියවුනාද කිව්වොත් මාස්ටර් ඒ ලිරික්ස්වල එක වචනයක් එහෙ මෙහෙ කරල නෑලු.ඒ ඇරුණම ඩබ්ලිවු.ජයසිරි අතින් ලියවුණු මේ ගණයටම වැටෙන අමුතුම සින්දු ටිකක් තියෙනව.

ලංකාවෙ ෆිල්ම් මියුසික් වල මාස්ට පීස් එකක් උන "උදුම්බරා හිනැහෙනවා" කියන සෝන්ග් එක ලිව්ව මේ පුද්ගලයා, " නෝනා මට අත වනනවා " කියල ඕනම පාටියක්, ඕනම ෆෝරම් එකක් එක මොහොතින් අනික් පැත්ත ගහල නටෝල ගන්න පුලුවන් බජව් සින්දුවක් ලියනව.අරක සම්භාවය මේක පීචං ! ( සමහරක් අය ඒ කාලෙ ජිප්සීස් සින්දුවලට කිව්වෙත් එහෙම !)

මනුස්සයෙක්ගෙ ප්‍රතිභාව මේ වගෙ සහමුලින් වෙනස් අන්ත දෙකක් අතරෙ සැරිසරනවද ? ඒ වගෙ වපසරියක පැතිරෙනවද ? සාමාන්‍යෙන් ගීත රචකයො පවා ඒ ඒ ජොන්‍රාස්වලට කැඩිලනෙ ඉන්නෙ.හැබැයි මෙතන කතාව වෙනස්.ඔහුට මේ හැම සබ්ජෙක්ට් එකක් ගැනම පුදුම බහුශ්‍රැතකමක්නෙ තියෙන්නෙ.

මට කේමදාස මාස්ටර්ව මතක් උනා.ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියෙ කොයිතරම් සම්භාව්‍ය ගණයේ මාස්ට පීස් කොයිතරං ප්‍රමාණයක් හැදුවත් මාස්ටර් ඒ කාලෙ එච්.ආර්. ජෝතිපාලයන්ටත් ගී තනු හැදුව.මොකද අද උදේ වෙනකොට හවා ඔහු වනමින් ඔහුගෙ සින්දු ඇහුනට ඔහුව වන්දනාමාන කලාට එදවස ඔහුව සැලකුවෙ පීචං තුට්ටු දෙකේ ගායකයෙක් විදියට.

" ආදර මල් පවනේ " , " උණට කොත්තමල්ලි දුන්න රෝසා ( ජෝති/ එම්.එස් ) " මාස්ටර් හදපු එච් ආර් ජෝතිපාල කිව්ව ඒව.බැලුවම මේත් එහෙම්මයි.අමුතුම අන්ත දෙහෙක සින්දු දෙකක් ලියල.

සින්දුව ගැන ඔහු බොහොම නිරවුල්ව දක්වපු අදහස්වලට ඔන්නොය වගෙ ප්‍රශ්න ටිකක් එක්ක පොරබදල මාව කැරකිල අතෑරියා වගෙ උනා.මේක කියවන අයටත් එහෙම හිතෙනව ඇති.

" සින්දුවට තනුව දාල මියුසික් කලේ කාලෝ විජේසිරි.ඔහු අපිට හිටපු දක්ෂ සංගීතවේදියෙක්.ඔහු ජීවත් උනේ කළුතර පැත්තෙ..ඔහු වැඩිය කොළඹ පැත්තෙ වැඩකටයුතු වලට සම්බන්ධ උනේ නෑ.අපෙ අය සම්බන්ධ කරගත්තෙත් නෑ වැඩිය.ආත්ම ලියනගේගෙ සින්දු පවා තියනව එයා කරපු." දැන් එයා නෑ.බීලමයි මලේ.සිරොසිස් හැදිල.නොසෑහෙන්න බිව්ව.බයිට් එකට ගත්‍තෙ වේලිච්ච මිරිස්.හරිම දක්ෂ සංගීතවේදියෙක්. "

" හැබැයි ඉතිං ෆිල්මෙක සක්සස් උනෙත් නෑ.සොමී රත්නායක ඇමරිකාවට යනකොට ඔය සින්දු දෙකම ජිප්සීස් සුනිල්ට වික්කා."

කතාලතා අවසන් වේගෙන එද්දි මම කිව්වෙම මට තාමත් ඔබ වගෙ කෙනෙක් මේ වගෙ සින්දුවක් ලිව්ව කිව්ව එක හිතාගන්න බැරි බව.අදහගන්න අමාරු බව.ඔහු මුකුත් කිව්වෙ නෑ.යාන්තං හිනාඋනා ඇහුන.

ඒ උනාට ඒක එහෙමයි." නෝනා මට අත වනනවා " කියන සින්දුව ලිව්වෙ ඩබ්ලිවු ජයසිරි.දැන් මට ඒක කන්ෆම්.

සින්දුවෙ බයිල කපිරිඤ්ඤ රිදම් එක පොඩ්ඩක් අමතක කරල ඩබ්ලිවු ජයසිරි ලිව්ව මේ වචන ටික අරං බැලුවොත් ඒකට යටින් පේන පොලිටික්ස් යටිපෙලක් තියෙනව.

මට අනුව නම් " ලෝරෙන්සෝ ඩි අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා " කියන තැනින්ම තමා මේ පොලිටික්ස් කෑලි පටන් ගන්නෙ.

නිකමට හිතන්න මෙන්න මේ පද ටික.

" රට වටේට ණය වෙනවා .. සුදිය මිසක් වෙන වැඩ නෑ..පියානෝ, ටැමරිං , බැන්ජො , මැන්ඩලිං ( ඒ කිව්වෙ ආතල් පමණයි ! ) " ඕක ලංකාවට ආදේශ කලාම කොහොමද ! ඒ කාලෙ හිටපු පොලිටික්ස් වැඩ කල නෝනලට ආදේශ කලොත් කොහොමද ! ගී පද ගැන පොඩ්ඩක් ගැඹුරින් කල්පනා කලාම නිකං මගෙ ඔලුවට ආව දේවල්.

"බ්‍රැන්ඩි බීල නොන්ඩි ගහල අම්බානක ගුස්ති දාල !" ....

අරින්න්නෙපා.. " එයා ඉඳන් කම් කම් කියනවා.. අපි ඔක්කොම නෝ නෝ කියනවාහ්හ්... නෝනා මටාත වනනවා.. "

ඔව්.. සුනිල් තාමත් " නෝනා මට අත වනනවා " සින්දුව ස්ටේජ්වල කියනව මං දකිනව.ඒක හැමෝම අතරෙ හරිම ජනප්‍රිය සින්දුවක් ඒක.

සමුගන්න කලින් ඔහු අන්තිමට කිව්වෙක ටිකත් හරිම වැදගත්.

" තාමත් සුනිල් ( ජිප්සීස් ) මට හැම අවුරුද්දෙම මගෙ රෝයල්ටි ෆී එක මට එවනවා." ❤❤

"බොහොම ස්තූතියි ජයසිරි මහත්තය මේ විස්තර නිහතමානීව මා එක්ක කිව්වට. " කියල මං සංවාදය අවසන් කළා.

නිර්මාලයා

https://youtu.be/Ypa8nduNO8o

#Gypsies
#nona

Saturday, February 22, 2020

ඔගස්ට් ලෑන්ඩ්මෙස, දොළහක් සහ දේවානි ජයතිලක





අපි සාමාන්‍යෙන් නෑ කියන්න බෑ කියන්න වගෙ වචන කටින් එලියට දාන්න හරි බයයි.ඒවයෙ බර අඩුකරන්න වෙන මොකක් හරි ෂේප්මන්ට් එකක් දාන වචනයක් දාන්න තමයි බහුතරයක් ආස.ඉතිං ඔය වචනෙ එලියට දාන්න පස්මහ බැලුම් බලනව.කෙලිම්ම ප්‍රතික්ෂේප කරන වැඩේ අපේ ජානවල හරි අඩුයි.කොහෙන් හරි නවන්න තමා බලන්නෙ.

පවතින ක්‍රමයට, පාලනයට, එක එකාව තුටු පහටු කරන්න , තමන්ට වාසියක් සලසගන්න, කොටිම්ම කිව්වොත් බයට... වගෙ කරුණු කාරණා ගොඩක් මත ඔය නෑ බෑ කියනෙක ඩිපෙන්ඩ් වෙනව.ඔය අතරෙ යකාටවත් බය නැති තමන්ට කෙලවිලාම ගියත් කමක් නෑ කියල ගත් කටටම නෑ කියන බෑ කියන වානේ වගෙ සවිමත් කොඳු නාරටි තියෙන අයත් ඉන්නව.

1936 හිට්ලර් සමයේ ජර්මනියේ හැම්බර්ග් නුවර නැවක් දියත් කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙනව.ඒ සඳහා සහභාගි වෙන ක්‍රව්ඩ් එක අතරෙ ඉන්න එක මනුස්සයෙක් එවකට පැවැති ඇඩොල්ෆ් හිට්ලර්ගෙ ආඥාදායක පාලන ක්‍රමය හිට්ලර්ට ආචාර කිරීමේ ක්‍රමයක් විදියට හඳුන්වා දුන් සුප්‍රසිද්ධ නාසි සැලියුට් එක රිෆියුස් කරනව.ඔහු ඔගස්ට් ලෑන්ඩ්මෙස.

ඔහු තම රජයට එරෙහි වන්නෙ මෙන්න මේ පහත සිදුවීම හරහා.ජර්මානුවෙක් වෙන ඔගස්ට් විවාහ වෙන්නෙ යුදෙව් ජාතික කාන්තාවක් වන ඉර්මා එක්ලර් හා දැඩි ප්‍රේමයකින් අනතුරුව.යුදෙව්වෙක් නයාට අඳුකොල වෙන සමයක ඔගස්ට් ඈ හා විවාහවීමෙන් තමන්ගේ ජාතියට, හිට්ලර්ගෙ රෙජීමයට නිගරු කලා කියන ඒ කාලෙ හැටියට අති බරපතල චෝදනා මත බරපතල වැඩ සහිතව වසර දෙකක් සිරබත් කෑමට නියමිත වෙනව.පලි ගැනීම එතකින් ඉවර වෙන්නෙ නෑ...දුවණියන් දෙදෙනෙකුට පියකු වන ඔගස්ට් පසුකාලීනව 999 වෙනි පාබල හමුදාව යටතේ යුද පෙරමුණට යැවෙන ඔහු ක්‍රොඒෂියාවෙදි අතුරුදන් වූවෙක් හැටියට සැලකෙනව.ඔහු ඝාතනයට ලක් වූවා කියාත් කියනව.ඔගස්ට්ගෙ පවුලටම සෑහෙන ඛේදාන්තවලට මුහුණ දෙන්න සිද්ධ වෙනව.

ඒ කාලෙ හැටියට හිට්ලර්ට එරෙහි වෙනව කියන්නෙ වහ කනව වගේ වැඩක්.තමන් සෙල්ලම් කරන්නෙ ගින්දරත් එක්ක බව දැන දැනම ඔහු හිට්ලර්ට පෙන්නන්න බැරි වූ ජාතියක් වූ යුදෙව් ජාතික කාන්තාවක් හා විවාහ වෙනව.තමන් අනේක අඩන්තේට්ටම්වලට ලක් වෙද්දිත් ඉදිරියටත් ඒ දුක් දොම්නස් ශුවර් බව දැන දැනත් තමන් හා එකට සිටි අය නාසි සැලියුට් එක ගසද්දිත් ඔහු නාසි සැලියුට් එක ගැසීම ප්‍රතික්ෂේප කරනව.පසුකාලීනව ලොව චිර ප්‍රසිද්ධියට පත් මේ අද්විතීය ජායාරූපය දිහා බැලුවොත් තමන් වටා සිටින සමූහය අතරෙ ඔගස්ට් ඉන්නෙ මොන කුලකෙද කියන එක තිතට පෙන්නනව.

හිට්ලර් කියන්නෙ සත පහක අණක් ගුණක් නැති එකෙක් බව දැන දැනත් ඔහුට තමන්ට පුලුවන් ආකාරයෙන් විරෝධය පාන්න තරං ඔගස්ට්ට මොනතරං හයිය කොන්දක් තියෙන්න ඇද්ද.

මේ සේයාරුව මගේ ඇස ගැටෙන්නෙ ඇමරිකානු තිර රචක රෙජිනෝල්ඩ් රෝස්ගෙ " Twelve Angry Men " නාට්‍ය අනුසාරයෙන් සිංහලට අනුවර්තනය අතුල පතිරණගේ " දොළහක් " වේදිකා නාට්‍ය පිටපත් පොතෙන්.ඒකෙ මේ සේයාරුව තියෙන්නෙ මෙහෙම.

" Courage to Say No "

" දොලහක් " මං බැලුව ක්ලාස් ස්ටේජ් ඩ්‍රාම එකක්.අවාසනාවට දැන් මේක රඟදැක්වෙන්නෙ නෑ.රෙජිනෝල්ඩ් රෝස්ට මේ තිර රචනය ලියන්න අනුප්‍රාණය සැපයෙන්නෙ නාට්‍යයට සමාන ආකාරයේම නඩුවක ජූරි සභාවකට ඔහුත් සම්බන්ධ වීම හරහා.

කෙටියෙන් කිව්වොත් කතාවෙ ජූරි සභාවෙ ඉන්න ජූරි සභිකයො දොලොස්දෙනාගෙන් එකොලහක්ම එදා ජූරියට වාඩිවෙන්නෙ පුදුම තදියමකින්.ඒ.. ජූරිය ඉවරවෙලා නොයෙකුත් වැඩවලට යන්න ඇරේන්ජ්මන්ට්ස් දාගෙන.සමහර අය ජූරි සභාවක පලමු වතාවට පෙනී ඉන්නෙ. !

දොලොස්දෙනාගෙම තීන්දුව ඒකමතික වෙන්න ඕන.එකොලොස්දෙනෙක්ම චූදිතයව වැරදිකරු කරල ඉවරයි.නමුත් අටවෙනි ජූරි සභිකය කියනව චූදිතය නිවැරදී කියල.වාද විවාද තර්ක විතර්ක මැද එතැන් පටන් මුලු ජූරියම ටිකෙන් ටික අනික් පැත්තට හැරවෙන්න ගන්නව.වැරදී කිව්ව අය චූදිතය නිවැරදි කියන තත්ත්වයට තර්කානූකූලව ගෙන එන්න අටවෙනි ජූරි සභිකය කටයුතු කරනව.

මේ පොතේ එක තැනක අධ්‍යක්ෂගේ සටහන යටතේ අතුල පතිරණයන් මෙන්න මෙහෙම කියනව.

" මෙහි එකඟතාවයකට පැමිණීමේ ක්‍රියාදාමය සහ පුද්ගලයෙකුගේ පෞරුෂත්වය තුළින් නැගෙන අවිධිමත් අධිකාරිය ප්‍රබල ලෙස සාකච්ඡාවට භාජනය කරයි."

" සුළුතරයේ බලපෑම් සහගත හැසිරීම් පැතිකඩ උපක්‍රමශීලී ලෙස යොදාගනිමින් ජූරි සභාවෙ එක් සභිකයෙක් ( සුළුතර මතය) අනික් සභිකයන් සියල්ලගේම මතයට ( බහුතර මතය ) එරෙහිව සාර්ථක ලෙස එකඟතාවයකට පැමිණ අවසානයේ සිය මතය බහුතරයේ අදහසට එල්ල කිරීමට සමත් වන ආකාරය මෙම පෙළෙහි මනාව පැහැදිලි කරයි."

ඉතින් සමරි එක ගත්තොත් විනාඩි දෙකට තුනට හදිසියට ගන්න තිබ්බ ජූරි සභා තීන්දුවකින් වැරදිකරුවෙක් වෙලා අනිවාර්යය මරණ දණ්ඩනයට ලක්වෙන්න හිටපු අයෙක් සාධාරණ සැක මත පැය දෙක තුනක තර්ක විතර්ක මැද්දෙ නිවැරදිකරුවෙක් වෙලා මරණ දඬුවමෙන් නිදහස් වෙනව.

කෙලිම්ම නෑ බෑ කියන්න පුලුවන් හොඳ කශේරුකාවක් තියන තනි පුද්ගලයෙක්ගෙ සාධාරණ බලපෑමක් මත බහුතරයකගෙ මතයට බලපෑමක් කරන්න පුලුවන් කියනෙක තමා මේ කතාවෙ මම ගත්ත හරය.අපි වැඩිය නොහිතුවට එහෙම දේවල් උනත් කරන්න පුලුවන්.බැරිකමක් නෑ.

ඔය කතා දෙකම මට මතක් උනේ පහුගිය දවසක ගම්පහ ප්‍රදේශයේ දිසා වන නිලධාරිණිය වන දේවානි මහත්මියගෙ නීතියට අවනත තීරණයකට එරෙහිව එල්ල කල මරිමෝඩ අදහස් මතවාද , ඔක්සිජන් එපා වැනි ගොන් බූරු අදහස් පලකල අමන රැලකට එරෙහිව තමන්ගෙ පැත්තෙන් නිර්භයව පලකල අදහස් දැක්කම.හරි සවි ශක්තිමත් වානේ වගෙ කොන්දක් තිබ්බ කාන්තාවක්.ඇය ඉදිරිපත් කරන්න පුලුවන් ෆැක්ට්ස් ඇන් ෆිගස් තිතට ඉදිරිපත් කලා කාගෙ කාගෙත් ඇස් ඇරෙන්න.කටවල් වැහෙන්න.ඒ වගේම කිසිම බයක් හැකක් නැතිව තමන්ගෙ ජීවීතේ පවා පරදුවට තියල එතුමිය එහෙම කලේ අර කලින් කතාවෙ හිට්ලර්ගෙ වගේ කිසිම බුද්ධියක් නැති, චාරයක් නැති ,පරිසර අගයක් දන්නැති, අත්තනෝමතිකව තමන්ගෙ මතය විතරක් හරි කියන සමූහයක් ඉදිරිපිට.ඒ වගෙ යල්පැනගිය අදහස් මතවාද තියන සමාජ වටපිටාවක.හරිම බ්‍රේව් ගැහැණියක්.

" දේවානි මහත්මියනි.. මතු පරපුර වෙනුවෙන් ඔක්සිජන් ටික, පරිසරය රැකගන්න විසිකරපු ඒ වානේ වදන් ටිකට හැට්ස් ඕෆ් ! ඔබ හරිම බ්‍රේව් ලේඩි කෙනෙක් "

ඉහත කතා තුනේ සියලුම දෑ එහෙම පිටින්ම එක සමාන නොවුනත් ඔය කතා තුනේම තියන නිර්භය තනිපුද්ගල පෙනී සිටීම්, ඔවුන්ගෙ සවිමත් කොඳුනාරටි , බෙල්ල ගහල ගියත් පවතින ගතානුගතික සිස්ටම් එකට එරෙහිවීම් , ඊට එරෙහිව නැගීසිටීම් වගේ ඇතැම් පොදු කරුණු ගත්තම ඒව සමාන කුලකයකට දාන්න පුලුවන්.ඉතිං මේ කතා ටික කියෙව්වම ඔයාලට ඒවයෙන් ගන්න දෙයක් ඇති.ඒ ටික අරගන්න.

නිර්මාලයා

Monday, July 29, 2019

ඇහැරෙන්න ( Let Her Cry )

ඇහැරෙන්න
-----------
මේක ඇවිල්ල අපේ රටේ සිනමා වංශ කතාවේ මෑතකාලීනව නිර්මාණය මාස්ටපීස් ෆිල්ම් සෝන්ග් එකක්. ඇඟට දැනෙන ෆිල්ම් සෝන්ග් එකක්. අශෝක හඳගමගෙ " ඇගේ ඇස අග " ( Let her Cry ) සිනමා සිත්තමේ ආව මේ ගීතයේ ලිරික්ස් හඳගමයන්ගෙ.මියුසික් , ඇරේන්ජ්මන්ට්ස්, වොයිස් හැම එකක්ම චිත්‍රාල් සෝමපාලගෙ.
ඒක ගැන ආයිත් මතකය අලුත් උනේ ඊයෙ පෙර්ද තිබ්බ ජනාධිපති සම්මාන උලෙළෙදි 2016 තිරගත වුන චිත්‍රපටවලින් "බෙස්ට් මේල් සින්ගර් " කැටගරි එකෙන් මෙහි ගායනයට සම්මානයක් ලැබිල තිබුන නිසාවෙන්.
ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ලෝ රේන්ජ් එහෙකින් පටන් අරගෙන ඉහළ පහල ගිහින් සමහර තැන්වල නතරවෙලා ආයිත් ඉහල පහල ගිහින් සෙමි ටෝන් දෙකකින් විතර කී චේන්ජ් එකකින් ඉහල යන මේ ගීතයෙ ගායනයෙන් චිත්‍රපටියෙ තියන හැලහැප්පීම් මනාව උලුප්පල ගන්න චිත්‍රාල් සමත් වෙලා තියනව.ඒක හරි පර්ෆෙක්ට් වොයිස් එකක්.හොඳට පදම් වෙලා තෙම්පරාදු උන.ඕනම ලෝ හයි රේන්ජ් එහෙකට සැනෙකින් මාරුවෙන්න පුලුවන්.අවුරුදු ගානක ට්‍රේනිං වලින්ම වෙල් ට්‍රේන් උන වොයිස් එකක්.අහල ඉවරවෙනකොට පොඩි තිගැස්මක්, විස්මයක් ඉතුරුවෙන.
ගීතයේ මියුසික් ගැන කතා කලොත් ඒක බටහිර සම්භාව්‍ය සංගීතය පැත්තට බර උන එකක්.ඒකෙ ඇහෙන Orchestral Strings පාට්ස් ටිකම මාව මොහොතකට ගල් ගැහිල යවන්න සමත් උනා.එකක් උඩ එකක් පටලැවිල්ලක් නැතිව ලස්සනට බ්ලෙන්ඩ් වෙන විදියට දාල තියන Strings පාට්ස් ටික දැක්කම චිත්‍රාල් සෝමපාලගෙ මියුසික් නොලේජ් එක කොතනද තියෙන්නෙ කියන කාරණේ ගැන අයිඩියා එකක් එනව.විදෙස් රටක ආභාසයත් එක්ක ආව ඒ දැනුම හරි වටින දැනුමක්.ලේයස් කීපයක් හරහා ඇඟ හිරිවැටිල යන විදියට එන Orchestral Strings, Harp, Piano පාට්ස් ටික ඒ දවස්වල අහද්දි මට හිතාගන්න බැරුව ගියා මේ වගෙ මාස්ටපීස් තාමත් හැදෙනවද කියන කාරණේ ගැන.හරියටම කිව්වොත් ඕකේස්ට්‍රා එකක් අහං හිටිය වගෙ තමා.ඒ කාලෙ මම මේ ෆිල්ම් එකේ මියුසික් රිවීව් එකක් ගැන ලිව්ව වෙලෙත් මම කිව්ව මේක අවෝඩ් එකක් ලැබිය යුතු එකක් කියල.
හැබැයි මෙහෙම කාරණේකුත් තියනව.මේ සින්දුව ෆිල්මෙකේ ප්ලේ වෙන්නෙ ෆිම්මෙක ඉවර වෙන තැන.ඒක තමයි ඒ සින්දුව ගැලපෙනම තැනත්.ඉවරවෙලා යන නාමාවලියත් එක්ක ෆිල්මෙකේ තිබ්බ දේවල් ගැන අපිට පොඩ්ඩක් හිතන්න ඉතුරු වෙන විදියට තමයි සින්දුව ප්ලේ වෙන්නෙ.
නමුත් ෆිල්මෙක ඉවරවේගෙන යනව කියල ඉවට වගේ තේරුන ගමං දඩිබිඩි ගාල පුටුවලින් නැගිටගෙන, හරියට රස විඳින අනික් ප්‍රේක්ෂකයන්ගෙර් රසඥතාවට, වින්දනයට ඩිස්ටබ් කරගෙන යන ප්‍රේක්ෂක කොටසක් ඉන්න රටක , ජනමනසට මේ සින්දුව කොයිතරං දුරට කා වැදුනද කියනෙක ගැන පොඩි ප්‍රශ්නයක් මට ඉතුරු වෙලා තියනව.සමහර විට මේ ගීතය මිනිස්සුන්ගෙ ඔලුවට වැඩිපුර නොයන්නත් ඒක එක් හේතුවක්.
බෙස්ට් මේල් සින්ගර් විදියට සම්මානයක් ලැබුණ එක ගැන සතුටක් තිබ්බත් ඇත්තටම මේ ෆිල්ම් ස්කෝ එක හරි ඇගයීමකට ලක් නොවුන එක ගැන මගෙ හිතේ තියෙන්නෙ අනේ අපරාදේ වගේ හැඟීමක්.කලින් කිව්ව රිවීව් එකේදි මම වැඩි හරියක් බර තියල ලිව්වෙත් ඒ ෆිල්ම් ස්කෝ එක ගැන.එනිසා මෙතන මම ආයෙත් ඒ ගැන කතා කරන එක වැඩක් නෑ.ඒක කියවල බලන්න ( පලවෙනි කමෙන්ට් එකේ ඒ පෝස්ට් එකේ ලින්ක් එක ඇති. )
ෆිල්ම් ස්කෝ එක උනත් ගොඩක් බටහිර ආරට බරවෙන්න තමයි කරල තිබ්බෙ.ඒකෙ Orchestral ගතිය වැඩී.සාමාන්‍යෙන් ලංකාවෙ ෆිල්ම්වල අත්විඳින්න නොලැබෙන ෆිල්ම් මියුසික් ස්කෝ එකක් තමා මේ ෆිල්ම්මෙකේ දකින්න ලැබුනේ.ඒක ඉතිං බටහිර සංගීතය හදාරපු අයෙකුට නම් හොඳට වැටහෙනව.
නමුත් අවාසනාවකට ඒක අපේ රටේ ජජ් පැනල්වල ඉන්න අයට තේරුනාද නැද්ද කියනෙක ගැන නං මට තියෙන්නෙ සැකයක්.වෙල් යායක් දැක්කම බටනලාවකින්ම බැක්ග්‍රවුන්ඩ් මියුසික් දෙන්න ඕන , ෆිල්ම්මෙකක් උනාම ට්‍රැඩිෂනල් විදියට අඩුම ගානෙ සින්දු හත අටක්කත් තියෙන්න ඕන කියල ඔලු හැදිල තියන රටක ඒ ගැන කතා කරන එකත් කිසිම තේරුමක් නැති වැඩක්.
මොකද මේ ෆිල්මෙකේ ඒ තරං හොඳ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දෙන්න චිත්‍රාල් සෝමපාල සමත් වෙලා තිබ්බ.හැබැයි ඉතිං ඒ ස්ටෑන්ඩර්ඩ් එක පට්ට ට්‍රැඩිෂනල් විදියට හිතන පතන මේ කොදෙව්වෙ තින්කින් පැටන්නෙකෙන් සෑහෙන එහා.
ඔය රිවීව එක ලිව්ව වෙලේ චිත්‍රාල් මේ ලියුම්කරු එක්ක කිව්ව ලස්සන කතාවක් කියන්නං.වතාවක් මේ ගීතය එක්තරා අරීනා එහෙක පියානෝ එක ප්ලේ කර කර චිත්‍රාල් ගායනා කරල තියෙනව.ගායනය ඉවරවෙලා ප්‍රේක්ෂක අත්පොලසන් මධ්‍යයේ අවුරුදු හැත්තෑවක විතර ජර්මන් මිත්තණියක් ඔහු අසලට ඇවිත් අහනවලු..
" නියමයි.හරිම ලස්සන මියුසික් එකක්.මොකක්ද ඒ ලස්සන භාෂාව . ? "
ඇත්තටම ඒ අවුරුදු හැත්තෑවක ආච්චිට තේරුන දේ ඒ රස වින්දනය අපේ අයටත් තේරෙනවද මන්ද. !
ඉතිං හරියට අහල චිත්‍රාල් සෝමපාලගෙ මියුසික් නොලේජ් එක ගැන පොඩ්ඩක් හිතල බලන්න.නිකමට ඕන්නං චන්ද්‍රරත්නම්ගේ " According to Mathew " ෆිල්මෙකේ ට්‍රේල එකේ මියුසික් බලන්න.ඒකත් චිත්‍රාල් කරපු එකක්.( පෝස්ටෙකේ කමෙන්ට් එකක් විදියට ඇති ) ඒ නොලේජ් එකෙන් මේ රටට වැඩක් ගන්න.වැඩකට නැති දේවල් අල්ලගෙන කියවන, තවමත් අලුත් දෙයක් කරන්න ඕන කියන දේ ගැන හරිහමං අයිඩියා එකක් නැති ජන කොට්ඨාසයයක් ඉන්න රටක වටින මිනිස්සු කවුද කින්ද මන්ද කියන කාරණේ ගැන කවදත් මේ රටට අයට අගයක් අදහසක් නෑ.චිත්‍රාල් සෝමපාල කියන සංගීතඥයා ගැන උනත් එහෙමයි. අගයක් නෑ.එක්කො චිත්‍රාල් කියන දේ ගැන අපේ අයට තේරෙන්නෙ නෑ එහෙම නැත්තං ඒක තේරුම් ගන්න අපේ අයට වුවමනාවක් නෑ.
මියුසික්වලට ඩෙඩිකේටඩ් මනුස්සයෙක් උනාම එයාලගෙන් ඒ වැඩේ හරියට කරගන්න දන්න අයත් ඉන්න ඕන.එහෙම නොවුන තැන ඒක ෆේල්.
මිනිස්සුන්ව හරි චැනල්වලින් අල්ලගන්න.
දැන්වත් ඇහැරෙන්න. !

නිර්මාලයා

Friday, January 18, 2019

අයිස් පෙට්ටිය

සිංහලෙන් කියන්නෙ සීතකර්ණය කියල.ඒමත් නැත්නං පිජ්ජෙක කියල කියනව.සිංග්ලිස්වලිං කියන්නෙ ඒම.ඉස්සර අපේ ගෙදර තිබ්බෙ සිසිල් වර්ගයේ සීතකර්ණයක්.ඒක ඉස්සරහ දොරේ තීරු දෙකක් තිබ්බ.පටු තීරුව නිල්පාටයි.පලලින් වැඩි අනික් තීරුව සුදු පාට.තනි දොරේ සීතකර්ණයක්.ඒක තියල තිබ්බෙ වෙනම ලෑලි පෙට්ටියක් උඩ.අසූ ගණංවල අයිස් පෙට්ටියක් කියන්නෙ හෙන ප්‍රෞඩ, පොස් ,සුඛෝපභෝගී උපකරණයක්.එයින් එකක් ගන්නව කියනෙක ලේසි නෑ.තමන්ගෙ වරිගෙ මොකෙක් හරි එකෙක් පිටරට රාජ්ජෙක ඉඳල ආය ලංකාවට එනකොට එයිං එකක් ගේනෙක අනිවාර්යයයි. නැත්නං එනව කියල දැනගත්තම පනිවිඩ යවල හරි ලියුං ලියල හරි ගෙන්න ගන්න්නව. අද වගෙ ඊමො, මීමො , වසප්, වෛබ , මැසන්ජ ඒ කාලෙ නෑනෙ.සන්නිවේදනය හෙන ස්ලෝ.
ලියුං කරදහිවලින් තමා ඔක්කොම කමියුනිකේට් උනේ.එහෙමත් ගේක තමයි ලෑන්ඩ් ෆෝන් තිබ්බෙ.ඒකෙන් පිටරටකට කෝල් එකක් ගන්නවනං අයිඩීඩී පාසුකං ඕන.

ඉතිං රට ඉඳන් ගෙන්න ගන්න ක්‍රමයක් නැත්තං ඔය මොකක් හරි ලෝන් කෑල්ලක් දාල , බෝනස් කෑල්ලකින් වගෙ හරි, දහාතේ ණය වෙල හරි මේකක් ගන්නව.

ඒ කාලෙ මෙහෙ සිංගර්, සිසිල්,අබාංස් වගේ හෙන සිරා බ්‍රෑන්ඩ් ඇරුනම වෙනෙව්ව තිබ්බෙ හරි අඩුවෙන්.හැම ටවුන් එහෙකම වගේ ඉලැක්ට්‍රික් බඩු විකුණන කඩ තිබ්බෙත් නෑ.අනික ඒ කාලෙ ගේක පිජ්ජෙකක් තියනව කියන්නෙ ඒ ගෙදෙට්ට ඉතිං ගමේ හෙන ප්ලේස් එකක් තියනව කියනෙක.කොටිම්ම ඒ ගෙදර පවා ගමේ ඔය වැඩිහිටි, කොලු කුරුට්ටො අතර හැඳින්වුනේ " අයිස්පෙට්ටි ගෙදර, පිජ්ජෙක තියෙන ගෙදර, කූල් වතුර තීන ගෙදර " වගෙ විසේසන පදවලිං.. ඇක්තෙම්ම. ! සමාර වෙලාවට පිජ්ජෙකක් නැති ගේකට කෞරාරි ආවම එයාල ටස් ගාල පිටිපස්සෙන් දුවල යනව පිජ්ජෙකක් තියන ගෙදෙට්ට.ගිහිං අයිස් වතුර බෝතලයක් ඉල්ලං ඇවිල්ල කූල් ඩින්ක්ස් හදනව. එතෝට එයාලෑ දිහා පිජ්ජෙකක් ඇති කියල ආපු අය හිතනව. ! ඉතිං හරි මෙව්වෙකයි.අයිස් වතුර නැත්තං අයිස් කැට ටිකක් හරි ඉල්ලං එනව.මොකද මේක හරි ලක්ෂරි සීන්නෙකක් නෙ.

" හානේ අයිස් වතුර .. මෙහෙ අයිස් පෙට්ටියක් ඇති නේ ? "
" සීතල වතුර ඩිංගිත්ත.. ළඟදිද ප්‍රිජ්ජෙක ගත්තෙ "
" මොකද්ද මේ වර්ගෙ ? "
" හොඳ ගානක් යන්නැති "

ඔන්නොව්වගෙ වක්‍ර ප්‍රස්නවලිං පිජ්ජෙක ගැන අහනව.

ඉතිං එයාලත් අනේකවිධ උත්තර කියනව.
" අපේ සෞදි ඉන්න මල්ලි එනකොට ගෙනාව එකක්නෙ.මේ ජාතිය මෙහෙ නෑ"
" මේක සිංගර්නෙ..හොඳම ජාතියෙම් එකක්. ! "
" පුදුම බරක්නෙ තියෙන්නෙ.ඔතන්ට අල්ල ගත්තෙත් හතර පස් දෙනෙක් එක්කහු වෙලා..අපෙ තාත්තගෙ කොන්දත් මොකද්ද උනා ඕක අල්ලල.. ".
" අර තියෙන්නෙ ඕක දාල තිබ්බ කෝඩ්බෝඩ් පෙට්ටිය.බාන්නකො ඒකෙ උස.ඔය පේනාද ගහල තියනා මේඩිං ජපාං කියල ! "
එහෙම කියල සමහර අය ඔය ගෙදර තියෙන අහුමුල්ලකට අත දික්කරල අර කාඩ්බෝඩ් පෙට්ටිය පෙන්නනව.උවමනාවක් ඇතා නැතා කාලයක් ගිහින් මිසක් ඒ පෙට්ටිය විසික් කරන්නෙ නම් නෑ මලාට. ජපන් අය ඒකට කියන්නෙ පයිඑස් ක්‍රමේ කියල !

තවත් අය..
" බර ගාණක් වියදං උනා. "
" මේක තනිදොර නෙමේ දොර දෙක.. !"
"මේකද.. ? ඕ... සෑහෙන ගාණක් උනා.කීයද කියල මතකත් නෑ දැන්..."
" කවුදනේ ඕවෑ ගනං මිමි ඔලුවෙ තියන් ඉන්නෙ.. "

ඉතින් ඕක ඇදල පැදල කියන හැටියට තමා ප්‍රිජ්ජෙකේ වැලිව් එක තීරණය වෙන්නෙ.

ඉතිං අයිස් වතුර බෝතලේ දීපු පිජ්ජෙක තියෙන ගෙදර අයටත් සෑහෙන ප්‍රෞඩ් ෆීලින් එකක් එනව අපේ ගෙදරින් අයිස්සතුර අරං ගිහිං තමා අරගොල්ලෑ ගෙදෙට්ට ආපු අයට කූල් ඩින්ක්ස් හැදුවෙ කියල.කෝමහරි දෙගොල්ලොම වින් වින් සිටුඒසන්නෙකක් තමා එතකොට තියෙන්නෙ.අරින්නෑ ආය. ! ඉතිං මේම කිව්වට එකපාට්ට අයිස් වතුර බෝතල් දෙන්නෙත් නෑ සමාර අය.

" ඉන්න පොඩ්ඩක් බලන්න .. "
" උදේ තිබිල ඉවරවෙල මේ දැං දැම්මෙ.. බලමු තාම කූල්වෙලා නැතුවැති. "

සමහරක් අය ගේ ඇතුලට ගිහිං රහසේ කුටු කුටුගාල අර අයිස්සතුර ඉල්ලන්න ආපු උන්ට බයිනව.

" මල වදේ අප්ප.. අද උදෙත් ආව අයිස්සතුර ඉල්ලගෙන.. සැරින් සැරේ එනව.දැං මේක පුරුද්දකට යනව. දෙන්නෝම්නෑ.ඔන්නොහෙ ඉවරයි කියන්න."

ගොඩක් වෙලාවට ඔව්වගෙ එක්ස්ට්‍රා සරිකිවුල ඇක්ටිවිටීස්වල්ට අහු වෙන්නෙ ගෙදර ඉන්නෙ පොඩි හැච්චො බැච්චො ටික.උන්ට වැඩේ කිව්වම අර කලුව මාරපන ගියා වගේ " ළමයෝහ්හ්.. දුවල ගිහිං..අයිස් ව.. " කියද්දිම උන් සස් ගාල කටිං " බෲස් " කියල වාහනයක් එලෝගෙන ගියර් දාල යනව අර ප්‍රිජ් එක තිබ්බ ගෙදෙට්ට.උන්ගෙ තියෙන විසේ දන්න ඒ ගෙදර අයත් බෝතලේ අතට දෙන්නෙම අටෝරාසියක් උපදෙස් කියාගෙන.

" මේ ළමයො බලාගෙන ..ඈ.. ඔය බෝතලේ බිඳ්.. " ඒ කියද්දි කොල්ල මිසිං..ගොඩක් වෙලාවට ඌ ඒකගෙ ගෙදර.මොකද ඒ කාලේ ප්ලාස්ටික් මෙගා පන්නේ බෝතල් එහෙම තිබ්බෙ නැති නිසා වැඩි හරියක් වතුර
දැම්මෙ වීදුරු බෝතල්වල.

ඉතිං අමාරුවෙං ගත්ත ඔය පිජ්ජෙක පරික්සං කරගන්ට කියල ඕකට ලෑලිවලින් පෙට්ටියක් හදල තිබ්බ.කළු තීන්ත ගාලා.පිජ්ජෙක බොහොම ප්‍රතාපවත් විදියට ඒ පෙට්ටිය උඩ වැජඹුනා.ඔය අතරෙ මං පොඩි කාලෙ අපේ ආච්චිලාගෙ ගෙදෙට්ට ගෙනාවෙ අලුත්ම එකක්.ඒක ඇවිල්ල නැෂනල්.. සුදු පාට අයිස් පෙට්ටියෙ පැත්තක අලුපාට පොඩි ඉස්ටිකල්ලෙහෙක මේඩින් ජැපෑන් කියල ඒකෙ ගහල තිබ්බ.අද වගේ මේඩින් චෛනා කියන වදන ඒ කාලෙ සුලභ නෑ.දැන්නං ඉතිං ජිල්බෝලයක් ගෙනාවත් මේඩිං චෛනනෙ. !

ඕකෙ ඉස්සරහ තිබ්බ ටිකක් දිග ස්ටිකල්ලෙකක් මට මතක විදියට" අයි ලෞ නැෂනල් " වගෙ එකක් ගහල.මටත් වැඩිය උසයි භාණ්ඩෙ.මේකෙ තිබ්බ විස්මය තමා මේක දොර දෙකේ සීතකර්ණයක්.උඩ කොටස අපේ ආච්චි සහ අනික්කය හැඳින්වුවේ " ඩීප්පීසරේ " කියල.එයාල ඒ නම කිව්වෙ ටිකක් බර කර්ල.කොටිම්ම මට මතකයි ඒ වචනෙ ඇතුලෙ "ඩීප් "කියන බරසාර බව ගැබ්වෙලා තිබ්බ. ! පහළ කොටසට විසේසෙං නමක් කිව්වෙ නෑ.

" නෑ නෑ ඒක මං පිජ්ජෙකේ යට කෑල්ලට දැම්මෙ " යට කෑල්ල, පල්ලෑ තට්ටුව වගෙ නං තමා ඒකට කිව්වෙ.ඉතිං ඕක ගෙනාව දා ඉතිං මාරෙට පරික්සං කරනව.උදේ හවා පිහිනව.සතියකට වතාවක් ඇතුල හෝදනව.දොරවල් දෙකේ අල්ලන හැන්ඩ්ල් කෑල්ලට සර්වියට් දෙකක් නවල ඔතල එහෙම තිබ්බෙ.කොටිම්ම මට මතක විදියට පිජ්ජෙක උඩින් පොඩි මල් පෝච්චියක් එහෙමත් තියල තිබ්බෙ.ඔය මල් පෝච්චිය ගොඩක් වෙලාවට මං පිජ්ජෙකේ දොර වහද්දි සටස් ගාල වැටෙනව.ඒක බර නෑනේ.අනික ඉතිං මං දොර වහන ස්පීඩ්ඩෙක.අපෙ ආච්චිනං ඒ කාලෙ කිව්වෙ මං පිජ්ජෙකේ දොරා වාන සද්දෙ ජපානෙටත් ඇහෙනව කියල. !

" පොඩ්ඩක් ඔය දොර හෙමිං වහනව.දඩාස් ගාල ඔය තරං හයියෙං වහන්නෙ.. දොර ගලෝල අතට ගන්නද හදන්නේඒඒ.. ! "

" හිතුවද ඕක පකිස් පෙට්ටියක් කියල. ! "

ආච්චිලගෙ ගෙදරට ගේන එලවලු, මස්,මාලු , බටර් වගෙ අනං මනං ඔක්කොම පැටෙව්වෙ පිජ්ජෙකට.පිජ්ජෙකේ දොරේ අපෙ මාමලට එහෙම බොන්න ස්ප්‍රිය්ට් , කොකාකෝල එහෙමත් දාල තියනව සමහරදාට.එදාට මගෙ හයවෙනි සෙන්ස්සෙක සට සට ගාල වැඩ.ඒවට හිමීට වගකියනෙක මගෙ හොඳ පුරුද්දක්..අන්න එවෙලෙට ප්‍රිජ්ජෙකේ දොර අරින්නෙ මටවත් නෑහෙන ගානට.මොකද දොරේ තමා ඔය බෝතල් එහෙම තිබ්බෙ.හයියෙන් ඇරියොත් බෝතල් එකටෙකක් ගැටිල ටලං ටලං ගාල නැවුං බවේ සද්දෙ ඇහෙනව.ඒ හින්ද හෙන හිමීඊඊඊට දොර ඇරල බෝතලෙ කට තියං උගුරක් දෙකක් බීල ආය හිමීට දොර වහල මුකූත් නොවුන ගානට මාරු වෙනව.

දවසක් මරු වැඩක් උනා.දැඩි සා පිපාසාවකිං හිටපු මං එදත් දොර ඇරල බැලුව මගෙ පිපාසය නිවන්න මොනාද තියෙන්නෙ කියල.හම්ම..කලු පාටට හුරු තද කොල පාට බෝතලයක් තියනව.ඒකෙ ඉන්නව කලු බල්ලෙකුයි සුදු බල්ලෙකුයි එක ළඟ.උඩින් තියනව බ්ලැක් වයිට් කියල ගහල. ( ඒකෙ ඇන්ඩ් කියන කෑල්ල දැක්කෙ පස්සෙ වෙලාවක.) අලුත් බීමක් වෙන්ටෝන මගෙ හොර හිත කියනව.හිමීට අරං මූඩිය ඇරල කටට ලං කරද්දිම සැරක් ආව.මං හිතුව අර ස්ප්‍රයිට්වල එන සැර වගෙ එකක් වෙන්නැති කියල.උගුරෙ මුල හරිය පෙවනකොටම දිවයි බෙල්ලයි පිච්චීගෙන යනව වගෙ දැනුන.එසැනින් මේකනං අප්සට් කේස් එකක් කියනෙකෙ මගෙ මොලේට සංඥා මගින් දැනුම් දීල තිබ්බෙ.

එසැනින්ම එතන තිබ්බ සින්කෙකට කටේ තිබ්බ එක හලල පටස් ගාල මූඩිය වහල බෝතලේ පිජ්ජෙක ඇතුලට දාල වහල සින්කෙක්කෙ ටැප්පෙක ඇරල පට පට ගාල සින්කෙකත් හේදුව. මාර කුයික් අප්ප ඒ වගෙ වෙලාවට.දැන් කට නිකං පිච්චෙනව පිච්චෙනා වගේ.බිව්ව වතුර ටිකක්.බැලුව පොඩ්ඩක් වෙලා ඉඳල..ඒත් සැටිස් නෑ.සැරයි. ! කෑව සීනි ටිකක්.දැන් තත්ත්වය පෝඩ්ඩක්කිතර සමනය උනා.

ඊට පස්සෙ මුකුත් දන්නැති හොඳ ලමේක් වගේ පාඩුවෙ පැත්තකට වෙලා හිටිය.හැබැයි කාටවත් මූන දෙන්න ගියේ නෑ මොකද කටිං අමුතු සුවඳකුත් වහනය වෙන හින්ද. ! හරියට නිකං ලාවලු ගහක් යටින් යනව වගෙ සුවඳක්..පස්සෙ කාලෙක මං දැනගත්ත ඒක ඇවිල්ල වර්ල් පේමස් විස්කි වර්ගයක් වග.

ඉතිං මොනව තිබ්බත් ඕකෙ කටේ තොලේ ගාල අර මීයො වගෙ ටැස්කල්ල බලනෙක මගෙ පුරුද්දක්.විසේසෙන් කියන්ටෝන අපෙ ආච්චි බදාදට පොලේ ගියදාට මං ඉතිං ඕක ගාවින් එහාට මෙහාට වෙනව සෑහෙන වතාවක්. ඔය යෝගට් , පෘට් සැලඩ් වගෙ අනං මනං කෑම එදාට ඕකට තැන්පත් වෙනව.ඉතිං මාත් කවදාවත් මගෙ උස්සාහය අතාරින්නෑ.කොහොමහරි කට වැඩකරනව.

හැබැයි ඉතිං නැතිදාටත් එහෙමයි.එදාට මෙලෝම දෙයක් නෑ.ඔය පරණ එලෝලුවක් දෙකක්, ඉතුරු උන හොද්දක් , පොල් මිරිකල ඉතිරි උන පොල් කිරි ටිකක් වගේ තමා එදාට තියෙන්නෙ.ඒත් ඉතිං දොර ඇරල බලනව.ම්හු ! මුකුත් නෑ.ආය ටිකකින් ඔතනින් යනකොට ආය ඇරල බලනව.මේ හොඳටම දන්නව කලින් පාර ඇරල බැලුවම මෙලෝම ලබ්බක් තිබ්බෙ නෑ කියල.ඒත් ඇරල බලනව.සමාරක් වෙලාවට දොර ඇරගෙන ඇතුලෙ හිස්බව දිහා බලාගෙන කල්පනා කරනව.පස්සෙ දොර කේන්තියෙන් " දඩාස් " ගාල වහනව.ඕං එතකොටම " දොර කඩන්නද හදන්නේඒඒඒ.. ! " කියල වෝනින් එකක් එනව.

ඉතිං ඔය ප්‍රිජ් එක ගෙනාව කාලෙම ඔය දොර අරින වහන වැඩේට තවත් කාරණාවක් තිබ්බ.ඒකට හේතු උනේ ප්‍රිජ් එකේ තියන කහපාට ලයිට් එක.ඉස්සර මට ඕක හෙන පස්නයක්. මැජික් එකක්.කුතුහලයක් .. අඩේ කොහොමද මේ ලය්ට් පත්තු වෙන්නෙ කියල.මොකද ප්‍රිජ්ජෙකේ දොරේ අන්තිම හරිය වැහෙද්දිම පේනව ලයිට් එක නිවිල යනව.ඉතිං දවසෙ දෙක තුනක්ම බැලුව.දොර හිමීට වහල බැලුව..ආයම හිමීට ඇරල බලනව.ආයම හිමීට වහනව.ආය හිමීට සේප්පෙකේ අරිනව.ම්හු ! අහු වෙන්නෙම නෑ.

ඊට දවසකට දෙහෙකට පස්සෙ බෝල ගගහ ඉදල හදිසියෙන් ඇවිල්ල ප්‍රිජ්ජෙකේ දොර ඇරල අයිස් වතුර බෝතලේ අරං කටේ තියං බීල ආපහු කලබලේට බෝතලේ දාන්න යනකොට උඩ රාක්කෙක තිබ්බ භාජනයක් වැටෙන්න ගියා.මං ඉතාම දක්ස අන්දමින් සෙනිකවම එක අතක අයිස් වතුර බෝතලේ තියාගන අනික් අතින් වැටෙන්න යන භාජනේ අල්ලගත්ත.කවදත් මං දක්ස පන්දු රකින්නෙක්. !

එතකොටම ප්‍රිජ්ජෙකේ ලයිට්ටෙක ඕප් උනා.ආන්න... බඩු මාට්ටු.මං එහෙම්ම ඒ ඉරියව්වෙම්ම හිටිය පොඩ්ඩක් වෙලා.බැලුව මොකද්ද උන සීන්සෙක කියල.අර භාජනේ අල්ලනකොටම දොරට සමාන්තරව තියන සුදුපාට බටන් එකක් මගෙ අතට තදවෙලා.බට්න් එක පේන්නෙ නෑ මොකද ප්‍රිජ්ජෙකේ ඇතුල් බඳත් සුදුපාටම නිසා.

හරි ! දැන් මට මාර සතුටුයි.මොකද මං විසිවන සියවසේ විසිස්ට අන්දමේ සොයාගැනීමක් කළානෙ.අනික මේක ඔටෝමැටිකලි උන සොයාගැනීමක්.සෙහ්. ! හෙනම වෞසහගතබවක් මට දැනෙනව.නිකං ආකිමිඩිස් නාන්න බාත් ටබ්බෙකට බැස්ස වගේ.හැබැයි මං නිර්වස්තරෙන් දිව්වෙ නෑ එයා වගේ. ! මං ආයම භාජනේ ගාන්ට තිබ්බ තැන තියල බට්න් එක ආය ප්‍රෙස් කළා.හරි ලෛට්ටෙක නිවුනා.ආය බට්න් එක අතෑරියා.ඔන්න පත්තු උනා.හරි මරු.. දොර වැහෙනකොටම හේත්තු වෙලා තමයි බට්න් එක ප්‍රෙස් වෙලා ප්‍රිජ්ජෙකේ ලෛට් නිමෙන්නෙ.දැන් මං ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා හෙන විද්‍යාඥයෙක්.සුවිච්චෙක ඔබනව අතාරිනව.. ඔබනවා අතාරිනව.ඉතිං මං බොහොම හිතට අරං තේජසින් අයිස් වතුර බෝතලෙත් රාක්කෙන් තියද්දිම මගෙ පිටිපස්සෙන් ඉස්ටීරියෝ කමේට ඇහෙනව..

" ඔය ලෛට්ටෙකත් පුච්චලා දාන්නද හදන්නේහ්හ්හ්හ්.. /// ( හදන්නෙ ඇහෙන්නෙ ඉස්ටීරියෝ කමේට ).. ඇල්ලුවොත් ඉවරයි බඩුවක් ! "

අපෙ ආච්චි පෙන්ස්. ! ඉතිං ඔය මහා සොයාගැනීම කරල මං නතර උනේ නෑ.මං අපෙ ගෙදර ප්‍රිජ්ජෙකෙත් ගිහින් බැලුව.මේ මැජික් සුවිච්චෙක තියෙන්නෙ කොහෙද කියල. අඩේ ඒක තිබ්බෙ වෙන තැනක.සුවිච්චෙකේ හැඩෙත් වෙනස්.හැබැයි ගානට එකම විදියට ෆන්ෂන් වෙනව.ඉතිං එදා ඉඳං අයිස් වතුර බොන අතරතුරේ මං ඔය සුවිච්චෙක " ටක ටක " ගාල ඔබල ප්‍රිජ්ජෙක ඇතුලෙ පොඩි ඩිස්කො ලයිට් ටිකක් දානව.

ආ අනික්කාරණේ ප්‍රිජ්ජෙකේ දොර වැඩියෙම්ම ඇරියෙ ඔය ඉහතින් කිව්ව අයිස් වතුර බොන වැඩේට.සෙල්ලං කල්ල බෝල ගහල දුවල දුවල එනව.. අර දූවිලි නාපු අත්වලිම්ම දොර ඇරල කූල්වතුර එක කටේ තියාගෙන බොනව.බස බස ගාලා.ඉතිං බැනුං..

" අයියෝ විනාසයි.ඔය කුණු අත්වලින් දොර අල්ලන්නෙපා."
"ෆ්‍රිජ්ජෙක පෙරේතයො අත ගෑව වගේ.."
" කොයිවෙලේත් දොර ඇර ඇර ඕකම තමයි රාජකාරිය.මේ ඔය දොර ගලෝල තිබ්බනං ඉවරයිනෙ.! "

" ඔව් නේ ආච්චි ගලෝල තිබ්බනං ලේසි..ටක්ගාල බෝතලේ ගන්න පුලුවන්.. ! " මාත් සමාරක් වෙලාවට මගෙ මුඛරිසහගත බව විදහා දක්වනව.

" ඔය බෝතලේට කට තියල බොන්නෙපා..කී සැරයක් කියන්නෝනද? කටේ තියන ජරාව ඔක්කොම ඒකෙ.මනුස්සේක් ආවොත් බීමෙකක් හදල දෙන්නෙ කොහොමද? කෝප්පෙකට දාං බොන්න බැයිද ? "

" එච්චර වෙලා නෑ ආච්චි ඊළඟට බැට් කරන්න ඉන්නෙ මම.. ! "

සමාරක් දාට අයිස් වතුර බෝතලේ බෝල ගහන තැනටත් ගෙනියනව. අනික් උන්ට බොන්න දෙන්න.හැබැයි ඉතිං එදාට බෝතලෙ එලියෙ.මොකද ඒකේ වෛවාරන්න අත්වලින් අල්ලල මඩ ගොඩක් වගේනෙ.ආච්චි ඕක හොඳට හෝදල මිසක් ප්‍රිජ්ජෙකට දාන්නෙ නෑ මලාට.

" දාන්නෙහෙම නෑ ඕක ප්‍රිජ්ජෙකට.. බලනව ඒකෙ හැටි. පෙරේතයො අතගාල වගේ. "

බෝල ගහනව කිව්වම මතක්කුනේ.. ඒ කාලෙ තිබ්බ අපෙ ප්‍රාන්තෙ වී මෝලෙ කඩේ කියල කඩයක්.වී මෝලත් එක්කම තිබ්බ නිසා ඒකට ඒ නම පට බැඳුන.සාන්ත මල්ලිලෑ කඩේ.ඉතිං අපි අයිස් පැකට් ගත්තෙ ඔය කඩෙන්.ඒකෙත් ප්‍රිජ්ජෙකේ ඔය ඩීප්පීසරේ කියන කෑල්ලෙ තමා අයිස් පැකට් අඩුක් කල්ල තිබ්බෙ.දුම් දාගෙන දොර ඇරල රතු පාට අයිස් පැකට් එලියට අරං විකුනුවෙ.එකක් සත පනහයි.දවසකට අයිස් පැකට් පහක් හයක් අනිවාර්යයයි.කොටිම්ම අපි ඒ කාලේ කිසියම් තැනකට තිබ්බ දුර මැන්නෙත් අයිස් පැකට්වලින්. !

" ආ ..මෙතන ඉඳං අයිස් පැකට් දෙකේ දුර.. "
" පොල ගාවටද ? එතන්ට නං අයිස් පැකට් තුනකවත් දුර !"

මොකද අද වගෙ පෝන්ස් අතේ නැති නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසා යනගමන් කෑවෙ අයිස්පැකට් !

ඉඳල හිටල ප්‍රිජ්ජෙකේ උඩ තට්ටුවට අයිස්ක්‍රීම්මෙකක් එහෙම වැඩම කල දාට මං නිකං සිකුරිටි පොරක් වගේ ඒ හරියෙම තමා ගැවසෙන්නෙ.ගෙදරින් ඉස්ස්‍රලාම මගෙ කෝටා එක දෙනව.ඒක කෑවට පස්සෙ ආය ඒ අයිස්ක්‍රීම් එක දිහා බලන්නවත් තහනම්.

" මේ ඔච්චරයි ඈ.ආය වෙන නෑ.අනික්කයටත් දෙන්න ඕන."

ඒ උනාට මගෙ කට වැඩ. හැන්දක් අරං ඩීප්පීසරේ දොර හිමීට ඇරල අයිස්කිරිං එකට හැන්ද ඔබල කට කට ගාන හීතලේ කටවල් දෙක තුනක් කනව.දතුත් හිරි වැටිලා කට ගල් වෙලා යනව.ආයිත් මුරකාරයෙක් වගෙ වටයක් ගහල ඇවිල්ල ආයිත් ඔබනව හැන්ද.

ඔයිට අමතරව අපෙ ගෙදර තිබ්බ ප්‍රිජ්ජෙකේ ඩීප්පීසරේට පල්ලෙහායින් තිබ්බ ඩීප්පීසරෙන් වැටෙන වතුර එකතුවෙන ට්‍රේ එකක්.උඩින් වැටෙන වතුර ඕකට එකතුවෙලා එකතුවෙලා කාලයක් යද්දි වතුර මිදිල අයිස් බවට පත්වෙනව.සම්පූර්නෙං පිරුනම ඕකෙ අයිස් ටික අයිං කරන්න ඕන.අනික ඉතිං අපෙ ගෙදර ප්‍රිජ්ජෙකේ ඩීප්පීසරේ බැලුවාම නිකං ඇන්ටාක්ටිකාවට ගියා වගෙ.ඒ තරමට අයිස් ගල් වෙලා.හිම වගේ.එකේක හැඩවලට.ඒ කාලෙ ඉතිං ඔය හිම නොබැඳෙන තාක්සනේ තිබ්බෙ නෑ.කලට වේලාවට ඕකෙ අයිස් ට්‍රේ එක අයින් නොකලොත් ..විනාසයි ගේ පුරහම වතුර ගලනව.

ඒ වෙලාවට අම්මගෙන් බැනුං අහන්න වෙනව " නිකමටවත් ඒ වගෙ වැඩක්වත් කරනවෑ ගෙදර ඉන්න වෙලාවක. "කියල. ඉතිං ඔය ට්‍රේකෙ තියෙන අයිස් ටික ලිං මිඳුලට ගිහිං හැලුවම අයිස් ලෑල්ලක් වගේ.දිස්නෙ ගහනව.ඉතිං ඕක අතගාල බලනව.ඒක උඩ නැගල බලනව.ලිස්සල වැටෙන්න යනව.ටිකකිං ඕක කෑලිවලට කැඩෙනව.එහෙම කැඩුනම අයිස් කෑලි කටේ දාල බලනව.ෂර්ට් එක අස්සෙන් අනිකගෙ පිට අස්සට ඔබල බලනව.කරපු විකාර නං.

සමහර ගෙවල්වල ප්‍රිජ් තියනව ඇරියම බඩු ගොඩ්ඩාක්ක්ක් එලියට වැටෙනව.ගෑල්ලමෛන්ගෙ අල්මාරි වගේ.අරිනකොට වැටෙන ඒව අල්ලගන්න තව දෙතුන් දෙනෙක්කත් ඕන. ! තවත් ඒව තියනව කොටුවෙ පීපල්ස් පාක් එකේ සොපිං බෑග් කඩ වගේ.සොපිං බෑග් විතරමයි.ඉතිං ඒව ඇතුලෙ තියෙන්නෙ මොනාද කියල සච් කරන්න වෙනමම වෙලාවක් යනව.ඇයි එකිං එක අරං බලන්න එපැයි.

රෑට කාල ඉතුරු උනාම ඒව හට්ටි මුට්ටි පිටින් ඇතුලට දානව.නැහ්නං වෙනමම භාජනේකට දාල ඒව ඇතුලට දානව.සමහරක් වෙලාවට ඒත් ඉඩ මදි.නිකං බෑ.. ඒක තනිකරම මොලෙන් ගහන්න ඕන ගේමක්.ඒකට තියෙනව ෆ්‍රිජ් මැනේජ්මන්ට් ( ඉස්පේස් ) කියල ඩිග්‍රි එකක්.අපේ වයිප්ස්ට තියනා ඒක. !
මේ ළඟකදි කොස් බෑයක් දාල තිබ්බ ඩීප්පීසරේ.ආහාර කල් තබා ගැනීමෙ විසේස ක්‍රම ! ඒ කාලෙ පරිසරය පාඩමේ ඉගැන්නුව මතකයි මට.

මං කිව්ව
" ලිපට දාන දරත් ඕකටම දැම්මනං හරි කියල. "

හැබැයි ඉතිං ඒව මේව දැම්මට පස්සෙ හොයනෙක ලේසි නෑ යමක්.එයාලම එන්න ඕන.අපි වරුවක් හොයල නෑ කියනෙක එයාල ඇවිල්ල සස් ගාල හොයල දෙනව.

" මේ තියෙන්නෙ ! නිකාං නෑ කියනව පොඩ්ඩක් හොයන්නෑ.අපිම එන්නෝන " අර " වී ආද චැම්පියන්ස් " වගේ එයාලගෙ විනින් තීම් සෝන්ස්සෙක ඒක.

අනික අපිට ඕනෙකක් හදිසියට ගන්න ගියාම ලේසි නෑ.හරියට නිකං අර " මිෂන් ඉම්පොසිබල් " ෆිල්මෙකේ ටොම් කෲස් පිටේ ඇමුනන නූලක එල්ලිලා පහතට බැහැල දෙනව වගේ ගේමක් දෙන්න ඕන.ඕක කරන වෙලාවට පෝන්නෙකෙං යූ ටියුබ් එකට ගිහිං ඒ තීම් සෝන් එක ප්ලේ කරන ගමං කරල බලන්න.එහෙම ෆීලින් එකක් එනව පෙන්ස්.සක්තකිම්ම. !

හැබැයි ඉතිං කොහොම කලත් කොහෙ හරි තැනක අත ටච් වෙනව.මේ ළඟදි ඒම ටච් වෙලා හොදි ඇතිලියක් එහාට මෙහාට මූව් වෙලා හොදි ටික හැලුන ඇතුලෙ. ! හර්ම සවුන්දර්‍යාත්මකයි.මොකද උඩ ඉඳං හැලෙනකොට පහල තට්ටු සිසාරා නෙ ඒව හැලෙන්න.ඒවට කියන පූර්ව කර්ම කියල පෙන්ස්. !

ඉතිං ඔය වගෙ ප්‍රිජ්ජෙකෙං ගන්න නියමිත කාර්‍යටත් වඩා වැඩ සී ලාම්කිකයො ගන්නව.රස්නෙ පැතිවල අය ලොකු තුවා උදේම ප්‍රිජ්ගත කරල රෑට නිදියනකොට පොරවගන්න සිස්ටම් එහෙමත් මෙහෙ තියනව.වෙඩිං එහෙකට ගිහිං ආවම ලොකර් එකට දානකං ප්‍රිජ් ඇතුලෙ ජුවලරීස් හංගන අයත් ඉන්නව.නටනකං වතුර රත් කල්ල තේක හදල ඒක නිවෙන්න ප්‍රිජ්ජෙකේ දාන අය ඉන්නව.හෙන එෆිසන්ට්.! තව උදේම පන්සල් යන්න රෑට මල් කඩල අයිස් පෙට්ටියට දානව.පර වෙන්නෑනෙ.අම්මප ප්‍රිජ් එක හොයාගත්ත එකා මේව දන්නවනං වහකුප්පියක් බොනව.ඒ අතිං අපි හෙන සේස්ට ක්‍රියේටිව් නේසන්නෙකක්. !

හැබැයි දැං ප්‍රිජ්ජෙක කියන එක එදවස වගේ තවදුරටත් රෙයා උපකරණයක් නෙමේ.හැම ගේකම වගේ තියෙන එකක්.දැං අර ඉස්සර වගේ රට ඉඳන් එනකොට ෆ්‍රිජ් උස්සගෙන එන්නෑ වැඩිය.මොකද සීරෝ ඉන්ටරස් ප්ලෑං, ක්‍රෙඩිට් කාඩ්, පහසු ගෙවීමෙ ක්‍රම අරව මේව් ගොඩක් තියනව අයිස්පෙට්ටියක් තමන් සතු කරගන්න.

ඒත් ඉතිං ප්‍රිජ්ජෙකක් අරින වහන හැම වෙලාවකම ඔය ඉහත කිව්ව කතා අඩු වැඩි වසේන් මතක් වෙනව.මේ ලිව්වෙ එව්වෑං පොඩ්ඩක්. !

නිර්මාලයා